ණය ගෙවන්නට අසමත් වූ ආසියානු පැසිපික් කලාපයේ පළමු රට බවට ශ‍්‍රී ලංකාව නම් කර ඇත. මෙම සියවසේ පළමු සිද්ධිය වශයෙන් ද සැලකේ. එය ගෞරවනීය තත්ත්වයක් නොවේ. අඩුම තරමින් ශ‍්‍රී ලංකාවට සපයන ලද ණයවල පොලිය හෝ නොලැබෙන අවදානමක් මතු වී ඇති බව ශ‍්‍රී ලංකාවේ ඩොලර් සුරුකුම්පත්වල ආයෝජනය කරන ලද පිරිස් ප‍්‍රකාශ කරති. පසුගිය මාස හයකට වැඩි කාලයක සිට ණය අවදානම මතුවන බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන අනතුරු අඟවමින් සිටි අතර විසඳුමක් යෝජනා වූයේ නැත. අලුත්ම වාර්තා දක්වන පරිදි ජාත්‍යන්තර එස්.ඇන්ඩ්.පී. ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකය ශ‍්‍රී ලංකාව ඩී තත්ත්වය දක්වා පහතට නම් කර තිබේ.
මෙරට දේශපාලනඥයන් සහ මුල්‍ය විශේෂඥයන් අතරින් ඇතැමකු මෙම ශ්‍රේණිගත කිරීම ගැන තකන්නේ නැත. ඔවුහු අවදානම ගැන පළ කරන විචාර නොසලකා සිටිති. සාමාන්‍යයෙන් සිදුවන පරිදි බැංකුවකින් හෝ ණයක් ගැනීමට නොහැකි පරිදි අසාදු ලේඛනගත කරන අතර එය අනාවරණය වීමෙන් පසු අසල්වැසියාගෙන් හෝ හදිසි ආධාර ලබාගත නොහැකි තැනට පත්වුවහොත් එය දරුණු ඉරණමක ආරම්භයක් වනු ඇත.
අරගලය අවසන් නොවන බවට සලකුණු
පසුගිය කාලය තුළ බරපතළ දේශපාලන කැළඹීමක් සිදුවිය. අරගලකරුවෝ දේශපාලන මුහුණුවර වෙනස් කළහ. බලයේ සිටි ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තෙක් විශාල පීඩනයක් එල්ල කළ අතර කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට ද ඉල්ලා අස්වෙන්නට සිදුවිය. අරගලය පදනම් කරගෙන රටපුරා ඇවිලුණු ගිනි සාධාරණීකරණය කළ නොහැකි අතර ජීවිත හා දේපළ විනාශය කිසිසේත් අනුමත කළ නොහැක. අරගලය තුළ ක‍්‍රමය වෙනස් කරන බලකිරීම කැපීපෙනෙන පැත්තකි. මෙතෙක් අනුගමනය කරන ලද ‘සිස්ටම්’ රට අර්බුදයකට තල්ලු කරන ලද අතර සමස්ත ව්‍යුහයම ‘චේන්ඡ්’ කළ යුතු බව අරගලයෙහි තීන්දුව වී තිබුණි.
අරගලයට මුල ආර්ථික අර්බුදය බව නොරහසකි. ජනතාව දින ගණන් පෝලිම්වලට ගත කළහ. සහල් හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට පමණක් නොවේ. ඉන්ධන, ගෑස් හා විදුලිය යන බලශක්ති අංශවල දරුණු හිඟයක් පැවතිණි. එය ආනයනයට සම්බන්ධය. විනිමය හිඟය රටට අවශ්‍ය බලශක්ති සැපයුම සීමා කරන තැන දක්වා ක‍්‍රියාත්මක වීම කැපීපෙනිණ. නිසි පරිදි මහජන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අසමත් පාලනය සම්බන්ධව ජනතාව කෝපයට පත් වූ අතර රට තුළ පැවැති විනිමය හිඟය මහජන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කිසිසේත් ප‍්‍රමාණවත් වූයේ නැත.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමඟ අවහිර වූ සංචාරක කර්මාන්තය සහ එයට සමාන්තරව ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය ඉදිරියේ මුහුණ දුන් විනිමය හිඟය මෙම දැවැන්ත අර්බුදයක නිර්මාණය කළේය. අපනයන අංශය ද අවහිර විය. වෙළෙඳපොළෙන් ණය ගනිමින් ණය ගෙවන ක‍්‍රමයක සිටි ශ‍්‍රී ලංකාව මෙම පසුබෑම ඉදිරියේ මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනුවකට යා යුතුව තිබුණු අතර මෙකී තත්ත්වය සුමට ලෙස නැවත ආපසු හැරෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි පසුගිය රජය එවැනි යෝජනා තරයේ ප‍්‍රතික්ෂේප කරන ලද බව මතක් කළ යුතුය. එහි අවසාන ප‍්‍රතිඵලය අද ජනතාව අත් විඳිමින් සිටිති.
විශාල ණය කන්දක් පාමුල වැසියෝ
අප්‍රේල් වන විට මෙරට සම්පූර්ණ විදේශ ණයගැතිභාවය රු. බිලියන 51 කි. ඉන්දියාවෙන්, බංගලාදේශයෙන් හා චීනයෙන් ලැබුණු ණය ද ඇතුළත්ය. රටවල් සමඟ කරන ලද ණය ගනුදෙනුවල එකතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 39 කි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් බව දැක්වේ. මෙම ණයවලින් 40%ක් ඉදිරි වසර දහය තුළ පියවිය යුතුය. එහෙත් පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවීම නතර කර තිබේ. ජාත්‍යන්තර බේරුම්කාර සමාගම් දෙකක් මෙම ණයකරුවන් සමඟ සාකච්ඡා කර නැවත ගෙවන ක‍්‍රමයක් ගැන අධ්‍යයනය කරමින් සිටියි.
