අන්තර්ජාතික කොටි දිනය යෙදී තිබුණේ අගෝස්තු මාසයේ පළමුවැනිදාටය. ඒ අතර වාරයේ අපේ රටෙන් ඉතා දුලබ සත්ව සම්පතක් ගැන අහන්න ලැබුණේ ඛේදනීය කතාවකි.
හැටන් වනරාජා වතුයායට අයත් සමර්හිල් කොටසේ තේ වත්තේ සැරිසරන වල්ඌරන් සහ කඳුකර කොටියන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් අටවා තිබූ මන්දකට හසුවූ කඳුකර කොටියෙක් ගැන වාර්තා වුණේ අගෝස්තු 6දාය. මන්ද ගලවා ගැනීම සඳහා කොටියා අසල පිහිටි යුකැලිප්ටස් ගසක නැඟ සිටියදී දෙබලක රුඳී තිබුණි. කොටියා බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් ගස කපා බිමට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ බිමට වැටී එම ස්ථානයේම මියගිය බව එම කනගාටුදායක පුවතයි. මේ ගැන සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇතිවූ අතර ''වනජිවිය කෝටියා බේරාගත්තා වගේ'' යයි අලුත් ප්‍රස්ථාව පිරුළු පවා නිර්මාණය කර තිබුණි. එය මහදැනමුත්තලා එළුවා බේරාගත්තා වාගේ කදිම සිදුවීමකි. නමුත් මේ ගැන එක්වරම වනජීවියට දොස් තැබීමට අප ඉක්මන් නොවන්නේ ඒ අවස්ථාවේ කුමන පසුබිමක් උදාවූයේදැයි කොළඹ සිට තීරණය කිරීම දුෂ්කර හෙයිනි.
මෙම කඳුකර කොටියා මාස දහයක් පමණ වයසැති කුඩා පැටවෙකු බව වනජීවී පශු වෛද්‍යවරු පැවසූහ. කඳුකර කොටියා කම්බියකින් තනා තිබූ මන්ද ගලවා ගැනීමට ගස මත සිට විශාල උත්සාහයක නිරතව සිටි අතර මරු විකල්ලෙන් දැඟලීම නිසා මන්ද අටවා තිබූ කම්බියෙන් උදරය කැපී විශාල ලෙස තුවාල සිදුවී තිබිණි. එම ගස තනි කඳකින් යුත් කුඩා යුකැලිප්ටස් ගසක් වන අතර වනජීවී නිලධාරීන් උත්සාහ කර ඇත්තේ ගස කපා සතා බිමට පතිත කර ගලවා ගැනීමට බව පෙනේ. නමුත් කැපූ ගසට යටවීම සහ ඇතිවී තිබූ විශාල තුවාල හේතුවෙන් කොටි පැටවා එතැනදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඌ නිර්වින්දනය කර බේරා ගැනීමට රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණියද එම ස්ථානයට පැමිණ සිටියේය.
මියගිය කඳුකර කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක ඒ අවස්ථාවේ පවසා සිටියේය.
කොටියාගේ මරණය ගැන ජනතාව තුළ විරෝධයක් මතුවූ අතර ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අදාළ නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් කොටියාගේ මරණය සිදුව ඇති බව තහවුරු වුවහොත් එම නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා සිය ලේකම්වරියට උපදෙස් ලබා දී ඇත. ඇමැතිවරයාගේ උපදෙස් මත 8දා දිනයේදීම විමර්ශන ආරම්භ කිරීමට අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පියවර ගෙන ඇති බව පැවසේ. ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමක් සමර්හිල් වතුයාය වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මහ රූ ගෙට පැමිණි කොටියා
මේ අතර එම සිද්ධියට සතියකට පෙර අගෝස්තු 4දා අපට අසන්නට ලැබුණේ වහල කඩාගෙන නිවසක් තුළට වැටුණු දැවැන්ත කොටියෙක් ගැනයි. එම අපූරු සිද්ධිය වාර්තා වූයේ ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායෙනි. කඳුකරයේ මුවන් වැනි සතුන් නැති නිසා කඳුකර කොටියාගේ ප්‍රධාන දඩයම ගෘහාශ්‍රිත සුනඛයන්ය.
