2022 අගෝස්තු 14 වන ඉරිදා

මුදල් පළහිලව්වෙන් කොට උඩ යන මධ්‍යම අධිවේගය

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 155

මේ වනවිට අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පවතින පොදු ප්‍රශ්නය වන්නේ රටේ ආර්ථික අස්ථාවර බව හේතුවෙන් මෙරට සංවර්ධන වැඩවලට මෙන්ම අත්‍යවශ්‍ය දේවලට ලබාදීමට සැලසුම් කර ගිවිසගෙන තිබූ විදෙස් ආධාර දිනෙන් දින ඔවුන් අත්හිටුවීමයි. මධ්‍යම අධිවේග ව්‍යාපෘතියටත් එය ඒ ආකාරයෙන්ම බලපා තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන මීරිගම- කඩවත මාර්ගය ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ලබා දී තිබූ ණය පහසුකම අත්හිටුවා ඇතැයි ඉකුත්දා වාර්තා වූයේය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීම ණය පහසුකම අත්හිටුවීමට හේතු ලෙස චීනයේ එක්සිම් බැංකුව දන්වා ඇතැයිද එහි සඳහන්ය. මධ්‍යම අධිවේගියේ පළමු කොටස වන මීරිගම - කඩවත මාර්ගයට බාලගිරි දෝෂයේ උපත සිදුවූයේ කවරදා පටන්දැයි යන්න තවමත් අවිනිශ්චිතය. 

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී. 169ක දුරකින් යුක්තය. එහි පළමුවැනි අදියර කඩවත සිට මීරිගම දක්වාද, දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වාද ඉදිවන අතර තෙවැනි අදියර පොතුහැර සිට ගලගෙදර දක්වාද, සිවුවැනි අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස චීනයේ මෙට්රො ලොජිකල් කෝපරේෂන් සමාගම කටයුතු කරන අතර චීනයේ එක්සිම් බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 989ක සහන ණයක් ලබා දීමට සැලසුම් කර තිබී ඇත. කඩවත - මීරිගම මාර්ග කොටසේ දිග කිලෝමීටර් 37ක් වන අතර මංතීරු හතරකින් සමන්විතය. 

රටේ පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ මධ්‍යම අධිවේගියේ මීරිගම කඩවත කොටස මෙරට වැසියන්ට සිහිනයක් පමණක් වේවිද යන්න බරපතළ ගැටලුවකි. මෙම ණය අත්හිටුවීමේ ඇත්ත කතාව දැනගැනීම සඳහා අප කළ විමසීමේදී බලලත් ආයතනයක ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දේශයට’ විශේෂ අනාවරණයක් කළේය. 

“මෙම ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් කළේ 2016 ජූලි මාසයේදී. එහෙත් ව්‍යාපෘතිය ආරම්භ කළේ 2020 වසරේදී. මේ වසර 4 ඇතුළත මේ වැඩේ ඇදි ඇදී ගිහින් තියෙනවා. 2020 දී ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ 2024 සැප්තැම්බර් මාසයේදී අවසන් කරනවා කියන අරමුණින්. ආරම්භයෙන් පස්සේ මේ වැඩේ හොඳට ගියා. චීනයේ එක්සිම් බැංකුවෙන් 2022 මාර්තු වෙනකල් සත පහක්වත් නිදහස් කළේ නැහැ. 2019 දී ණය ගිවිසුම අත්සන් කර 2020 දී ව්‍යාපෘතිය ආරම්භ කළත් 2022 මාර්තු වෙනකල් එක්සිම් බැංකුවෙන් සල්ලි දුන්නේ නෑ. ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ මුල් අත්තිකාරම (Mobilization Advance) ගෙවන්න ඕනා ලංකා රජයෙන්. ලංකා රජයෙන් බිලියන 33ක් ගෙව්වා. ඒ මුදල් මොවුන් චීනයට ගෙනගියේ නෑ. මේ ව්‍යාපෘතියේ මේ වෙනකල් වැඩකළේ ඒ මුදලින්. මේ ව්‍යාපෘතිය කිලෝමීටර් 37 ක් දිගයි. මෙහි කණු උඩ යන පාලම්, පස්වලින් හදන පාරවල් තිබෙනවා.

