ඇමෙරිකානු කතානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය මේ වනවිට ඇමෙරිකාව හා චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබේ. චීනය තම පාලනයට නතු පළාතක් ලෙස සලකන තායිවානයට ඇමෙරිකානු කතානායිකාව පැමිණීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සිටි අතර එම විරෝධය නොතකා ඇය එහි පැමිණියහොත් ඊට වන්දි ගෙවීමට සිදුවන බවටද චීනය අනතුරු අඟවා තිබිණි. එහෙත් එම විරෝධය නොතකා තම මලයාසියානු සංචාරයෙන් පසු නැන්සි පෙලෝසි පසුගිය අගෝස්තු 2දා තායිවානයට පැමිණියාය. ඒ වසර 25කට පසු තායිවානයට පැමිණි ජ්‍යෙෂ්ඨතම ඇමෙරිකානු දේශපාලනඥයා ලෙසිනි. එම සංචාරයට පෙර ඇය කියා තිබුණේ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වනවිට ඇමෙරිකාවට බලා සිටිය නොහැකි බවටය.
දිනක සංචාරයෙන් පසු නැන්සි පෙලෝසි පසුගිය 3දා තායිවානයෙන් පිටත්ව ගියාය. එහෙත් චීනය තායිවානයට දැඩි සම්බාධක පැනවීමට පියවර ගත්තේය. ඉන් පළමුවැන්න වූයේ චීනයෙන් තායිවානයට වැලි අපනයනය නවතා දැමීමය. තායිවානයෙන් මසුන් සහ පළතුරු ආනයනද සීමාකර තිබේ. තායිවාන ජනපති කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබිණි. එය චීනය විසින් කරන ලද්දක් බවට තායිවානය චෝදනා කළේය. තායිවානය තම රට ස්වයංපාලන දේශයක් ලෙස හැඳින්වුවද චීනය සලකන්නේ එය තම පාලනයට නතු රටක් ලෙසිනි. සම්බාධක පැනවීමෙන් නොනැවතුණු චීනය තම ගුවන් යානා තායිවාන ගුවන් කලාපයට යැවීමට පියවර ගත්තේය. පසුගිය ඉරිදා යුද අභ්‍යාස පවත්වමින් තායිවාන සමුද්‍ර සන්ධියේ සහ ඒ අවට කලාපයේ සැරිසැරෑ චීන ගුවන් හමුදා ගුවන් යානා 66ක් සහ චීන යුද නැව් 14ක් හඳුනාගෙන ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එහිදී ජීව අවිද යොදාගත් බව සඳහන් විය. පසුව තායිවානයට නිරිතදිග වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු කලාපයට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්ද එල්ලකර තිබිණි. මෙම මිසයිලවලින් සමහරක් ජපාන මුහුදට පතිත වීම හේතුවෙන් අර්බුදය සංකීර්ණ වෙමින් තිබේ. චීනය ප්‍රකාශ කළේ තමන් යුද අභ්‍යාසයක නිරතව සිටින බවයි.
දින හතරක් පුරා චීනය තම හමුදාමය ශක්තිය ප්‍රදර්ශනය කිරීම නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට එරෙහිව කළ ප්‍රතිචාර දැක්වීමකි. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ දිවයින වටා පවත්වන චීන හමුදා අභ්‍යාසවලට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීම සඳහා තම ගුවන් යානා සහ නෞකා යවා ඇති බවයි.
තායිවානයේ භූමි කටයුතු පිළිබඳ කවුන්සිලය බීජිං බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ සංයමයකින් කටයුතු කර සියලු සටන්කාමී හැසිරීම් වහාම නතර කරන ලෙසටය. චීනය තායිවානය සහ අසල්වැසි රටවල් බිය ගැන්වීම සඳහා මෙලෙස යුද අභ්‍යාස තායිවානය වටා ඇති භූමි ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන බවට කවුන්සිලය චීනයට චෝදනා කර තිබේ. තායිවාන අග්‍රාමාත්‍ය Su Tseng-chang සඳහන් කර ඇත්තේ කලාපීය සාමය සහ ස්ථාවරත්වය බිඳ දැමීමේ අරමුණින් චීනය උද්ධච්ඡ ලෙස හමුදා ක්‍රියාමාර්ග භාවිතා කරන බවයි. සයිබර් ප්‍රහාර සහ වැරදි තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාර ඔස්සේ තායිවාන ජනතාවගේ චිත්ත ධෛර්යය හීන කිරීමට චීනය උත්සාහ කරන බවද එය හෙළාදකින බවද ඔහු ප්‍රකාශ කර ඇත.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ දැනටමත් ජාත්‍යන්තර ආතතීන් ඉහළ ගොස් ඇති අවස්ථාවක නැන්සි පෙලෝසිගේ පැමිණීම සම්බන්ධයෙන් චීනය කෝපයට පත් ප්‍රතිචාරයක් පෙන්නුම් කළේය. චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන අතර එය තම පාලනය යටතට ගැනීමට බලය යොදා ගැනීම කිසිවිටෙක අත්හැරියේ නැත. මෙම සංචාරය තායිවානයට එරෙහි චීන හමුදාමය ක්‍රියාමාර්ග සඳහා කඩතුරාවක් ලෙස යොදා ගැනීමට එරෙහිව එක්සත් ජනපදය චීනයට අනතුරු අඟවා තිබේ.
