විදුලිය යනු අප සැමගේ ජීවිතවලට අත්‍යවශ්‍ය අංගයකි. එසේම විදුලි බිල යනු අප හැමගේ අනිවාර්ය වියදමකි. විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම අපට මෙතරම් තදින් දැනෙන්නේ එබැවිනි. පසුගිය අගෝස්තු 10 වැනිදා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදුන්නේය. අනතුරුව විදුලි ගාස්තු ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළේය. ලබන මාසයේ විදුලි බිල්පත දෑතට පත්වන විට බොහෝ දෙනකුට සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ වනු ඇත. එතෙක් අප ඔබට සපයනුයේ පූර්විකාවකි.
ඉකුත්දා විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීම පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ සාමාන්‍යයක් ලෙස 75%කින් විදුලිගාස්තු ඉහළ නංවා ඇති බවයි. කෙසේ වෙතත් දත්ත විශ්ලේෂණය කර බලන විට සියයට 264ත් සියයට 75ත් අතර වූ අගයකින් සටහන් වීමට නියමිතය.
වඩාත් සරලව පැහැදිලි කළහොත් භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව විදුලි බිල වැඩිවන්නේ පහත ආකාරයෙනි.
ඒකක 30 ට අඩු - 264% කින්
ඒකක 31-60 - 200% කින්
ඒකක 61-90 – 125% කින්
ඒකක 91-120 – 89% කින්
ඒකක 121-180 – 79% කින් වශයෙනි.
මේ අනුව සලකා බලන විට විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා අමතරව රුපියල් 198ක මුදලක් එකතු වනු ඇත. ඒකක 31ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ සහ ඒකක 90ත් 120ත් අතර රුපියල් 2,900ක් අගයකින් ද විදුලි ගාස්තු ඉහළ යනු ඇත.
විදුලි බිල්පත් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ තොරතුරුවලට අනුව හෙළිදරව් වන්නේ පළමු 229%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිම කළ යෝජනාව කොමිසම ඉවත දැමූ බවයි. ගාස්තු ඉහළ දැමීමේ සමස්ත බලපෑම 75%කට සීමා කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවකදී අවධාරණය කර තිබුණි.
ජනක රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණේ මසකට එක්ක 90ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ත පාරිභෝගිකයින් ලක්ෂ 48ක් සිටින බවකි. ඒ අනුව ගෘහස්ත අංශයේ ඒකක 120 දක්වා පාරිභෝජනය කරන පාරිභෝගිකයින්ට සහනාධාර හිමිවනු ඇතැයි ඔහු පැවසීය.
විදුලි ගාස්තු ඉහළ යෑම පිටුපස ඇති ප්‍රධනතම හේතුව විදුලි බල මණ්ඩලය ලබන අධික පාඩුවයි. එම පාඩුව රටේ ආර්ථිකය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපෑම් කර තිබේ. කෙසේ වෙතත් ලංවිම නිරත පෙන්වා දෙන්නේ සිය නිෂ්පාදන පිරිවැය සහ ඒකක අලෙවිය අතර ඇති පරතර මෙම පාඩුව ලැබීමට හේතුව ලෙසය. එමනිසාම විදුලි නිෂ්පාදන පිරිවැය පිළිබඳව අප සොයා බැලුවෙමු.
මෙරට තුළ විදුලිය නිෂ්පාදනය කරන මූලාශ්‍රවලින් ලාභදායකම ප්‍රභවය වන්නේද ජල විදුලිය බව අපි දනිමු. ජලය උපයෝගි කරගෙන විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන්නේද රුපියල් 4.17ක් වැනි අගයක බව අපට සොයා ගත හැකිවිය. කෙසේ වෙතත් ඉන්ධන මගින් විදුලිය නිපදවීමට රුපියල් 59.65 වැනි මුදලක් වැයවන බව කියැවේ. ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමට රුපියල් 31.19කි. කෙසේවෙතත් පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගන්නේ රුපියල් 67.15 ක පමණ අගයකට බව දැනගැනීමට ලැබේ. අප නිරන්තර කතාබහ කරන පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගෙන නිපදවන විදුලි ඒකකයක මිල සටහන් වන්නේ රුපියල් 16.69ක් ලෙසය.
මූලාශ්‍ර අනුව සමස්තයෙහි එකතුවෙන් නිපදවන විදුලිය ඒකකයක අද වනවිට මිල රුපියල් 32ක් පමණ වේ. මේ සම්බන්ධ මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ ඒකකයක පිරිවැය රුපියල් 32ක් වුවත් ඒකක 30 අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 8 කුත් ඒකක 31ත් 60 ත් අතර ඒකකයකට රුපියල් 12කුත්, ඒකක 61-90 පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 16කුත් ඒකක 91-120 අතර භාවිතාකරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 30ක් වශයෙන් සහන පදනමක් මත අය කිරීම් කරන බවයි. ගෘහස්ත අංශයේ ඒකක 120 දක්වා පාරිභෝජනය කරන පාරිභෝගිකයින්ට සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
තවදුරටත් වැඩිවූ බිල්පත් ඔබ අතට පත්වන තුරු මෙම ගණනය කිරීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට නොලැබෙනු ඇත. එබැවින් අප ඔබ හමුවේ තැබුවේ විදුලි ගාස්තු පිළිබඳ පූර්විකාවක්ම පමණි.
චමිඳු නිසල් ද සිල්වා