2022 අගෝස්තු 21 වන ඉරිදා

දඬුලේනාගෙන් ගැලවෙන ජාතික සත්ව

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 148

සාධාරණව ජීවත්වන ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් කරවටක් ගිලී යන්තම් නාසය පමණක් ජලයෙන් උඩට තබාගෙන නොමැරී ජීවත්වන්නට තතනද්දී වගකිවයුතු දේශපාලනඥයෝ අමුතුම මාතෘකාවක් බිහිකර ඒ පසුපස පන්නමින් සිටිති. දැන් ඔවුන්ට විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ ජාතික සත්වයාය. දඬුලේනා ජාතික සත්ව තනතුරෙන් පහ කර වෙනත් සුදුස්සෙක් පත් කිරීමටය, මේ දිනවල කතාව. ජනතාවට නම් ජාතික සත්වයා මොකා වුණත් කම් නැත. ඒ සතා අවශ්‍ය වන්නේ 5 ශිෂ්‍යත්ව විභාගයේදී ළමුන්ට ප්‍රශ්නයක් පැමිණි විට පිළිතුරු ලිවීමට විනා කරේ තබාගෙන නැලවීමට නොවේ. 

ජාතික සත්වයා ලෙස හඳුන්වන දඬුලේනා වගා හානිකරන සත්වයෙක් වීම හා ඌ අපේ රටට ආවේණික සත්වයෙක් නොවීම නිසා ජාතික සත්වයා යන හැඳින්වීමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනට දින කිහිපයකට පෙර පැවසුවේ වනජීවි හා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරයි. දැනට මෙරට ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඬුලේනා වෙනුවට වෙනත් සතකු නම් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පවසා සිටියේය. වියළි කලාපයේ බහුලව ගෙවතු ආශ්‍රිතව සහ තෙත් කලාපයේත් පැතිර සිටින මේ සතා වගාවලට නම් කරන්නේ මහත් හානියකි. ඌ ඒ අතින් වඳුරාට දෙවැනි නැත. පොල් ගස්වල කුරුම්බැට්ටි පවා තියුණු දත්වලින් හපා සිදුරු කර කෑම හොයන දඬුලේනා කොස්ගෙඩි මතට නැග කොහොල්ලෑ නාගෙන කොස් කන අයුරු ලියුම්කරු කිහිපවිටක්ම දැක තිබේ. කෙසෙල්, පැපොල් ඇතුළු පළතුරුවලටත් මාතලේ පැත්තේ කොකෝවා වතුවලටත් උගෙන් වන හානිය නම් සුලුපටු නොවේ.

දැන් දඬුලේනා ජාතික සත්වයා ලෙසට නම් කළේ කව්ද යන්න ගැන සෙවීමට පවා ඇමැතිවරු උනන්දු වෙති. දඬුලේනා ජාතික සත්වයා ලෙසට නම් කළේ කවුද යන්න ගැටලුවක් වී තිබෙන බවද ඇමැතිවරයා කීය. ඇමැතිවරයා සොයාගත් අලුත්ම කරුණ නම් විනාශකාරී සත්වයෙක් වන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීමෙන් ඌට ආරක්ෂාවක් සැලසී තිබෙන නිසා එමගින් වගා හානිය බරපතළ ලෙස සිදුවීමයි. මේ අතර තවත් හිටපු ඇමැතිවරයෙක් වන ඩිලාන් පෙරේරා යෝජනා කළේ කපුටා ගැන නිතර කියැවෙන නිසා ඌ ජාතික සත්වයා ලෙස නම් කිරීම සුදුසු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙක් නොවන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කරන ලද්දේ කවර පදනමක පිහිටාද යන්නත්, එම නම් කිරීම සිදුකළේ කවුද යන්නත් මේ වනතුරු සොයාගත නොහැකි වී ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ. රුපියල් බිලියන ගණනින් හොරකම් කර රට බංකොලොත් කළ දේශපාලනඥයන් සොයාගත නොහැකි වී ඇති පසුබිමක ඒක නම් පුදුම විය යුතු කරුණක් නොවේ. ජාතික සත්ව කමිටුවේ ලේඛන අස්ථානගත වන්නට ඇත. 