ලෝගී වතුයායට ඉහළ වන තීරුවේ ගැවසෙන බවට සැකකරන කඳුකර කොටියා සුනඛයකු දඩයම් කිරීම සඳහා වතුයායේ නිවාස පිහිටි ප්‍රදේශයකට පැමිණි අතර පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රී 10ට පමණ සුනඛයා පසුපස හඹාගෙන පැමිණී අවස්ථාවේ පහළ බෑවුමේ ඉදිකර තිබූ වතු නිවාසයක වහළ මතට පැන තිබේ. ඒ ඉලක්කය වැරදීම නිසයි. නිවසට සෙවිලි කර තිබූ ඇස්බැස්ටස් ෂීට් එකක්ද කඩාගෙන ඌ නිවස ඇතුළට වැටුණේ ඒ මොහොතේය. මහ රෑ ගේ මැදට වැටුණු කොටියා දුටු නිවැසියන් බියෙන් තැතිගත්හ. එහෙත් තැනට සුදුසු නුවණින් කටයුතු කළ ඔවුන් නිවසින් පිටතට යන්නේ දොර ජනෙල් වසා දමමිනි. ඉන්පසු ජනෙල් සහ දොරවල් පහසුවෙන් කැඩීමට නොහැකි ලෙස පිටතින් ලීකොට හේත්තු කිරීම සිදුකෙරිණි.
නිවස තුළ කොටු වී සිටි කඳුකර කොටියා ගැන ලිඳුල පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ. රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය එම ස්ථානයට පැමිණි නිවස තුළ පැය 16ක් කලබලකාරී ලෙස හැසිරෙමින් සිටි කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ගත්තේය. පසුව ආරක්ෂිත කුඩුවක දමා රුගෙන යාම සිදුවිය. අල්ලාගත් කඳුකර කොටියා සුදුසු පරිසරයකට මුදාහැරීමට කටයුතු කරන බවයි නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය සහ මහනුවර දිසාවේ ගම්පොළ, නාවලපිටිය ඇතුළු ප්‍රදේශවල කඳුකර කොටි ගහණයේ වර්ධනයක් ඇති බවට පසුගිය කාලය පෙනෙන්නට තිබුණේ එම ප්‍රදේශවල කඳුකර කොටින්ගේ ක්‍රියා කලාපය නිසාමය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝටන්තැන්න සහ ඒ අවට වතු ආශ්‍රිතවත් නල්ලතන්නිය, මස්කෙළිය, ගම්පොළ, පුස්සැල්ලාව, නාවලපිටිය ඇතුළු තේවතු ආශ්‍රිත ප්‍රදේශවල කඳුකර කොටි සැරිසරන්නේ උන්ගේ ජීවිත්වීම සඳහා සුදුසු පරිසරයක් සහ දේශගුණයක් එම ප්‍රදේශවල ඇති බැවිනි. නමුත් උන්ට අවශ්‍ය ගොදුරු වතු ආශ්‍රිතව හෝ අවට වනරොදවල නැත. මේ නිසා සතුන් සෙවීමට වතු නිවාස ආසන්නයට පැමිණීමට කුසගිනි කොටින්ට සිදුව තිබේ. නිවෙස්වල ඇතිකරන බල්ලන් මෙන්ම එළුවන්ද උන් ආහාරයට ගත් සිද්ධි වාර්තා වේ.
පශු වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොටින් පිළිබඳ සමීක්ෂණයක් කර නැතත් කොටින් 800කට වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වනාන්තරවල පැතිරී සිටින බවයි. පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන සඳහන් කරන්නේ ඒ සංඛ්‍යාව දහස ඉක්මවන බවයි. පසුගිය කාලයේ වියළි කලාපයට වඩා කඳුකර තෙත් කලාපයේ දිවි ගෙවන කොටින්ට නරක කලදසාවක් උදාවී තිබිණි. ඒ එම ප්‍රදේශවල ජීවත්වූ කඳුකර කොටින් 12 දෙනකුට පමණ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවීෙමනි. 2020 මැයිවලදී නල්ලතන්නියේදී උගුලකට හසුවූ කඳුකර කළු කොටියකුට ජීවිතයෙන් සමුගන්නට වූ සිද්ධියද මේ අතර සුවිශේෂීය. වතුකරයේ කොටින් ගැවසෙන ප්‍රදේශවල උගුල් අටවන ඇතැමුන් කඳුකර කොටින් මරා උන්ගේ මස්, හම, දත් සහ නියපොතු මුදලට විකිණීමේ ජාවාරමෙන්ද පසුගිය කාලයේ මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා විය.
