2022 අගෝස්තු 21 වන ඉරිදා

රන්ජන් නිදහස් !

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 51

මේ රටේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් බහුතරයකට අබමල් රේණුවක විශ්වාසයක් නැත. සියලු දෙනා සිටින්නේ ඉතාම කලකිරීමෙනි. විවිධ අවස්ථාවල විවිධ දේශපාලනඥයන් රට සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ මත අද රටට අත්වූ ඉරණම ඊට හේතුවයි. ඒ නිසාම පසුගිය අරගල සමයේ ලොකුම ඉල්ලීමක් වූයේද 225ම එපා යන තේමා පාඨයයි. එලෙස දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කළද ඇතැම් අය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ සිත් තුළ අකැමැත්තක් නැතුවාම නොවේ. 'ඒ අය ඉන්න ඕන', 'අපරාදේ ඒ මිනිහා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන', 'මොන පක්ෂයේ වුණත් මෑන් හොඳයි වගේ' යන අදහස් දරන ඡන්ද දායකයෝ ද මේ අතර වෙති. ඒ ආකාරයෙන් නම කියැවෙන එක් පුද්ගලයකු වන්නේ දැනට සිරගතව සිටින රන්ජන් රාමනායකය.

 

රන්ජන් සම්බන්ධයෙන් විවිධාකාරයේ මතවාද, අදහස්, චෝදනා පැවතියද ඔහු සිරගත වූ දිනයේ පටන් බොහෝ දෙනා ඔහුගේ සිරගතවීම සම්බන්ධයෙන් බොහෝ සේ කලකිරීමට පත්වූහ. එයට හේතුව වූයේ සීමාවක් නොමැතිව වුවද රන්ජන්ගේ කටින් පිටවූ ඇතැම් කාරණාවල සත්‍යයක් ගැබ් වී තිබීමය. රන්ජන් එදා පැවසූ ඇතැම් දේවල් අද වනවිට මසුරන් හා සමාන වී තිබේ. ඒ නිසාම රන්ජන්ගේ නිදහස පිළිබඳ බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් සිටිති. ඒ සඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද යෝජනා ඉදිරිපත් වී තිබිණි.

මුල සිටම රන්ජන් නිදහස් කර ගැනීමේ සටනේ පෙරමුණ ගෙන ක්‍රියා කළේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරය. හරීන් වරෙක කළු පැහැති  සාටකයක්ද කරේ දමාගෙන පාර්ලිමේන්තුවට පැමිණියේය. පසුව හරීන් සහ මනූෂ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට එක්වීමේ එක් කොන්දේසියක්ද වූයේද රන්ජන්ගේ නිදහසයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව යාමත් සමඟ නව ජනාධිපතිවරයාට ඉදිරිපත් වූ පළමු යෝජනාව වූයේද රන්ජන්ගේ නිදහසයි. එකී ගෞරවය හරීන් සහ මනූෂට ලැබිය යුතුය.

පසුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු හමුවීමට හරීන් සහ මනූෂ ගිය අවස්ථාවේද ඔවුහු මෙම යෝජනාව ඉදිරිපත් කළහ. ඒ මොහොතේ වහාම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කැඳවූ වික්‍රමසිංහ මහතා ඔහුගෙන් විමසා තිබුණේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රන්ජන්ට නිදහස ලබා දිය හැකිද යන්නයි. එහෙත් ඒ අවස්ථාවේ එය සිදු නොවීය. පසුව ඔහු ජනාධිපතිවරයා ලෙස පත්වූ පසුද එම ඉල්ලීම නැවත ඉදිරිපත් වූ අතර එහිදී අවශ්‍ය ලිපි ලේඛන සකස් කරන ලෙස ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. 