මෙම සත්වයා නම් කළ පාර්ශ්ව හෙළි කරගෙන එසේ නම් කිරීමට හේතු ඔවුන්ගෙන් විමසා බැලීමෙන් පසු ඌ වෙනුවට වෙනත් සතෙක් නම් කිරිමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැති අමරවීර පවසා තිබේ. ඒ අනුව අපේ රටට ආවේණික වූ වඳ වී යන සත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට දැනට කටයුතු සැලසුම් කරමින් සිටින බව ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය. දඬුලේනා ජාතික සත්වයා තතවයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට කමිටුවක් පත් කළ බවද ආරංචි විය.

දඬුලේනා ලංකාවේ මෙන්ම ඉන්දියාවේද වාසය කරන මූසික කුලයට අයත් සතෙකි.  ඉංග්‍රීසි භාෂාවෙන් Sri Lanka Giant Squirrel ලෙස හඳුන්වන දඬුලේනා දෙමළ භාෂාවෙන් පෙරයා අනිල් ලෙස හැඳින්වේ. විද්‍යාත්මක නාමය Ratufa Macroura Meianochra ය. ඉඳහිට දඬුලේනුන් නිවෙස්වල ඇති කරන බවත් පෙනේ. 

තෙත් කලාපයේ වනාන්තරවල සහ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවල උන් බහුලව ජීවත්වන අතර මධ්‍යම කඳුකරයේ පහළ පෙදෙස්වලත් ඌව හා දකුණේ වනාන්තර ආශ්‍රිතවත් උන් දිවි ගෙවති. දඬුලේනා ගෙවතු ආශ්‍රිතව බහුලව හැසිරීමට ප්‍රිය වී ඇත්තේ ආහාර ලබා ගැනීමේ පහසුව නිසයි. 

දඬු ලේනකුගේ ශරීරය ‍සෙ.මී. 25 - සෙ. මී 45 ත් අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර වලිගය සෙ. මී. 50 - සෙ.මී 90 අතර දිග ය. ඉතා වේගවත් ගස් නගින්නකු ලෙසත්  දඬුලේනා ප්‍රකටය. ගස්වල ගත කරන ජීවිතයට අවශ්‍ය  සමබරතාවය සඳහා මොවුන්ගේ දිගු වලිගය උපකාරී වී තිබේ. ගස් නැගීමට පුළුල් අත් සහ අතු අල්ලා ගැනීමට විශාල නියපොතු පිහිටා ඇත.  

ශ්‍රී ලංකාවේ වෙසෙන මෙම ලේනුන් විශේෂය දකුණු ඉන්දියාවේද වාසය කරයි. උගේ ශරීරය දුඹුරු, රතු, අළු හෝ කළු විය හැකිය.

උදය සහ දහවල් කාලයේදී ආහාර සොයා යමින් ක්‍රියාකාරී වන මෙම සත්ත්වයා රාත්‍රී කාලයේදී  නිදාගනී. විවේක කාලයේදී සහ රාත්‍රියේදී නිදාගැනීම සඳහා ගස්වල තනාගත් කූඩු භාවිත කෙරේ. 

ආහාර ලෙස පලතුරු, කුඩා කෘමි සතුන්, ධාන්‍ය වර්ග, කුරුලු බිත්තර සහ සමහර ගස්වල පොතු වර්ග ගනියි.  ක්ෂීරපායී ගණයේ සත්වයකු වන දඬුලේනුන් පොල් මද ආහාරයට ඉතා ප්‍රිය කරති. මේ නිසා පොල් වතු හිමියන්ගේ දඩයමට පවා දඬුලේනා ගොදුරුවීම සිදුවේ. 

ජාතික සත්වයා පමණක් නොව ජාතික පුෂ්පය වශයෙන් ඇත්තේ ද අපට ආවේණික මලක් නොවේ. ඒ නිල් මානෙල් මලයි. මේවා නම් කරන අවස්ථාවේ පරිසරවේදීන් ගෙන් විශාල ඉල්ලිමක්ව පැවතියේ ලංකාවට ආවේණීක අලංකාර දුලබ පුෂ්පයක් වන වෙසක් උඩවැඩියා මල ජාතික පුෂ්පය කරන ලෙසයි. නමුත් බලධාරින් නිල් මානෙල්ම තෝරාගත්තේද කුමන නිර්ණායකයක් මතද යන්න ගැටලුවකි. 