කණු උඩ යන පාලම් වැඩවලින් සියයට 65ක් 70ක ප්‍රමාණයක් අවසන් කර තිබෙනවා. මේ වනවිට වැඩ අතපසු වෙලා තිබෙන්නේ පස්වලින් පුරවන කොටස්වල. අද වෙද්දී සියයට 32ක ප්‍රතිඵල තිබෙනවා. ව්‍යාපෘතිය ආරම්භ කළාට පස්සේ වැඩේ හොඳට කරගෙන ආවා. 2020 ඉඳන් මේ වෙනකල් කරපු වැඩවලට බිල් ඉදිරිපත් කරන්න ඕනා. ඒකත් කරා. ඒ සියලු බිල් සහතික කර චීනයට යවා තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 124 ක් යවා තිබෙනවා. එයින් ගිය වසරේ අප්‍රේල් 12 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක් එක්සිම් බැංකුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙව්වා. ඒ ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුගේ මවු සමාගමේ එනම් (MCC) ගිණුමේ තිබෙනවා. මේක ඉල්ලලා ලිපි විශාල ප්‍රමාණයක් වරින් වර යැව්වත් මේ මුදල ඔවුන් මුදාහැරියේ නෑ. දැන් වෙලා තියෙන්නේ මේ මිලියන 52කවත් ලංකාවට එවන්න බැංකුව උදවු කළේ නෑ. කලින් කියූ ව්‍යාපෘතියට යෙදවූ බිලියන 33 මේ වෙද්දී ඉවරවෙලා දැන් තිබෙන්නේ මිලියන 600 ක් වැනි මුදලක්. අපි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙනුත් (ERD) ගොඩාක් ඉල්ලීම් කර තිබෙනවා මිලියන 52වත් මෙරටට ගෙනත් දෙන්න කියලා. මේ වැඩේ තවම කෙරුණේ නෑ. ඒ නිසා කොන්ත්‍රාත්කරු අපිට ලියුමක් දුන්නා සැප්තැම්බර් මාසයෙන් පසු මේ කොන්ත්‍රාත්තුව නවත්වනවා කියලා. මෙහි ඇත්ත කතාව මේකයි.

මේකෙ තව අතුරු කතාවක් තිබෙනවා. අප්‍රේල් මාසයේ අග වනවිට ලංකාව බංකොලොත් කියලා කිව්වා. ඒ ගමන්ම රටරටවල බැංකු ලංකාව සමඟ තිබූ ගිවිසුම් සියල්ල එකවර නැවැත්තුවා. මුලින් බැංකුවෙන් ගෙවපු බිලියන 52ට අමතරව කිසිදු මුදලක් නොගෙවන බවට එක්සිම් බැංකුව තීරණයක් ගත්තා. ඒකට හේතුව ලංකාව බංකොලොත් කියලා ප්‍රචාරය වීම. ඉතිරි මුදල තිබෙන්නේ එක්සිම් බැංකුවේ. බිලියන 52 තියෙන්නේ කොන්ත්‍රාත් මවු සමාගමේ. මේ කිසිම මුදලක් ලංකාවට ඇවිත් නැති නිසා මේ වැඩ ටික කරගෙන යන්න බැරුව කොන්ත්‍රාත්කරු ව්‍යාපෘතිය අතරමග නැවතුණා.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 989යි. දැනට අපි බිලියන 124ක බිල් අනුමත කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය අද පටන්ගත්තත් 2024 දී අවසන් කළ හැකි මට්ටමක අප සිටිනවා. අපි ඉලක්ක කළේ 2022දී සියයට 45ක්, 2023 දී සියයට 40ක්, 2024 දී ඉතිරි සියයට 15 කිරීමටයි. එහෙත් මේ වසරේ සියයට 45න් සියයට 32යි කරගන්න පුළුවන් වුණේ. 

