ඉකුත් වර්ෂ අවසානයේ සිට ක්‍රමයෙන් මෝදු වූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයකින් කෙළවර වූයේ හිටපු ජනපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යවමිනි. අනතුරුව අනුප්‍රාප්තික ජනපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවිය යුතු බවට යෝජනා කළේය. තවත් පාර්ශ්ව කිහිපයකින්ද ඉදිරිපත්ව වූ මෙම යෝජනාව ක්‍රියාවට නැගීමට පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය, දෙමළ හා මුස්ලිම් පක්ෂ, ස්වාධීන වූ පක්ෂ සමඟ සාකච්ඡා වට කිහිපයක් ජනපතිවරයා විසින් පවත්වා තිබිණි. නමුත් මන්ත්‍රී ධුර තුනක් හිමි ජාතික ජන බලවේගය පමණක් සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාවට සිය විරෝධය පළ කළේය. එබැවින් සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ අවසන් තීරණය ජාතික ජන බලවේගය සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරන බව දැනුම් දී තිබේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේය. නමුත් ඔවුන් දැන් පවසන්නේ සියල්ලන්ගේම එකඟතාවයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ලැබුණු අනගි අවස්ථාව මේ වනවිට මගහැරී ඇති බවයි. එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, කෙටි කාලයක් තුළ ඡන්දයක් පැවැත්වීම හා ඉවත් කරගත් දූෂණ නඩු නැවත විමර්ශනය කිරීම යන කොන්දේසිවලට යටත් විය යුතු බවද ඔවුහු පවසති. මේ බව එහි නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා තිබුණි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු පක්ෂ වෙත ජනාධිපතිවරයා ආරාධනා කර තිබූ අතර ඉකුත් 08 වැනිදා ජාතික ජන බලවේගය හමුවීමට දින නියම වී තිබුණි. නමුත් අවසන් මොහොතේ ජනපතිවරයා හමු නොවීමටත් සිය පක්ෂයේ යෝජනා ලිඛිතව භාරදීමටත් ජාතික ජන බලවේගය කටයුතු කළේය.
දේශය සමඟ සම්මුඛ වෙමින් සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දීම ගැන සිය පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය දැක්වූයේ මෙවන් අදහසකි. “සර්ව පාක්ෂික ආණ්ඩුව කියන්නේ දැන් තේරුමක් නැති එකක්. දැන් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවත් එක්ක ආණ්ඩුවක් හදාගෙන ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවද කියන එකත් තීරණය කරලා ඊට පස්සේ අපිට කියනවා ඒකට එකතු වෙන්න කියලා. එහෙම නෙවෙයිනේ වෙන්න ඕන. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් හදන්න ඕන සියලු දෙනාගේ එකඟතාවය මත. සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් පත් කරගත යුතුයි. නිශ්චිතව එකඟ වෙන්න පුළුවන් වැඩපිළිවෙළකට සියලු දෙනාගෙම එකඟතාවයෙන් කුඩා කැබිනට් එකකුත් පත්කරගත යුතුයි. ඒක තමයි අපි මැයි 11ත් යෝජනා කළේ. ගෝඨාභය රාජපක්ෂ රටින් පැනලා ගියායින් පස්සෙත් අපි ඒක යෝජනා කළා. එහෙම තත්ත්වයක් දැන් නෑ. මේ රනිල් වික්‍රමසිංහ අටවගත්ත ආණ්ඩුවට අපිට එන්න කියනවා. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.''
සැබැවින්ම මෙය දේශපාලන දෘෂ්ටි හෝ පක්ෂ මතවාදය රකිමින් බල පොරයේ නිරත විය යුතු අවස්ථාවක් නොව රට තල්ලු වී තිබෙන අගාධයෙන් ගොඩ ඒමට සාමූහිකව කටයුතු කළ යුතු මොහොතකි. එසේ තිබියදී රට අර්බුදයෙන් මුදවා ගැනීමේ අවංක වුවමනාවක් ජාතික ජන බලවේගයට නොමැතිවීම නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය නොදන්නේ ද යැයි කළ විමසුමට ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පිළිතුරු දුන්නාය. “අර්බුදය කොහොමද රනිල් වික්‍රමසිංහ එක්ක විසඳන්නේ. රනිල් වික්‍රමසිංහ මේ අර්බුදයේ කර්තෘ කෙනෙක්. රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කරන කෙනෙක්. ඒ සංස්කෘතිය වෙනස් කරන්න කියලයි මිනිස්සු ඉල්ලන්නේ. ඒක වෙනස් කරන්න බාධාවක් වෙන රනිල් වික්‍රමසිංහ එක්ක අර්බුදය විසඳන්න බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ හැදෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කාරයෝ වෙන්න ජාතික ජන බලවේගය සූදානම් නෑ.''