අපි දැන් වෙනත් රටවල් කිහිපයක ජාතික සත්වයන් ගැනත් ටිකක් හොයා බලමු. අපට ආසන්න ඉන්දියාවේ ජාතික සත්වයා නම කියවන විටම ප්‍රතාපවත් බවක් ඇතිවන බෙංගාල ව්‍යාඝ්‍රයාය. එමෙන්ම ඒ සත්වයා ආරක්ෂා කිරීමට ඉන්දියානු වනජීවී බලධාරින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත. නේපාලයේ ජාතික සත්වයා ලෙස සැලකෙන්නේ ගවයාය. ඒ සතා නේපාල වාසීන්ට විශාල වශයෙන් උදව්වන නිසාය. භූතානය නම්කර ඇත්තේ දුලබ සත්වයෙක් වන කඳුකරයේ අධික සීතල යටතේ  ජීවත් වන ටකින් ගවයා ය. ඇෆ්ඝනිස්ථානය හිම කොටියාත්  ඇංගෝලාවේ කළු සාරංග මුවාත් ජාතික සත්වයන් ලෙස නම් කර තිබේ. 

දැන් අපේ ජාතික සත්වයා ලෙස ලංකාවට ආවේණික උප විශේෂයක් වන ලංකා කොටියා නම් කළ යුතු බවට අදහස් ඉදිරිපත් වී තිබේ. වඳවීමේ අන්තරායට ලක් සතෙක් ලෙස රතු දත්ත පොතේ පවා සිටින කොටියාටත් නිතර මිනිසාගේ උගුල්වලට හසුව මරණයට පත්වීමට සිදුව තිබේ. කෙසේ වුවත් කොටියා නම් ජාතික සත්වයා ලෙස ලංකාව නියෝජනය කිරීමට සුදුසුය. ලංකා කොටියාට ලබාදී ඇති සත්ව විද්‍යාත්මක නාමය “Panthera pardus kotiya”ය.  එම නම ලබාදුන්නේ 1956 වසරේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසිනි.

අපේ වනාන්තරවල අලංකාරම ක්ෂීරපායීයා ලෙස සැලකෙන්නේ කොටියාය. උන් දැක ගැනීමත් ලේසි පාසු නැත. ඒ තරමට දුලබය. ශ්‍රී ලංකා තුළ කොටින් බහුල ලෙස ජීවත් වන්නේ විල්පත්තු වනෝද්‍යානය තුළයි. එමෙන්ම යාල වනෝද්‍යානයේද සෑහෙන කොටි සංඛ්‍යාවක් වාසය කරති. ලංකාවේ වියළි කලාපයේ පැතිර තිබෙන වනෝද්‍යාන සෑම එකකම පාහේ කොටි සුළු වශයෙන් හෝ වාසය කරති. නුවරඑළියට නුදුරු හෝටන් තැන්න වනෝද්‍යානයේ මෙන්ම කඳුකරයේ තේවතුවලට ඉහළ වන කුට්ටිවලද කොටි ජීවත් වෙති.

පසුගිය දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය සහ මහනුවර දිසාවේ ගම්පොළ, නාවලපිටිය ඇතුළු ප්‍රදේශවල කඳුකර කොටි ගහණයේ වර්ධනයක් ඇති බවට හෙළීවී තිබුණි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝටන්තැන්න සහ ඒ අවට වතු ආශ්‍රිතවත් නල්ලතන්නිය, මස්කෙළිය, ගම්පොළ, පුස්සැල්ලාව, නාවලපිටිය ඇතුළු තේවතු ආශ්‍රිත ප්‍රදේශවල කඳුකර කොටි සැරිසරන්නේ උන්ගේ ජීවත්වීම සඳහා සුදුසු පරිසරයක් සහ දේශගුණයක් එම ප්‍රදේශවල ඇති බැවිනි. නමුත් වර්තමානය වනවිට වියළි කලාපය තුළ බහුල වශයෙන් ජීවත් වෙති. නමුත් සුළු ප්‍රමාණයක් සිංහරාජ වනය, සමනොළ කන්ද වන රක්ෂිතය තුළ මෙන්ම නුවරඑළිය තේ වතු ආශ්‍රිතවත් වාසස්ථාන කරගෙන ජීවත් වේ. 

පශු වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොටින් පිළිබඳ සමීක්ෂණයක් කර නැතත් කොටින් 800කට වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වනාන්තරවල පැතිරී සිටින බවයි. පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන සඳහන් කරන්නේ ඒ සංඛ්‍යාව දහස ඉක්මවන බවයි.

 කුසුම්සිරි විජයවර්ධන