2022 අගෝස්තු 14 වන ඉරිදා

අමුතු වැඩක් බත් බැංකුව!

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 902

මේක හරි පුදුම ඉස්කෝලයක්. පාසල්වල බැංකු තිබෙනවා ඔබ දැක ඇති. එහෙත් සල්ලි නැතුව ගනුදෙනු කරන බැංකුවකට ඔබ දැක ඇත්තේ ලේ බැංකුව පමණි. මේ කියන්නට යන්නේත් අපේ රටේ පාසලකින් දකින්න ලැබුණු ගුරුවරුන් පුරවන දරුවන් හිස්කරන හැමදාම ගනුදෙනු කරන අමුතුම ජාතියේ බැංකුවක් ගැනයි. ඒ බැංකුව බත් බැංකුවයි.

මේ බැංකු ශාඛාව පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැළියගොඩ කොට්ඨාසයට අයත් අවිස්සාවේල්ල කළුඅඳුර මහා විද්‍යාලයෙයි. එදවස කළුවර ගස් විශාල ප්‍රමාණයක් විද්‍යාල භූමිය වසාගෙන තිබී ඇති අතර මෙම පාසල කළුඅඳුර මහා විද්‍යාලය වී ඇත්තේ එහෙමය. පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිසුන් 200ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලේ ගුරුවරු 17ක් සේවය කරති.

දයාවෙන් කරුණාවෙන් හිත් පුරෝගෙන එන පාසලේ ගුරුවරුන් තම තමන්ට පුළුවන් හැමදාම පුළුවන් විදිහට මේ බත් බැංකුව පුරවන්නේ තමන් කෑමට ගෙනෙන බත් පැකට්ටුවට අමතරව ගෙනෙන බත් පැකට්වලිනි. එහෙම ගෙනෙන බත් පැකට් විදුහල්පති කාර්යාලයේ ආරක්ෂිත ස්ථානයක ඇති බත් බැංකුවේ තැන්පත් කරන්නේ අහිංසක දරු පැටවුන්ට ආදරයෙන් සෙනෙහසිනි.

නැති වූ ගවයන් දවස තිස්සේ සොයමින් සිට සිත පහදවාගැනීමට බුදුන් අභියසට පැමිණි ගොවියාට බුදුන් වහන්සේ දේශනා කළේ බඩගින්නේ සිටියදී දහම් දෙසීම නුසුදුසු බවයි. එහෙයින් බුදුහු පළමුව ආහාරවලින් ගොවියාගේ කුස පුරවා දෙවනුව ධර්මයෙන් මනස පිරවූහ. ඒ වගේම මල් වැනි පුංචි දරුවන්ට කුස ගින්දරේ අකුරු කරන්නට කළුඅදුර විදුහලේ ගුරුවරුන්ට සිත් නොදෙනවා ඇති.

පාසලේ විදුහල්පති කාර්යාලයේ පිරිසුදු පෙට්ටියක් තබා එයට ගුරුවරු පමණක් බත් පාර්සල් හැකි පමණින් ගෙනැවිත් තැබීමට කටයුතු කරති. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මේ සඳහා ගුරුවරුන්ට පමණක් බත් පාර්සල් ගෙන ඒමට මුල්  අවස්ථාව සලසා දී තිබේ.විවිධාකාර හේතු මත කෑම ගෙන ඒමට නොහැකි වූ සිසුහු ඕනෑතරම් පාසල්වල සිටිති. හිස් බඩ පාසල් පැමිණෙන සිසුහු ඕනෑතරම් පාසල්වල සිටිති. කුමන හේතුවක්  මත හෝ කෑම නොමැතිව පාසලට පැමිණීමට සිදුවූ සිසුන් පිළිබඳව ශිෂ්‍ය නායකයන් මාර්ගයෙන් සෑම දිනකම උදෑසන සොයාබැලීමක් කර පැමිණ සිටින සියලුම දරුවන්ගේ ආහාර වේල සපුරාලීමට කටයුතු කරයි. හැමදාම බත් පැකට් 15ක් 20ක් වරදින්නේ නැති පාසලේ බත් බැංකුවට ඕනෑම සිසුවකුට පැමිණ බත් පාර්සලයක් රැගෙන ගොස් ආහාරයට ගැනීමට කාගෙන්වත් තහනමක් නැති බව කියයි.