පසුගිය 2021 වසරේදී මධ්‍යම පළාත තුළ පමණක් කඳුකර කොටි 7 දෙනකු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කර සිටිති. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවලින්ද කොටි මරණ දෙකක් වාර්තා විය. අවුරුද්දක් තුළ ඝාතනය කර ඇති සමස්ත කොටි සංඛ්‍යාව 9කි. මදුවලට හසුව සිට අසු වූ කොටින් දෙදෙනකුගේ ජීවිත බේරා ගැනීමටත් වනජීවී පශු වෛද්‍යවරු සමත් වූහ. ආගරපතන, බෝපත්තලාව, දික්ඔය, මුල්ඔය, රජ්ජම්මන, කැනියෝන් සහ මහගලහින්න යන ප්‍රදේශවලදී පසුගිය වසරේ කඳුකර කොටියන් මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. කොටින් අතරින් වැඩි සංඛ්‍යාවකට දිවි අහිමි වන්නේ සතුන් දඩයම් කර ගැනීමට ඇට වූ කම්බි මදුවලට හසුවීම නිසයි
පසුගිය වසර කිහිපය තුළම කොටියන් හා වන සතුන් ඉලක්ක කර ගනිමින් අටවා තිබූ කම්බි මදු හා වෙනත් මරඋගුල් රැසක් ඉවත් කිරීමට වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩසටහන් ක්‍රියාත්මක කළේය. වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම වතුකරයේද එම කටයුතු සිදුවිය.
මෝටර් බයිසිකල්වල බ්‍රේක් කේබල් හෝ ත්‍රීවිලර්වල ක්ලච් කේබල් එක යොදාගෙන මදු අටවන බවයි හෙළි වී ඇත්තේ. මෙම වානේ කම්බි ඉතා ශක්තිමත් නිසා සතුන්ට ඒවා කඩා ගැනීමට හැකියාවක් නැත. කේබල් එකෙන් මද්ද තනා කොටි ගමන් කරන පාරේ නැවෙනසුලු ගසක එය ගැටගැසීම සිදුවේ. මද්දට අසුවූ විට බියට පත්වන සතා කම්බිය වේගයෙන් අදින්න පටන් ගන්නා අතර, එවිට සිදුවන්නේ ඌ තව තවත් මද්දට හිරවීම යි. බෙල්ල, උදරය වැනි ප්‍රදේශයක් මද්දට හසුවුණොත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තුවාල වීමෙන් මරණය සිදුවේ. පශු වෛද්‍ය නිලධාරීන්ට පවා මදුවලට හසු වූ සත්වයා බේරාගැනීම අසීරු වන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට බරපතළ හානි සිදුව තිබීම නිසයි.
බහුල වශයෙන් කඳුකර කොටියන් අනතුරට හෝ මරණයට පත්වන ප්‍රදේශවලට වැඩි ප්‍රමුඛතාවක් ගෙන දෙමින් වතු ජනතාව හා වතු නිලධාරීන් දැනුම්වත් කිරීමට වනජීවී නිලධාරින් පියවර ගෙන තිබේ. සිරිපා අඩවියේ සහ නල්ලතන්තිය අවට මෙන්ම පුස්සැල්ලාව, කඳපොළ, ආගරපතන ආදී වතුකරයේ එවැනි දැනුම්ත් කිරීම් සිදුකර තිබෙන බව වාර්තා විය. නමුත් මදු තැබීමේ අඩුවක් නැති බව පසුගිය වනරාජා වතුයායේ සිද්ධියෙන්ද අපට පැහැදිලි වේ.
කුසුම්සිරි විජයවර්ධන