2022 අගෝස්තු 14 වන ඉරිදා

ජනතා නියෝජිතයන්ගේ තඩි තෙල් බිල ගෙවන ජනතාව!

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 54

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ජය ගැනීම වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයකු රුපියල් ලක්ෂ දෙතුන් සීයක අවම වියදමක් දැරිය යුතුය. ඒ සා සුවිසල් මුදලක් සිය පෞද්ගලික ධනයෙන් සහ හිතමිතුරන්ගේ සහයෙන් වියදම් කොට ඔවුන් පාර්ලිමේන්තු යන්නේ ඇයි? අප  අසා ඇති පරිදි ඔවුන්ගේ සැදැහැවත් බලාපොරොත්තුව මහජන සේවයයි. එහෙත් එය සැබෑවක්ද? අද අපි ප්‍රශ්න කරමු.

අද සංවාදය මහා අරගලයක් කොට අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලැබූ ඉන්ධන දීමනාව පිළිබඳවයි. පසුගිය මාස පහකට ආසන්න කාලය තුළ ඉන්ධන මිල ගණන් කිහිප ගුණයකින් ඉහළ ගිය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවුණි. පසුගිය ජනවාරි මාසයේ වැඩි වූ පසු රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රී ඉන්ධන දීමනාව වැඩි නොකිරීමට එවක ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව මන්ත්‍රීවරයකුට ඉන්ධන ලීටරයක් වෙනුවෙන් ගෙවන ලද මුදල රුපියල් එකසිය විස්සකි. 

අද වන විට එම තත්ත්වය වෙනස් වී තිබේ. නව රජයේ තීරණය අනුව පවතින මිලට මන්ත්‍රී ඉන්ධන දීමනාව ලබාදීම මේ වන විටත් ආරම්භ වී තිබේ. මෙය අප මහජන නියෝජිතයන් එක් රුයකින් ලබාගත් ජයක් නොවේ. මාස ගණනාවක් පුරා ඔවුහු සිය ඉන්ධන දීමනාව වෙනුවෙන් සටන් කළහ.

ආරම්භයේදී ඉන්ධන දීමනාව පුදකිරීම මහජන සේවකයන්ගේ ආණ්ඩුවල පාරමිතාවක් බව පෙන්වීමට පාරම්බෑ දේශපාලකයෝ අවසානයේ මෙම සටනට අවතීර්ණ වී සිටියහ. පක්ෂ විපක්ෂ මන්ත්‍රී කණ්ඩාම් රුසක් කිහිපවිටක්ම කථානායකවරයා බැහැදැක සිය දුක්ගැනවිලි කීහ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩාම් හමුවලදී නිරන්තරයෙන් සිය ඉල්ලීම වෙනුවෙන් කිහිප දෙනකු  පෙනී සිටියේ සෙස්සන්ගේ ඔල්වරසන් හඬ මැදය.

අවසානයේ ඔවුහු එම සටනෙන් ජය ලැබූහ. එම කුප්‍රකට ජයග්‍රහණයෙන් අනතුරුව හුදී ජන පහන් සංවේගය දනවන පුවතක් අපට අසන්නට ලැබුණි. එයින් කියවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවතින මිල ගණන් යටතේ ඉන්ධන දීමනාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාඩු සිදුවීම පිළිබඳවය. දැනට අනාවරණය වී ඇති පරිදි පසුගිය මාසයේ දී ගෙවීමට සිදු වී ඇති අමතර මුදල රුපියල් කෝටි තුනකට අධික බවයි. කලබල විය යුතු නැත. මහජන මුදල් වැය වී ඇත්තේ මහජන නියෝජිතයන් වෙනුවෙනි.

එහෙත් ඇතැමුන් මේ පිළිබඳ කලබල වී ඇති සෙයකි. ඔවුනට අප සංවාදයට සැපයූ පූර්විකාව නැවත සිහි කරමු. රුපියල් ලක්ෂ තුන් හාරසීයක් වියදම් කොට මේ මහතුන් මීයක් කඩා ගත්තේ අත ලෙවකෑමට නොවේ. ඔවුන් අපගේ එක් මනාපයක් වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කොට තිබේ. මෙරට දේශපාලනය යනු ව්‍යාපාරයකි.

එම ව්‍යාපාරයේ දී කිසිවකු පාඩු ලැබීමට අකමැතිය. එසේ හෙයින් කවර ආර්ථික අර්බුදයකට රට මුහුණ දුන්න ද ඔවුනට කම් නැත, මහජනයා සාගින්නේ මිය ගියද ඔවුනට කම් නැත. අතින් තෙල් ගසාගෙන මහජන සේවය කිරීමට මහජන නියෝජිතයන් අකමැතිය. මන්ද යත් මහජනයා යනු ඔවුන්ට අනුව සිය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් පමණි. ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරිකයෝ අනුකම්පා නොකරති.

අප මහජන නියෝජිතයන්ට මසකට ඉන්ධන කොපමණ ප්‍රමාණයක් ලැබේද? අපි මීළඟට සොයා බලමු. බොහෝ මහජනතාවට ඉන්ධන සීමා කොට කප්පාදු කොට ඇති කලෙක එම සොයා බැලීම වැදගත් වනු ඇතැයි අපට හැඟෙයි.

මේ වන විට මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කය අනුව කාණ්ඩ කිහිපයක් යටතේ ඉන්ධන ලබාදීම සිදුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුට මසකට ඉන්ධන ලීටර් 280ක් හිමි වේ. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 350 කි.