මේ ආදරණීය අත්වැල සපයන බවට අපට වාර්තා වූයේ කළුඅඳුර විද්‍යාලයේ විදුහල්පති නිමල් රූපසිංහ මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලයයි. මෙම ආදර්ශවත් ක්‍රියාව සබරගමුව පළාතට පමණක් නොව සමස්ත පාසල් පද්ධතියටම යම් ආදර්ශයක් සපයයි. මෙවන් වූ කාලයක සිදුකරන මෙම සද්ක්‍රියාව සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතාගේ ඇගැයීමටද ලක් වී තිබේ. මේ වනවිට මෙම විද්‍යාලය කැපකරු පාසලක් ලෙස නම් කර සංවර්ධනය කිරීමටද යෝජනා වී ඇතැයිද ආරංචි මාර්ග කියයි. මෙවැනි බත් බැංකු දස දහස් ගණනක අවශ්‍යතාව මතුවන්නේ රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ගේ පෝෂණ තත්ත්වය යහපත් කිරීමටය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලයේ කිරි වීදුරුවක් දීමේ සංකල්පය අපේ රට නිදහස ලැබීමෙන් අනතුරුව බිහි වූ ඩී.එස්. සේනානායක පාලන සමයේදීම ආරම්භ වූ සංකල්පයකි. පාසල් දිවා විවේකයේදී සිසු සිසුවියන්ට එම කිරි වීදුරුව ලබාදීම සිදුකළ අතර පසුව මෙරට අගමැති ධුරයට පත් වූ ජෝන් කොතලාවල මහතා පාසල් සිසුන්ට නොමිලයේ ලබාදුන් කිරි වීදුරුව අහෝසි කළේය. එහෙත් ඉන්පසුව එළැඹුණු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේදී අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරෑ විජයානන්ද දහනායක මහතා විසින් නැවතත් පාසල් සිසුන්ට කිරි වීදුරුවක් දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි. එහිදී පාසල් දරුදැරියන්ට දුන් කිරි වීදුරුවට අමතරව බනිස් ගෙඩියක්ද ලබාදීමට විජයානන්ද දහනායක අධ්‍යාපන ඇමැතිවරයා කටයුතු කළේය. විජයානන්ද දහනායක ඇමැතිවරයා පාසල් දරුවන්ගේ බනිස් මාමා වූයේ එහෙමය. පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දීමේ වැඩපිළිවෙළ මේ දක්වා අඛණ්ඩව සිදු නොවූවත් විවිධ කාලවල එය වරින්වර ක්‍රියාත්මක විය. 1980 දශකයේ පාසල් දරුවන්ට දිවා ආහාරය දීමේ වැඩපිළිවෙළක් දියත් වූ අතර එහිදී ‘ඇදිහැස’ විස්කෝතු 6ක් දරුවන්ට ලැබිණ. අමෙරිකන් රජයේ පරිත්‍යාගයක් ලෙස ඒවා හිමිවිය. 

පසුකාලීන ඇතැම් දේශපාලකයන් පැවසූයේ තමන් පත්වුවහොත් සියලුම සිසුන්ට දිවා ආහාර වේල අඛණ්ඩව නොමිලයේ ලබාදෙන බවයි. එහෙත් මේ වනවිට පාසල් සිසුන්ගේ පමණක් නොව ලොකු පොඩි හැමෝගෙම පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාව මතුවී තිබේ. කටින් බතල හිටවීම පසෙක තබා ඒ සඳහා වෙහෙසීමට කාලය උදාවී තිබේ.