චීන විරෝධයට සූදානමක් ලෙස ඇමෙරිකාව තායිවානයට බටහිර මුහුදේ තම ප්‍රහාරක නෞකා තුනක් වන යූඑස් එස් රොනල්ඩ් රේගන්, යූඑස් එස් ඒබ්‍රහම් ලින්කන් සහ යූඑස් එස් ට්‍රිපොලි යන නෞකා ස්ථානගත කිරීමට පියවර ගත්තේය. එයට ප්‍රතිචාර ලෙස චීනයද දකුණු චීන මුහුදේ තම යුද නෞකා ස්ථානගත කිරීමට කටයුතු කළේය.. චීනය ප්‍රකාශ කර තිබුණේ තමන්ට එරෙහිව ක්‍රියා කළහොත් යුදමය ප්‍රතිචාරයක් දැක්වීමට තමන් පසුබට නොවන බවටය. අමෙරිකානු කතානායිකාවගේ සංචාරය කලාපීය සාමයට තර්ජනයක් යැයි චීනය පවසා තිබේ. ගින්දර සමඟ ක්‍රීඩාවේ යෙදුණහොත් ගින්නෙන්ම විනාශ වනු ඇතැයි චීනය ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ. මේ තත්ත්වය යටතේ කලාපය තුළ යුද උණුසුමක තත්ත්වයක් මතුවෙමින් තිබේ.
සජීවී යුද අවි යොදාගනිමින් අභ්‍යාස පැවැත්වීම සැබෑ යුද්ධයට සමාන තත්ත්වයන් යටතේ මෙහෙයුම් සිදු කිරීමට හමුදාවට ඇති හැකියාව පරීක්ෂා කිරීමකි. මෙම තත්ත්වය යටතේ, තායිවානයේ පාලනය අල්ලා ගැනීමට චීනය තීරණය කළහොත් තායිවානයට එරෙහිව මුදා හැරිය හැකි තම යුද ශක්තිය පෙන්වීම චීනයේ අරමුණය. එහෙත් යුද්ධයක් දක්වා වර්ධනය කිරීමේ අවශ්‍යතාවක් එක්සත් ජනපදයට හෝ චීනයට නොමැති යැයි දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ..
තායිවාන් සමුද්‍ර සන්ධියේ මින් ඉහත අවස්ථා කිහිපයකදීම අර්බුද නිර්මාණය විය. 1995දී තායිවානයේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණය පවත්වන බවට තායිවානය නිවේදනය කිරීමත් සමඟ තායිවාන වරායේ සිට සැතපුම් 35ක පමණ දුරක සිට චීනය මිසයිල ප්‍රහාර එල්ල කරමින් මාස ගණනාවක් මිලිටරි අභ්‍යාස පැවැත්වීම එහි ආසන්තම සිදුවීම විය.