කෙසේ වෙතත් මෙම සමාව දීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව කිව යුතුය. ඒ ඔහු සිරගතව සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් බැවිනි. විශේෂයෙන් අධිකරණ පද්ධතියට අපහාස කළ අයකුට ජනාධිපති සමාව දීම විධායකය සහ අධිකරණය අතර මතගැටුම් ඇතිකළ හැකි බැවිනි. එසේම තමා ද නීතිඥවරයකු මෙන්ම නීතිඥ සංගමයේ සාමාජිකයකු වීම හේතුවෙන් මෙලෙස සමාව දීම තවත් පැත්තකින් අතුරු ප්‍රශ්නයක් බවට පත්වනු ඇතැයි ජනාධිපතිවරයා යම් යම් පාර්ශ්ව සමඟ සිදු කළ සාකච්ඡාවලදී ප්‍රකාශ වී තිබේ.

ඒ නිසා මේ සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාරවරයාගෙන් හා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමටත් ඔවුන් නිර්දේශ කරන ක්‍රමවේදය අනුව සමාව දීම සිදුකිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර තිබුණි. ඒ අනුව ප්‍රථමයෙන්ම තමන් අතින් සිදුවූ වරද සම්බන්ධයෙන් අධිකරණයෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් සමාව ඉල්ලා සිටින ලෙස රන්ජන් රාමනායකට යෝජනා ඉදිරිපත් විය. එය ඔහු පිළිගෙන තිබිණි. ඒ අනුව පසුගියදා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති නීතීඥවරයකු පැමිණ ලිපි දෙකකට ඔහුගෙන් අත්සන් ලබාගෙන තිබුණි. පළමු අත්සන බන්ධනාගාර ප්‍රධානීන්ගෙනි. ඒ රන්ජන් යහපත් කල්ක්‍රියාවෙන් කාලය ගතකිරීම සම්බන්ධයෙන් ලබාගත් සහතිකයයි. අනෙක් සහතිකය නම් රන්ජන්ගේ දිවුරුමයි. ඒ තමන් කළ ප්‍රකාශය කිසිවකු අපහසුතාවයකට ලක් කිරීමේ අපේක්ෂාවෙන් සිදු නොකළ බවත්, යම් හෙයකින් අපහසුතාවයක් ඇති වී නම් ඒ සියලු පාර්ශ්වවලින් තමන් සමාව ඉල්ලා සිටින බවත්ය. ඒ අනුව එකී ලිපි දෙකටම අත්සන් ලබාගෙන තිබුණි.

මේ වනවිට අධිකරණය සති දෙකක නිවාඩු කාලසීමාව ගත කරන බැවින් රන්ජන්ගේ නිදහස් වීමේ ලිපි ලේඛන එහා මෙහා යාම ප්‍රමාද වී තිබේ. එහෙත් කෙසේ හෝ එය මේ දින කිහිපයේදී සිදුකිරීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. එසේ නම් බොහෝ දෙනා බලාපොරොත්තු වූ නිදහස රන්ජන්ට ළඟදීම ලැබෙනු ඇත. 

කෙසේ වෙතත් දඬුවම් කාලය ගෙවා රන්ජන් නිදහස් වීමට ඇත්තේ තව මාස කිහිපයක් බැවින් ඔහු මෙලෙස සමාව ලබාගන්නේ ඇයිද යන්න බොහෝ දෙනා අසන පැනයකි. සැබැවින්ම එයට සාධාරණ පිළිතුරක් තිබේ. රන්ජන් ඒ ආකාරයට නිදහස් වී පැමිණියොත් වසර අටකට ප්‍රජා අයිතිය අහෝසි වනු ඇත. ඒ අනුව ඔහුට දේශපාලනය කිරීමට හැකියාවක් නොමැත. එහෙත් ජනාධිපති සමාව හිමිවුවහොත් නියත වශයෙන්ම රන්ජන්ට දේශපාලනය කළ හැක. රන්ජන් සමාව ගැනීමට එය සාධාරණ හේතුවකි. 

එහෙත් ඉන් පසු ලොකුම ප්‍රශ්නය වනුයේ සජිත්ගේ පිල නියෝජනය කරන රන්ජන් එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ගත් පසු කුමන කඳවුර නියෝජනය කරනු ඇතිද යන්නය. රන්ජන් තවමත් කියන්නේ තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ බවය. එහෙත් රන්ජන් ගන්නා තීන්දුව අනුව ජනතාව රන්ජන්ගේ පැත්තේ සිටගනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05