ඒ වගේම බත් බැංකුවේ තවත් ශාඛාවක් පිළිබඳ අහම්බයෙන් අහන්නට ලැබුණේ හෝමාගම අධ්‍යාපන කලාපයෙනි. එය හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් ආටිගල කනිෂ්ඨ විද්‍යාල‍යේ පිහිටා ඇත්තේය. “අපේ පාසලේ සිසුන් 300ක් පමණ ඉන්නවා. ඒකෙනුත් සිසුන් 118ක් විතරම ඉන්නේ 6-11 සිසුන්. මෙම බත් බැංකුව වැඩසටහන අපි සිදුකරන්නේත්  6-11 දරුවන් ඉලක්ක කරගෙන. බොහෝ සිසුන් පාසල් එන්නේ විවිධ දුෂ්කරතා මැද. උදේට නොකා නොබී පාසලට එන සිසුනුත් ඉන්නවා. සිසුන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව අපි හඳුනාගෙන එයට විසඳුමක් ලෙසයි මේ බත් වැඩේ පටන් ගත්තේ. ගුරුවරුන්ගෙන් ලැබෙන බත් පාර්සල්වලින් වගේම ප්‍රාථමික අංශයේ පෝෂණය ව්‍යාපෘතියෙනුත් ලැබෙන දිවා ආහාරවලින් පාර්සල් දෙක තුනක් සකසා ගන්නවා. එහෙම එකතු කරලා ගෘහ විද්‍යා ගුරුතුමියගේ අධීක්ෂණය යටතේ අවශ්‍යතා ඇති සිසුන්ට ඒ කෑම ලබාදෙනවා. ඒ වගේම පාසල් සිසුන්ට උදෑසන කැඳ වීදුරුවක් ලබාදීමේ ව්‍යාපෘතියක්ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මේ යටතේ කොළකැඳ සහ කුරක්කන් කැඳ ඇතුළු කැඳ වර්ග මාරුවෙන් මාරුවට ලබාදෙනවා. ඒ වගේම පාසලේ සිසුන්ට පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ ලබාදෙන්න සම්පත් බැංකුව ආදී ආයතන අනුග්‍රහය ලබාදෙනවා. යහපත් මානසික මට්ටමකින් හෙබි නිරෝගී සිසුවකු බිහිකිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය පාසලේ සම්පත් ප්‍රමාණයෙන් දැනට පවත්වාගෙන යනවා.* මෙසේ පැවසූයේ ආටිගල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත මහතායි. හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ඩී. වීරසූරිය මහතාගේත්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කාන්ති මල්ලිකා මහත්මියගේත් නිරන්තර උපදෙස් මත පාසලේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යන බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේය. මෙම පාසල් ද්විත්ව හැරුණුකොට මෙවැනි වැඩසටහන් තවතවත් පාසල්වල ආරම්භ කිරීම දරුවන්ගේ අනාගතයට අනගි අත්වැලකි. එය ඒ තරමටම සද්ක්‍රියාවකි.

හිස්බඩ මිනිසුන් වෙසෙන හිස්බඩ රටකට මේ මොහොතේ අවශ්‍ය වන්නේ බලධාරීන්ගේ ගජබින්නාලංකාර නොව වැටුණු තැනින් ශක්තිමත්ව නැගිටීමට හැකි ප්‍රායෝගික සාර්ථක ක්‍රමවේද විතරමය. මේ සම්බන්ධයෙන් කිවයුතු තවත් කරුණක් වනුයේ මෙම බත් වැඩසටහනේ අපේක්ෂිත ඵල දරුවන්ට ලබාගත හැකිවනුයේ කොබයාෂි වැනි ගුරුවරුන් පමණක් නොව මවුපියන්ද අවංක වූ විට පමණි.

රටට අවැසි වන්නේ ‘මේ බත් එකත් අරන් ගිහින් යාළුවෝ එක්ක කන්න පුතේ^ කියන පරාර්ථකාමී මවුපිය පරපුරකි. එහෙයින් ‘හැමදාම ඉස්කෝලෙන් දෙනවා නම් ඉස්කෝලෙන්ම ඉල්ලගෙන කාපන් මයෙ පුතේ’ කියා හිස අතගා දරුවන් පාසල් යවන මවුපිය පරපුරක් මේ දේශයේ බිහි නොවේවායි අපි ප්‍රාර්ථනය කරමු.

 සසංක

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05