තායිවානය, නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ චීන සමූහාණ්ඩුව (Republic of China) යනුවෙනි. එය 1949 සිට චීනයේ ප්‍රධාන භූමියෙන්, එනම් නිල වශයෙන් මහජන චීන සමූහාණ්ඩුව (Peoples republic of China) වෙතින් ස්වාධීනව පාලනය වන්නකි. තායිවානය කැරලිකාර කලාපයක් ලෙස සැලකන අතර චීනයට අවශ්‍ය එය ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කිරීමටය. එක් චීනයක් පමණක් පවතින බවත් තායිවානය එහි කොටසක් බවත් චීනය ප්‍රකාශ කරයි. ඔවුන් මහජන චීන සමූහාණ්ඩු පාලනය එකම නීත්‍යානුකූල රජය ලෙස සලකන අතර &එක් චීනයක්* යන මූලධර්මය අනුව තායිවානය ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කළ යුතුයැයි පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ තමන්ගේම රජයක් සහිත මිලියන විසිතුනක ජනතාවක් වාසය කරන තායිවානයේ දේශපාලන නායකයන්ට ප්‍රධාන භූමිය සමඟ ඇති සබඳතා පිළිබඳව විවිධ අදහස් තිබේ. 2016 දී Tsai Ing-wen තායිවානයේ ජනාධිපතිවරිය ලෙස තේරී පත්වීමෙන් පසු චීන තායිවාන ආතතීන් උත්සන්න වී ඇත. චීනය තායිවානය ආසන්නයේ ප්‍රහාරක ජෙට් යානා පියාසර කිරීම වැනි ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග වරින්වර ගෙන ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය සහ එවකට තායිවානය පාලනය කළ කුවෝමින්ටැං (KMT) පක්ෂයේ නියෝජිතයන් අතර ඇති කර ගත් &1992 සම්මුතිය* ලෙස හැඳින්වෙන අවබෝධතා ගිවිසුමකින් තායිවානය බැඳී සිටින බව චීනය කියා සිටී. කෙසේ වෙතත්, මෙම ඊනියා සම්මුතියේ අන්තර්ගතය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟ නොවන අතර, එය කිසිවිටෙකත් තායිවානයේ නීතිමය තත්ත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට කටයුතු කළේ නැත. තායිවානය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර ඇති පරිදි, 1992 සම්මුතිය යනු, සමුද්‍ර සන්ධියේ දෙපස එක් චීනයකට අයත් වන අතර එය යළි ඒකාබද්ධ කිරීම සඳහා ක්‍රියා කරන බවට වූ එකඟතාවක් බවටය. එහෙත් තායිවානය ප්‍රකාශ කරන්නේ කුවෝමින්ටැං පක්ෂය එක් චීනයක් ලෙස අර්ථ දැක්වූයේ චීන සමූහාණ්ඩුව විනා (Republic of China.) ප්‍රධාන භූමිය නොවන බවයි.
තායිවානයේ කුවෝමින්ටැං පක්ෂය විසින් කෙටුම්පත් කරන ලද අවබෝධතාව අනුව චීනය, මොංගෝලියාව, තායිවානය, ටිබෙටය සහ දකුණු චීන මුහුද චීන සමූහාණ්ඩුවේ (ROC) කොටසක් ලෙස පිළිගෙන තිබේ. කුවෝමින්ටැං පක්ෂය (KMT) තායිවානයේ ස්වාධීනත්වයට සහාය නොදක්වන අතර බීජිං සමඟ සමීප සබඳතා පැවැත්වීමට නිරතුරුවම කටයුතු කර ඇත. නමුත් පසුගිය කාලයේ පැවැති මැතිවරණ පරාජයන් හමුවේ KMT නායකයෝ 1992 සම්මුතිය පිළිබඳ පක්ෂයේ ස්ථාවරය වෙනස් කළ යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටිති. KMT පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂයෙ වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP), 1992 සම්මුතියේ දක්වා ඇති අවබෝධතාව කිසි විටෙක අනුමත කර නැත. ඩීපීපීයේ නායකයාද වන ජනාධිපති Tsai Ing-wen සම්මුතිය පිළිගැනීම පැහැදිලිව ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට, ඇය බීජිං පාලනයට පිළිගත හැකි වෙනත් ක්‍රමවේදයක් සොයා ගැනීමට උත්සාහ කර ඇත. 2016 ඇයගේ සමාරම්භක දේශනයේදී, චීන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තේරී පත් වූ ජනාධිපතිනිය තමා බවත් චීන ජනරජයේ ස්වෛරීභාවය සහ භූමිය ආරක්ෂා කරන බවත් පැවසුවාය. චීන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තායිවාන් ප්‍රදේශයේ සහ ප්‍රධාන භූමි ප්‍රදේශයේ ජනතාව අතර සබඳතා පාලනය කිරීමේ පනත සහ අනෙකුත් අදාළ නීතිවලට අනුකූලව සමුද්‍ර සන්ධියේ කටයුතු සිදු කරන බවටද ඇය ප්‍රතිඥා දී ඇත. කෙසේ වෙතත්, බීජිං පාලනය මෙම ක්‍රමවේදය කිරීම ප්‍රතික්ෂේප කළ අතර තායිවානය සමඟ නිල සබඳතා අතහැර දැමීය.
තායිවානයට එරෙහි චීනය ප්‍රහාරයක් එල්ල කළහොත් එක්සත් ජනපදය චීනය සමඟ යුද්ධයකට පැටලීමේ හැකියාවක් ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ පවසති. එහෙත් ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජස්ටින් බාසි සඳහන් කරන්නේ එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි විරෝධය උත්සන්න වීම වැළැක්වීම සඳහා චීනය තම හමුදා අභ්‍යාස බොහෝ විට අවම කරනු ඇති බවටය. තායිවානය සමඟ මැදිහත්වීමේදී, තායිවානයට සහය දැක්වීම මධ්‍යස්ථ ලෙස සිදු කිරීමට එක්සත් ජනපදය සැමවිටම ප්‍රවේශම් වන බවත්, ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය නොවන ආකාරයට කටයුතු කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා