2022 අගෝස්තු 21 වන ඉරිදා

කඳුකර දුම්රියේ අලුත්ම ’’ක්‍රෂ්’’ එක ඇල්ල ඔඩිසි ඉන්ටර්සිටිය

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 1228

අපේ රටේ ආකර්ෂණීයම දුම්රිය ගමන් අතර කොළඹ බදුල්ල දුම්රිය ගමන ඉහළින්ම තිබේ. සිරිපා වන්දනා සමයට සිරිපා කරුණා කරන්න බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙන බදුල්ල දුම්රිය මෙරට වැසියන්ට හුරුපුරුදු දුම්රිය ගමනකි. කඳුගැට නගිමින් පල්ලම් බහිමින් ඇල්ල ඔඩිසි සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉකුත්දා සිය මංගල ගමන ගියේය. ඒ සති අන්ත සංචාරක දුම්රිය යෙදවීමේ වැඩපිළිවෙළේ සමාරම්භය සටහන් කරමිනි. 

පොඩි මැණිකෙලාටත් උඩරට මැණිකෙලාටත් ඔය කොයි කොයි මැණිකෙලාටත් අලුතෙන් ආ ඔඩිසි නමැති නාඹර ගැටිස්සිය දෙවැනි නොවන්නීය. එයට හේතුව ඇගේ හයිහත්තිය එසේ මෙසේ නොවීමය. ඇය ඒ තරමට ජවසම්පන්න ලලනාවක් වන්නීය. අද වනවිට අපේ රටේ මැණිකෙලා අතර පිස්සු හැදෙන ක්‍රෂ් එක ඔඩිසිය. මේ සඳහා යොදාගෙන ඇත්තේ චීනයේ නිෂ්පාදිත S 14 වර්ගයේ දුම්රියකි. මෙහි මැදිරි සැකැස්ම අනුව පළමු පන්තියේ මැදිරි 04ක්, දෙවැනි පන්තියේ මැදිරි 03ක්, භෝජනගාර මැදිරියක්, S14 බලවේග මැදිරි කට්ටල 02 ක් මෙම සංචාරක දුම්රියේ තිබේ.

උඩරට මැණිකෙ වගේම අලුතෙන් දැමූ ඔඩිසි සැප දුම්රියත් කොළඹ සිට බදුල්ලට යන්නේ අප්පුහාමි උන්නැහේට පින් සිදුවන්නටය. හිසේ තිබූ ජටාව බඳින විදිහ පෙන්වා දෙමෝදර අහස් නවයේ පාලම හැදුවායින් ඇල්ල දෙමෝදර නිම්න යා කර බදුල්ලටම කෝච්චිය යන්නට හැකිවිය. අප්පුහාමි නොහිටින්න උඩරට දුම්රිය මාර්ගය හැදූ බ්‍රිතාන්‍ය ජාතික සුදු ඉංජිනේරුවා මදි වූ යකඩ පාලමත් අරන් ඒරොප්පෙට ගිහින්ය. කෝච්චි පාර අතරමගය. දැන් ඉතින් කොයි කවුරුත් එක එක නම්වල සැප දුම්රියවල බදුල්ලට යන්නේ ඒ මහා වීරවික්‍රමවල හයියෙනි.

ඇල්ල ඔඩිසි දුම්රිය සෑම සෙනසුරාදා දිනකම කොළඹින් පෙ.ව.05.30ට බදුල්ල බලා පිටත්වන අතර එය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.25ට යළි ගමන් අරඹා පස්වරු 03.53ට බදුල්ලට ළඟාවෙයි. එම දුම්රිය ඉරිදා පෙරවරු 09.50ට බදුල්ලෙන් ගමන් අරඹා රාත්‍රි 07.20ට කොළඹට ළඟාවෙයි.

ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය හංදිය, මහනුවර, නාවලපිටිය, හැටන්, ග්‍රේට් වෙස්ට(ර්)න්, නානුඔය, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල, දෙමෝදර, හාලිඇල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල නවත්වයි. ‘අශ්වයාගේ වලිගය’ නමින් හඳුන්වන හෝස් ටේල් ඇල්ල, ශ්‍රී පාද නැරඹුම් ස්ථානය, සෙන්ට්ක්ලෙයාර් ඇල්ල, එල්ජින් ඇල්ල, දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level), ඔහිය 18 වැනි බිංගෙය, ඉදල්ගස්ඉන්න සුළං කපොල්ල, කිතුල් ඇල්ල, ආරුක්කු 09 පාලම, දෙමෝදර බිංගෙය සහ පාලම යන නැරඹුම් ස්ථානවල විනාඩි කිහිපයක් දුම්රිය නවතා සංචාරකයන්ට පරිසරයේ සුන්දරත්වය විඳීමට ඉඩ සලසා දී තිබේ.

එහිදී මගීන් නැවත එකතු කර ගැනීමේ අපහසුතාව හේතුවෙන් දුම්රියෙන් බැස්සවීම සිදු නොකර දුම්රිය තුළ රුඳී සිටිමින් පරිසරයේ සිරි නැරඹීමටත් සංචාරක ස්ථානවල ඡායාරූප ගැනීමටත් අවස්ථාව ලබාදී ඇති බව දුම්රිය පාලක කාර්යාලය කියයි. අදාළ සංචාරක ස්ථානවල දුම්රිය නවත්වා ස්වයංක්‍රීය පටිගත කිරීමකින් අදාළ ස්ථානය පිළිබඳ කෙටි විස්තරයක් මගින් මගීන් දැනුවත් කරයි. මෙවැනි වූ පහසුකම් රැසක් සමඟින් දෙස් විදෙස් ඇස් මවිත කරමින් උඩරට මාර්ගයේ සංචාරකයන්ට හිමිවන ප්‍රථම දුම්රිය අත්දැකීම මෙයයි. උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර විනෝද චාරිකාවක් යෑම මෙන්ම බාල මහළු සැමට අපේ රටට ආවේණික උරුමයන් පිළිබඳ වටිනා කරුණු රුසක් ඉගෙන ගත හැකි අධ්‍යාපනික අවස්ථාවක් හැටියටත් මෙම විශේෂ සංචාරක දුම්රිය ගමන හඳුන්වා දිය හැකිය.

මෙම විශේෂ සංචාරක දුම්රියේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පළමු පන්තිය සඳහා රු.5000 ක්ද, දෙවැනි පන්තිය සඳහා රු.4000 ක්ද, තුන්වැනි පන්තිය සඳහා රු.3000 ක්ද වෙයි. සියලුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉකුත් 16 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූයේ කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි. බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි යනුවෙන් සංදේශකරුවා පැවසූයේ මෙයයි. ඒ ආකාරයට සැලකීමේදී ‘ඇල්ල ඔඩිසි’ කියන්නේ පෙරහරේ කසකරුවාය. නැට්ටුවෝ තවම මගය. සතිඅන්ත සංචාරක දුම්රියවල සංචාරකයන්ට අවශ්‍ය ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

"ඉදිරියේදී සති අන්තයේ කතරගම යෑම සඳහා කොළඹ සිට බෙලිඅත්තට විශේෂ දුම්රියක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටපස්සේ බෙලිඅත්තේ සිට පෞද්ගලික හා ලංගම බස් රථවලින් කතරගම ඒකාබද්ධ සේවයක් යොදවන්නත් පසුවදා නැවත එම බස් රථවලින් බෙලිඅත්තට ඇවිත් දුම්රියෙන් කොළඹට එන විදියට මෙම වැඩපිළිවෙළ සැකසීමටත් මේ වනවිට සැලසුම් කර තිබෙනවා. අනුරාධපුර වන්දනාවල යෙදෙන පිරිසට සාමූහික ගමන් කිරීමටත් එවැනි විදියට දුම්රියක් යොදවලා බස් මඟින් ප්‍රවාහන පහසුකම් දෙන්න. ඒ වගේම නුවරට සතිඅන්ත සංචාරක විශේෂ දුම්රියක් යොදවන්න සාකච්ඡා කරමින් සිටිනවා." යැයි අමාත්‍යවරයා පැවසූවේ එසේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන නලින් අබේසිංහ ලංකාවේ දුම්රිය සේවාව පිළිබඳ විශිෂ්ට ගවේශකයෙකි. මීයන් ඇල්ලේ පුරාවත ආදී වූ අතීත විත්ති ඇසුරෙන් ඔහු ලියා ඇති දුම්රියේ අප්‍රකට විත්ති නමින් ග්‍රන්ථයක්ද ලියා ඇති ඔහු ලංකාවේ සංචාරක දුම්රිය සේවයේ ඉතිහාසය පිළිබඳ මුහුණුපොතේ ලියා ඇති සටහනක මෙසේ දැක්වෙයි.

“දුම්රිය දෙපාර්තමේන්තුව අතීතයේ සිටම කාලයෙන් කාලයට අත්හදා බැලීම් කර ඇත. දුම්රියේ ස්වරණමය යුගය ලෙස සැලකෙන 60 දශකයේ මැද, ශුද්ධ නුවර චාරිකා, හා දකුණු වෙරළ චාරිකා යනුවෙන් අනුරාධපුරයට හා හික්කඩුවට හදිසියේ සංචාරක දුම්රිය දෙකක් ඇරඹූවද ඒවා තුන් මාසයකට වඩා සාර්ථකව ක්‍රියාත්මක නොවීය. 70 දශකයේ මුල හිතාචි සුඛෝපභෝගී දුම්රිය යොදාගනිමින් කඩිමුඩියේ කොළඹ සහ යාපනය අතර සති අන්ත සීඝ්‍රගාමී සංචාරක දුම්රිය සේවාවක් ඇරඹුවද එයද සාර්ථක නොවීය.

ඇල්ල ඔඩිසි විශේෂ මෙම සංචාරක දුම්රිය සේවාවේ ගාස්තු සැලකූ විට රටේ පවතින ආර්ථික පීඩනය හා උද්ධමනකාරී තත්ත්වය මත දේශීය සංචාරකයන් ‍මෙම දුම්රිය භාවිත කරනු ඇතැයි සිතිය නොහැකිය. එසේම විදෙස් සංචාරකයන් අතරිනුත් විශේෂයෙන්ම ‘බැක් පැකර්ස්ලා’ මෙය භාවිත නොකරනු ඇත.”

මෙරට දුම්රිය සේවයේ මෙවැනි විද්වත් මත එකවර ඉවතලිය නොහැකිය. මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙන් අපේ රට ප්‍රධාන වශයෙන් යැපෙන රටකි. ආරම්භක අවස්ථාවේදීම කොරහේ කිඹුලන් දැකීමට අපි ඉක්මන් නොවෙමු. එහෙයින් අදහස කාගේ වුවත් මෙය ‍මේ වනවිට බකල් ගහන දුම්රියට හොඳ තල්ලුවක් වේවායි අපි පතමු.

I සසංක චලන ගිම්හාන