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට ජනාධිපතිවරයාගේ ආරාධනයට අනුව ඉකුත් 08 වැනි දිනට යොදා තිබූ හමුව අවසන් මොහොත් අත්හිටුවීමට කටයුතු කළේ විශේෂ හේතුවක් නිසාදැයි කළ විමසූ විට, එම සාකච්ඡාවට ගොස් සිය පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්නොවන බව දැනුම් දීමට නියම කරගෙන තිබුණත් පක්ෂයේ ස්ථාවරය සහ යෝජනාව ලිඛිතව දැනුම් දීම වඩාත් යෝග්‍ය බව අවසන් මොහොතේ තීරණය වූ නිසා සාකච්ඡාව අත්හල බව ඇය පැවසීය. ඒ වෙනුවට සර්ව පාක්ෂික ආණ්ඩුවට තම පක්ෂයේ සහාය පළ කිරීමට ජනාධිපතිවරයාට ලිඛිතව කොන්දේසි කිහිපයක් යොමු කළ බවද මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය. “අපි යෝජනා කළා කුඩා කැබිනට් එකක් පත් කරලා ඉස්සෙල්ලා අන්තර්කාලීන පාලනයක් සඳහා නිශ්චිත කාලරාමුවක් දැනුම් දෙන්න ඕන කියලා. ඊටපස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන මැතිවරණයක් සඳහා දින නියම කරන්න ඕන කියන යෝජනා තමයි අපි කොන්දේසි විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ.*
ජාතික ජන බලවේගය සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරමින් පිළිතුරු ලිපියක් ජනාධිපතිවරයා විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයාට යොමු කර තිබුණි. වැඩිදුරටත් එහි සඳහන් වූයේ ජාතික ජන බලවේගයේ යෝජනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ජාතික ජන බලවේගයේ සහාය අපේක්ෂා කරන බවත්ය.
මේ අසීරු මොහොතේ දේශපාලන පක්ෂයක් වශයෙන් ජාතික ජන බලවේගය ද සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දී අමාත්‍ය ධුරයක් ලබා සාර්ථකත්වය පෙන්වන්නේ නම් එය ජනතාවට විශ්වාසය තැබිය හැකි පක්ෂයක් බවට පත් කරගත හැකිය. නමුත් ඒ සම්බන්ධයෙන් ආචාර්ය හරිනි අමරසූරිය පැවසූයේ මෙවැන්නකි “ජනතාව අතර විවිධ මත තියෙනවා. අපිට හම්බවෙන ගොඩක් අය කියනවා මේ දූෂිත ආණ්ඩුවට සම්බන්ධ වෙන්න එපා කියලා. අපි ගත්ත තීරණය හොඳයි කියලා. මේ රටේ ප්‍රතිපත්තියක් මත වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට පෙනී ඉන්නේ අපි විතරයි කියලත් කියනවා. ඒ සියලු අදහස් ගැනත් හිතල අපේ දේශපාලන ප්‍රතිපත්තිවලට සාධාරණයක් වන විදිහටත් අපි නියෝජනය කරන ජනතාව වෙනුවෙනුත් මාස ගාණක් අරගලයක් කරපු ජනතාවටත් සාධාරණයක් වන විදිහටත් අපි තීරණය ගන්න ඕන. එහෙම නැතුව කාගෙවත් න්‍යාය පත්‍රවලට අපිට උදව් කරන්න බෑ.''
මීට පෙර මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාවක් ගෙන එන්නේ තමන්ගේ බලය ශක්තිමත් කර ගැනීමටත් ණය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීමටත් පමණක් බව පැහැදිලි වන බවයි. එනිසා කිසිසේත් එවැනි ආණ්ඩුවකට සිය පක්ෂය සහාය නොදෙන බව ඔහු කියා සිටියේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වීම පිළිබඳව පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු පිරිසක් පසුගිය සතියේ රුස් වී සාකච්ඡා කළ ද තවමත් පැහැදිලි තීරණයකට එළඹ නැත. සමගි ජන බලවේගය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ මත දෙකක් තිබෙන අතර එක් පාර්ශ්වයක් අමාත්‍ය ධුර ලබාගැනීමටත් තවත් පාර්ශ්වයක් අමාත්‍ය ධුර නොලබා කාරක සභා ක්‍රමයට සහාය දිය යුතු බවත් පවසා සිටිති. මීට අමතරව සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දීමට දෙමළ හා මුස්ලිම් පක්ෂ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද යෝජනා කිහිපයක්ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.
සටහන: සකීෆ් සාම්