2022 අගෝස්තු 14 වන ඉරිදා

ලක්ෂ ගාණකින් නැග්ග ගුවන් ගමන් ගාස්තුව

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 72

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ ගොස් ඇත්තේ, සුපර්සොනික් ගුවන් යානයක් අහසෙහි ගමන් කරන වේගයටත් වඩා වැඩි වේගයකිනි. මේ පිළිබඳව වඩාත් තදින් කතාබහට ලක්වන්නට වූයේ ජපානයේ නරීටා සිට රුපියල් දාහත් ලක්ෂයක ව්‍යාපාරික පංතියේ ආසනයක ගමන්ගත් ශ්‍රී ලාංකිකයකුට එම ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ අත්විඳීමට සිදු වූ කටුක අත්දැකීම, ඔහු සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමත් සමගය.

රුපියල් දහහත් ලක්ෂයක මුදලක් ගෙවා ලබාගෙන තිබූ ගුවන් යානා ප්‍රවේශ පත්‍රය හිමි ව්‍යාපාරික පංතියේ තුළ වූ ආසනයේ හිඳ සිටි ඔහුට, ගුවන් යානය ගමන්ගත් කාලසීමාව තුළ දී ප්‍රමාණවත් තරම් ආහාරපාන සැපයීමට එම ශ්‍රී ලන්කන් ගුවන් යානය අසමත් වී තිබූ බව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.

ඒ සමගම ගුවන් යානා ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය යොමු වූ අතර, ඒ අනුව එම ප්‍රවේශ පත්‍ර මිල ගණන් ගුවන් යානයක ගමන් ගන්නවා තබා ගුවන් යානයක් දෙස බැලීමට පවා බිය උපදවන කටයුත්තක් බවට පත් වෙමින් තිබේ.

මෙයට සාපේක්ෂව ඩුබායි වෙත යෑමට පමණක් එමිරේට්ස් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම් රුපියල් 350,000ක සාමාන්‍ය පංතියේ ආසනයක් සඳහා ගාස්තුවක් අය කරයි. මීට අමතරව චීනයේ ෂැංහයි වෙත රුපියල් 550,000ක සාමාන්‍ය පංතියේ ආසනයක් සඳහා යෑමට පමණක් ගුවන් ගමන් ගාස්තුවක් අය කරමින් සිටියි.

එසේම මෙසේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන  ගුවන් යානා  සඳහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ඇමෙරිකානු ඩොලර් මගින් ගෙවීම් කර ලබාගත යුතු අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැර අනෙකුත් සියලුම ගුවන් සේවාවන් විදේශ රටවල පිහිටි තම කාර්යාලය මගින් පමණක් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදු කිරීමට පියවර ගෙන තිබේ. මෙයට හේතු වී ඇත්තේ විදේශීය ගුවන් සේවා සමාගම් මීට මාස 08ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කර උපයාගෙන ඇති විදේශ මුදල් තවමත් එම මව් රටවල් වෙත යවා ගැනීමට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවශ්‍ය පහසුකම් සලසා නොතිබීමය. මේ නිසා විදේශීය ගුවන් සේවා සමාගම් ඉහත පියවර අනුගමනය කිරීමට පෙළඹී සිටී.

සියලුම ගුවන් සේවා සමාගම් තම ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඇමෙරිකානු ඩොලරයට සම්බන්ධ කිරීමත් සමඟම මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ යාමට පටන් ගෙන තිබේ. එසේම සමස්ත ලෝකයම ශීත ඍතුව කරා එළඹෙමින් තිබීමත් සමඟම යුරෝපය, ඇමෙරිකාව, රුසියාව ආදී ශීත රටවල වාසය කරන ජනතාව, සමකාසන්න නිවර්තන කලාපීය රටවල් වෙත ඇදී යාමට පියවර ගනිමින් සිටීමත් හේතුවෙන් ගුවන් යානා සඳහා අධික ඉල්ලුමක් ඇති වෙමින් තිබේ.  එහෙත් එම ඉල්ලුමට සාපේක්ෂව සැපයුම, එනම් ගුවන් යානා සේවා සැපයීම ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවීම නිසාද ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ ගොස් තිබේ.

මෙම සියලු කරුණුවලට වඩා බලවත්ම හේතුව වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ තුළින් පැමිණෙන ගුවන් යානා සඳහා ඉන්ධන නිකුත් කිරීම අඩපණ වී තිබීමය. මේ නිසා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් යානා, යළිත් ආපසු පිටත්ව යාම සඳහා අවශ්‍ය ඉන්ධනද ගුවන් යානය තුළ පුරවා ගෙන පැමිණෙන නිසා, එම ඉන්ධන හා සමාන බරකට ගුවන් මගීන් හෝ එම ගුවන් මගීන්ගේ ගමන් මලු හෝ ගුවන් භාණ්ඩ රුගෙන පැමිණීම අත්හැර පැමිණීමට සිදු වී තිබේ.

එසේ අතහැර පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු හෝ ගුවන් භාණ්ඩ පසුව වෙනත් ගුවන් යානයක් යොදවා රුගෙන පැමිණීමට එම ගුවන් සමාගම් කටයුතු කරමින් තිබේ. මේ ක්‍රියාවලිය නිසා ගුවන් සේවා සමාගම්වලට අලාභ සිදුවන තත්ත්වයක් උදා වී ඇති නිසා බොහෝ ගුවන් සේවා සමාගම් මේ වනවිට ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා අත්හිටුවා තිබේ. මැදපෙරදිග සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ෆ්ලයි ඩුබායි ගුවන් සේවය එයට එක් නිදසුනකි.

කෙසේ වෙතත් මේ වනවිට මේ තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය 60෴කින් පමණ පහත බැස ඇති බව මෙම ක්ෂේත්‍රයේ උසස් ප්‍රවීණ නිලධාරීවරයෙක් පැවසීය. මීට අමතරව ගුවන් යානා මෙහෙයුම් වියදම්ද මහත් සේ ඉහළ ගොස් ඇති අතර එම ගාස්තුද මේ වනවිට ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු වෙත එකතු වී පවතී. මෙම තත්වයන් සියල්ල සමඟ ගුවන් තොටුපළ ගාස්තුද ඉතා විශාල ප්‍රමාණවලින් ඉහළ ගොස් ඇති අතර ඒවායේ පූර්ණ බලපෑමද ගුවන් ගමන් ගාස්තු කෙරෙහි ඍජුවම බලපෑම් ඇති කර තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම ගුවන් තොටුපළ ගාස්තුව මේ වනවිට රුපියල් විසි දහසක් වන අතර සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළේ මෙම ගාස්තුව රුපියල් 55,000 කි. මෙම ගාස්තු සියල්ලද, ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිල සැකසීමේදී එයට එකතු කෙරෙන අතර ඒ අනුව ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවද ඉහළ අදාළ වී තිබේ. මෙසේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ ශ්‍රී ලංකාවෙන් රුකියා සඳහා විදේශගත වන්නන්ටද ඉතාමත් අහිතකර ලෙස බලපෑම් එල්ල කර තිබේ. එහෙයින් මෙම තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් එය ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇතිකරනු නියතය.

 කටුනායක ටී.කේ.ජී. කපිල