මීට අමතරව තවත් දිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රීවරුන්ට ලීටර් 420, 490, 560 බැගින් හිමිවන අතර මුලතිව්, යාපනය, මන්නාරම, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 630ක් හිමි වේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට ලැබෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 400 කි.

ත්‍රීරෝද රථයකින් ජීවිකාව පවත්වාගෙන යන පුද්ගලයකුට මසකට ලැබෙන්නේ ඉන්ධන ලීටර් 20 කි. අන් සියලු රථවාහනවලට ද මේ වන විටත් ඉන්ධන ප්‍රමාණය සීමා කොට තිබේ. ඊට හේතුව පවතින ආර්ථික අර්බුදයයි. එනිසාම එය ඉවසා දරාගන්නට මහජනයා සැදී පැහැදී සිටිති. අර්බුදය මහජනයාගේ මිස තමන්ගේ නොවන නිසා මහජන නියෝජිතයෝ එය ඉවසා දරා නොගනිති. සටන් කොට සිය ඉල්ලීම් දිනා ගනිති.

ඉන්ධන දීමනා අරගලය හමුවේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කී දුක්ගැනවිල්ලක් මෙහීදී අපට සිහි වේ. ඔහු කියා සිටියේ තමාට කොළඹට ඒමට පමණක් රුපියල් 55,000කට ආසන්න මුදලක් වැය වන බවයි. එමෙන්ම දිස්ත්‍රික්කයේ මළගෙවල් දෙකක් සඳහා යාමට රුපියල් 75,000ක පමණ මුදලක් වැය වන බවත් ඔහු කියා සිටියේය. ඇතැම් අවස්ථාවල මළගෙවල් දෙකක් අතර දුර කිලෝමීටර් 200 ක් පමණ වන බව මෙම ඉන්ධන සටනේ පුරෝගාමී නායකයා කියා සිටියේය. 
මහජන සේවය කොතරම් දුඛිත කටෝර දෙයක් දැයි ඔබට හැඟෙනු ඇත. එකවර සලිතව හඬා වැටීමට පෙර එක්තරා අතීත කතාවක් අපි සිහි කරමු. එක්දහස් නවසිය හැත්තෑවට පෙර මෙරට මහජන නියෝජිතයන්ට වාහන හිමිවූයේ රාජකාරි අවශ්‍යතාව මත රජයේ වාහන සංචිතයෙනි. එකල අවමංගල උත්සව, මංගල උත්සව මහජන නියෝජිතයන්ගේ රාජකාරි ගමන් ලෙස සැලකුවේ නැත.

අද ද යුරෝපයේ දියුණු රටවල පවා මෙම සම්ප්‍රදාය අනුගමනය කරයි. රාජකාරි වාහනයෙන් යමකු පෞද්ගලික ගමනක් යාම බරපතළ වරදක් ලෙස ඔවුහු සලකති. එවන් වැරදි කළ මහජන නියෝජිතයන්ට ඉල්ලා අස්වීමට පවා සිදුවූ අවස්ථා පිළිබඳ අපි නොයෙක් වර අසා ඇත්තෙමු. කෙසේ වෙතත් මෙරට තත්ත්වය ඊට ඉඳුරා වෙනස්ය.

මෙරට මන්ත්‍රී රථවාහන සංස්කෘතිය බිහිවූයේ 1977න් පසුවය. සැබැවින්ම එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට අවනත කොට තබාගැනීම සඳහා විධායකය විසින් දුන් සන්තෝසමක් විය. ක්‍රමයෙන් එය වැඩි වර්ධනය වූ අතර සන්තෝසම් ලබාදීමේ පරිමාව ඉහළ දැමීමට පාලකයන්ට වරින් වර සිදුවිය.

පෞද්ගලික පරිහරණය සඳහා රථවාහන ලබාදීමේ සිට තීරු බදු රහිත බලපත්‍ර ලබාදීම දක්වා එය  වර්ධනය වූයේය. අවසානයේදී අමාත්‍යාංශ සතු මෝටර් රථ ඇමැතිවරුන්ට සින්න වී ගිය අතර, මැති ඇමැති ගෝලබාලයන්ට බිරින්ඳෑවරුන්ට දරුවන්ට පවා රජයේ වාහන පරිහරණය කිරීමට අවකාශ සැලසුණි. කිසිදු වාරණයකින් තොරව අමාත්‍යාංශ ඉන්ධන බිල්පත්වලින් ගසා කෑම ජයටම කෙරීගෙන ගියේය.

මන්ත්‍රී ඉන්ධන දීමනාව යනු හුදු එක කරුණක් පමණක් බව මෙහිලා ලියා තැබිය යුතු වේ. සැබැවින්ම අප සිටින්නේ කිසිවකුට මහජන මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට අවකාශය සලසා දිය හැකි ආර්ථික වටපිටාවක නොවේ. මහජනතාව විඳින අපමණ දුක් කම්කටොලු ඉවසා දරාගන්නා ලෙස බල කරන මහජන නියෝජිතයන්ම තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් මෙලෙස අරගල කිරීම අප සැමගේ අවාසනාවකි. 

සැබැවින්ම වෙනස් විය යුත්තේ මෙම මජර දේශපාලන සංස්කෘතියයි. එහි වින්දිතයෝ මෙන්ම වරදකරුවෝ ද ඡන්ද දායකයන් වන මෙරට පුරවැසියෝය. 

 චමිඳු නිසල් ද සිල්වා