2022 අගෝස්තු 14 වන ඉරිදා

දුරකතනයට සවන් දෙන අලි

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 49

මේ රටේ දේශපාලන පක්ෂයක් දැවැන්ත ලෙස කැඩී යාමේ පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ එජාපය හැරදා ගොස් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැනීමය. ඉන් අනතුරැව සෑම අවස්ථාවකම බිහිවූ ඒ ඒ පක්ෂවල බෙදීම්, කැඩී යාම් කලින් කලට දක්නට ලැබිණි. එහෙත් එලෙස වෙන්ව ගිය කණ්ඩායම්, පක්ෂ නැවත එකතු වුණු අවස්ථා පවතින්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙනි. ඒ ඔවුනොවුන්ගේ ප්‍රතිපත්ති එකට පෑහීමක් සිදු නොවූ බැවිනි.

එහෙත් මෑත කාලයේ ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ යහපාලන සමයේදී එජාපය සහ ශ්‍රීලනිපය එක්වීමය. අන්ත දක්ෂිණාංශික පක්ෂයක් සහ වමේ පක්ෂයක් එකට එක්වුණු පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්විය. ඊට පසුව ශ්‍රීලනිපය හැරදා ගිය පොහොට්ටු කණ්ඩායම සමඟ නැවත ශ්‍රීලනිපය එකට එක්වී තරග වැදීමද එසේ එකතුවීමක් ලෙස ගත හැක. මේ අවස්ථා දෙකම ඔවුන්ගේ කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කළ අවස්ථා වේ.

මේ කියන්නට යන්නේ අනාගතයේ සිදුවෙන්නට යන තවත් ඓතිහාසික දේශපාලන එක්වීමක් ගැනය. තවමත් සාකච්ඡා මට්ටමේ පැවතියද එය බොහෝ දුරට සිදුවිය හැකි බව එම පක්ෂවල ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කරති. ඒ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂ දෙක එකට එක්වීමය. දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම පක්ෂ දෙකේ අභ්‍යන්තර කතාව අපි මෙසේ ඉදිරිපත් කරමු.

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩිකරවීම සඳහා උපරිමයෙන් කැපවුණු බව අපි දනිමු. හරීන් සහ මනූෂ ගත් තීන්දුව අනුව අද රනිල් වික්‍රමසිංහ මහතා විධායකය හොබවන අතරම එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය අද රටේ ඉහළම පුටුවේ හිමිකාරීත්වය තමන් සතු කරගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ බලය හිමිකරගත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා කැඳවීම් ද සිදුකර අවසානය.

සර්ව පාක්ෂික ආණ්ඩුව පවතින අර්බුදය සඳහා විසඳුම වුවත් බොහෝ දෙනා බලය ඇති තැනට එක්වීම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හැටිය. ඒ නිසාම අද සමගි ජන බලවේගය සිටින්නේ ඉතාම අවදානම් තැනකය. ඒ තම සාමාජිකයන් බලය ඇති තැනට එකතු වෙතැයි යන සැකයෙනි. සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට රනිල් වික්‍රමසිංහ මහතා අමුතු අලුත් නායකයෙක් නොවේ. ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුව බිහිවුවත් නැතත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් බලය ඇති තම පැරණි නායකයා වෙත එකතුවීමේ ඉඩකඩ අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඒ අනුව දැන් වැඩිම අවදානම ඇත්තේ සමගි ජන බලවේගයට බව කිව යුතුමය.

පවතින තත්ත්වය යටතේ අද වන විට දෙපාර්ශ්වයම තිරයෙන් පිටුපස සාකච්ඡාවක් ආරම්භ කර ඇත. ඒ පක්ෂ දෙක එකතුවීම සඳහා පොදු සම්මුතියක් හදාගැනීමේ අරමුණු ඇතිවය. එහෙත් එය සාර්ථක වේද නැද්ද යන්න අපි නොදනිමු. දැනට පවතින තත්ත්වය අනුව නම් වැඩිම ඉල්ලුම ඇත්තේ පොහොට්ටුවටය. පොහොට්ටුවේ පිරිසකගේ යෝජනාව වී ඇත්තේ ඊළඟ මැතිවරණය සඳහා එජාපය සහ පොහොට්ටුව එක්ව හංසයා ලකුණින් තරග කළ යුතු බවය. එයට හේතුව වී ඇත්තේ පොහොට්ටුව සම්බන්ධයෙන් ජන මතය හීන වී යාමය. රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් මේ අවුල ජයග්‍රහණය කළහොත් එහි උදම් ඇනීම පොහොට්ටුව විසින් සිදු කරනු ඇත. ඔවුන්ගේ හොඳම තෝරාගැනීම හේතුවෙන් මෙය ජයගත් බව ඔවුන් ප්‍රසිද්ධියේ කියනු ඇත .එදිනට තවත් සමගි ජන බලවේගය පීඩාවට පත්වනු ඇත. එපමණක් නොව පොහොට්ටු - අලි ප්‍රේමය ඉහළ යනු ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීමට සජිත් ප්‍රේමදාස මහතාගේ කැමැත්තක් නොමැත. එහෙත් ඔහු පසුගියදා කීවේ කොන්දේසි සහිතව ඊට සහාය දෙන බවය. ඔවුන් තනතුරැ භාර නොගන්නා බවත් පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය සඳහා එක්වන බවත් ඔහු සඳහන් කළේය. එසේ කීවත් එය සජිත්ගේ මතය යැයි කිව නොහැක. තම පැරණි නායකයා ජනාධිපති පුටුවේ වාඩිවී රාජාසන කතාව සිදු කළ මොහොතේ ලබාදුන් තේ පැන් සංග්‍රහය පවා මගහැරි සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටෙක රනිල් වික්‍රමසිංහ සමඟ සර්ව පාක්ෂික ආණ්ඩු කරන්නේ නැත. මෙහි උපරිමයට නොගොස් ලිස්සා යන එකඟතාවයක් ඇතිකර ගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඔහු එකඟ වූයේ සජබය රුකගැනීමේ අරමුණකින් බව එක පැත්තකින් සිතිය හැක.
එහෙත් පක්ෂ දෙක එකතු කිරීම අභ්‍යන්තර මට්ටමෙන් සිදුවන විට සමගි ජන බලවේගයේ පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට සහාය දීම සඳහා තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකු ඉන් ඉවත්ව ආණ්ඩුවට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයට ද එක්වීමට තීරණය කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් එම පිරිස කැඩී ගියහොත් සමගි ජන බලවේගයට සිදුවන්නේ එජාපය මුහුණ දුන් ඉරණමට මුහුණ දීමටය. එපමණක් නොව එසේ වුවහොත් පක්ෂ නායකත්වයට පවා අභියෝගයක් වනු ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා පිරිස ඉවත්ව යාමේ අවදානමෙන් පක්ෂය මුදවා ගැනීම සඳහා කාරක සභාවලට එකඟ වුවත් ඊටත් වඩා පක්ෂ අභ්‍යන්තරය තුළ පක්ෂය හැරදා යාමේ කතාබහ වැඩිය.

පසුගිය දිනක හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කීවේ තමන්ට පක්ෂය කැඩීමට අවශ්‍ය නොවන බවත් පක්ෂය එකතු කිරීමට කටයුතු කරන බවත්ය. එය සජබයට කොළ එළියකි. එහෙත් සජබයේ නායකත්වය ඊට සූදානම් බවක් නොපෙනේ. ඔහු තවමත් සිතන්නේ ඔහුට නැවතත් බලය ලබාගැනීමට හැකියාවක් පවතින බවය. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී යන තැනය.

පක්ෂය එකතු වුවද බෙදී ගියද මේ අවස්ථාවේ අවදානම ඇත්තේ සජිත්ටය. සජිත් එය වටහා ගන්නේ නම් යහපත් වනු ඇත. එසේ නොමැති වුවහොත් සජිත්ට සිදුවන්නේ වෙරළ මැද තනිවීමටය. එහෙත් එය සජිත් ප්‍රේමදාස හඳුනාගෙන ඇතැයි තවමත් පෙනෙන්නට නැත. ඔහු තවමත් පක්ෂයේ බිම් මට්ටම ගොඩනගමින් රට වටා ගමන් කරමින් සිටින අතර ඔහුගේ අරමුණ වන්නේ මීළඟ මැතිවරණයයි. එහෙත් මැතිවරණයක් පැවැත්වීමට පක්ෂයක් ඉතිරිවේද යන්න සජිත් ප්‍රේමදාස මහතා සිතිය යුතුය.
අවසාන වශයෙන් එක් දෙයක් කීමය ඇත. ඒ පක්ෂ දෙක එකතු වුණත් නැතත් ජනතාවට ඉන් ඵලක් නැත. ජනතාවට වැදගත් වන්නේ මේ රටේ ප්‍රශ්න විසඳීමය. ඒ නිසා මෙකී පක්ෂ එක්වනවා නම් ඒ කුමක් සඳහාද යන්න එළිපිට කිව යුතුය. එසේ නොකළහොත් අවසානයේ දෙපාර්ශ්වයම අවලංගු වීමට වැඩි කලක් ගත නොවනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05