මෙම ව්‍යාපෘතියේ ඉදිරි පියවර ඉතාම පහසු වැඩක් තිබෙන්නේ. පෙර කී අපට ලැබීමට තිබෙන මිලියන 52ක මුදල ලංකාවට ගෙනත් දුන්නොත් ලබන වසරේ මාර්තු වෙනකම් මේ ව්‍යාපෘතිය කරන්න පුළුවන්. ඒ වෙද්දී ලංකාවේත් ආර්ථිකය යහපත් මට්ටමක තිබේවි. එවිට දිගටම කරගෙන යන්න පුළුවන්” යැයි හෙතෙම පැවසුවේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම කුරුණෑගල කොටස ජනතා අයිතියට පත් කළද එහි පළමු අදියර තවම අවසන් නැත. මේ වනවිට එහි ඉදිකිරීම්ද නැවතී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අපේ රටේ  සේවකයන් 1800 - 2000කට ආසන්න පිරිසක් සහ‍ චීනයෙන් සේවකයන් 500ක් පමණ සම්බන්ධ වී සිටියහ. ව්‍යපෘතිය අතරමග නැවතීම හමුවේ චීනයෙන් පැමිණි සියලු දෙනා නැවත චීනයට පිටත් කර හැර ඇති අතර දැනට චීන සේවකයෝ 63ක් ඉතිරි වී සිටිති. අපේ රටේ සේවකයන් සියලු දෙනාත්  මේ වනවිට ඉවත් කර ඇති අතර එයින් දැනට 30 දෙනෙක් ඉතිරි වී සිටිති. ඉතිරි සියලු දෙනාටම රස්සා අහිමි වී ඇතැයි වාර්තා වෙයි.

නැවතුණු ව්‍යාපෘතියේ ඉදිරි පියවර සම්බන්ධයෙන් කළ විමසීමේදී මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉදිරි සති දෙක ඇතුළත යම් සාධනීය පිළිතුරක් අපේක්ෂාවෙන් පසුවන බවත්ය. මෙරටට ණය ආපසු ගෙවීමේ හැකියාවක් නොමැති බව පවසමින් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් මත ක්‍රියාත්මක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියද තාවකාලිකව අත්හිටුවා ඇති බවද කියයි. 

ඇවිදින තරමට වේගයෙන් ආරම්භ වූ රථවාහන ධාවනය අද විදුලි වේගය දක්වා වර්ධනය වී තිබේ. රටකට පැමිණෙන සංචාරකයන් විමසනුයේ යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගතවන කාලය පිළිබඳවය. ඔවුන්ට ඒ සඳහා ඇති දුර පිළිබඳ ගැටලුවක් නැති අතර කාලය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනුයේ අපට තරම් රස්තියාදුව ඔවුනට පුරුදු නැති නිසාය. අධිවේගී මාර්ගයක වටිනාකම මතුවන්නේ එවැනි අවස්ථාවලදීය. අධිවේගී මාර්ග ඉදිවීම රටක සංවර්ධනයේ අනාගත සිහින මල්ඵල ගන්වන්නකි.

මීරිගම කඩවත අධිවේගයට චීනයෙන් ලැබීමට තිබෙන මුදල් ගෙන්වා දෙන ලෙස කොතෙක් ඉල්ලීම් කළත් එයට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වූ බව පැවසෙයි. වි‍දේශ සම්පත් දෙපාර්තමේන්තුව යනු මෙරට ප්‍රමුඛ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ වගකිවයුතු ආයතනයයි. අපේ රට මේ වනවිට අසාධ්‍යය තත්ත්වය හමුවේ මෙවැනි ක්‍රියාවලින් සිදුවන්නේ  රටේ සංවර්ධන කාර්යයන් අඩාල වීමෙන් එය තවතවත් දුර්වල වනවා විනා අන් දෙයක් නො‍වේ. එ‍හෙයින් මෙරට සංවර්ධන කාර්යයන්වලට නිසි මගපෙන්වීමක් සහ මැදිහත්වීමක් කර ඒවා සාර්ථක කරගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීම බලධාරීන්ගේ වගකීමකි. නිසි මොහොතේ නිසි විසඳුම අත්‍යවශ්‍යමය. ලෙඩා මළත් බඩ සුද්ද වී පලක් නැති බව පමණක් අපි මේ මොහොතේ සිහිපත් කරමු. 

 සසංක චලන ගිම්හාන