ඉකුත් මාස තුනක පමණ කාලය ණය නොගෙවා රුකෙන ශ‍්‍රී ලංකාව නැවත විනිමය උපද්දවා ගැනීම සඳහා කිසියම් නිශ්චිත සැලැස්මකට සේන්දු නොවීම බලවත් ගැටලුවකි. අපනයන අංශයෙහි වර්ධනයක් ඇත. 44%කින් පමණ අවප‍්‍රමාණය වූ විනිමය අනුපාතිකය අපනයනයට වාසිදායක ස්වභාවයක් නිර්මාණය කර තිබේ. ආයෝජන ප‍්‍රමාණවත්ව වර්ධනය වී නැත.
විදේශ විනිමය ලබාගන්නා ආයෝජන සඳහා වපරිසයක් ඇති කරන පියවරක් වශයෙන් පෞද්ගලීකරණය ගැන අවධානය යොමු කර තිබේ. සැලැස්ම ප‍්‍රකාශයට පත්ව නැත. පෞද්ගලීකරණය ගැන කතා කරන වාරයක් පාසා දේශපාලනඥයන් සහ වෘත්තීය සමිති එයට විරුද්ධය. ඔවුහු අති විශාල පාඩු ලබන ආයතන ජාතික සම්පත් සේ අඟවති. ඉතාම අභාග්‍යසම්පන්ත තැනක ඇති රටට ලබාගත හැකි අවස්ථා අවහිර කිරීම ඥානාන්විත නැත. ඉදිරියේ දී බලයට පත්වන ආණ්ඩුවකට පවා ජාත්‍යන්තර ණය පියවන්නට සිදුවන බව මතක තබාගත යුතු කරුණකි. බලයේ සිටින ආණ්ඩුව ලවා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කරගෙන ණය බර අඩුකර ගන්නා තෙක් බලා සිටීම සුදුසුය.
තව තවත් ණය ගැනීමට අවධානය
ඉන්දියාවෙන් ලබාගත් ණය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන හයක් දක්වා වර්ධනය වී තිබේ. චීන වාණිජ බැංකුවක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් සපයා ඇත. බංගලාදේශයෙන් ලබාගත් ස්වැප් පහසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කි. චීනය හා ඉන්දියාවට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඉල්ලා තිබේ. මේවා රටවල් හෝ ආයතන අතර කරන ගනුදෙනු නමුත් ආපසු ගෙවන්නට සිදුවේ. ගෙවන විට පොලියක් ද ඇතුළත්ය. නොගෙවන ණය, අහෝසි කරන ණය වශයෙන් කිසිවක් නැත. පළමු අවශ්‍යතාව අලුත් සැලැස්මකට අනුව නියමිත දිනවලට ණය ආපසු ගෙවන කාලසටහනක් සකස් කර ගැනීමය. එසේ නොකළහොත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන නැවත නැවතත් අවදානම ප‍්‍රකාශ කරන්නට ඉඩ තිබේ. ණයවලට පමණක් නොව ආයෝජන වලට ද අවහිරයකි. විනිමය රහිතව අර්බුදයක සිටින රටකට ආයෝජන ලැබෙන්නේ නැත. එය අවදානමකි. අපට අවශ්‍ය රටට ගැලපෙන ක‍්‍රමයකි. ජාත්‍යන්තරයේ නැගෙන මතවාදය කෙසේ වෙතත් ණය ගෙවිය හැකි පරිදි සැලසුම් කර හිස ඔසවාගෙන සිටින පිළිවෙළකි. සියලු පාර්ශ්ව එකතු වී එයට වැඩපිළිවෙළක් සකස් කරගත යුතුව ඇත. බලයේ සිටින ආණ්ඩුව පමණක් නොව බලයට එන්නට සිටින ආණ්ඩුවටත් මෙම ණය ආපසු ගෙවීමේ වෑයම ගැන අවබෝධයක් අවශ්‍යය.
නිෂ්පාදනය හා අපනයනය නැංවීම
ආර්ථිකය පත්ව ඇති තැන පැහැදිලිය. ආදායම වැඩි කරගත යුතුව තිබේ. මොනවා හෝ නිපදවන්නට අවශ්‍යය. ඇඟලුම් කර්මාන්තය හඳුන්වා දීමෙන් පසු රටට විනිමය උපයන අනෙක් මාවතක් විවෘත වූයේ නැත. තාක්ෂණික අංශයෙන් දොරටු විවර කළ හැකිව තිබුණි. ශ‍්‍රී ලංකාවට එහි අවස්ථා පාදාගැනීමට හැකියාවක් ඇත. දහස් ගණනින් රට හැර වෙනත් රටවල වෘත්තිය අවස්ථා සොයන අතර එය සුදුසු තත්ත්වයක් ද යන ප‍්‍රශ්නය පැන නැගේ.
වරාය සංවර්ධනය ශ‍්‍රී ලංකාවට විනිමය ලබාගත හැකි තවත් පැත්තකි. සේවා අංශයෙන් හෝ නිෂ්පාදන අංශයෙන් මොනවා හෝ කර රටට ආදායමක් උත්පාදනය කළහොත් ශ‍්‍රී ලංකාව තුළ දැනට බලපවත්වන ගැටලුවලට උත්තරයක් තිබේ. ඉන්දියාව හෝ මුල්‍ය අරමුදල කිසිම අවස්ථාවක රට ගොඩනගන්නට උපකාර වන මහා ව්‍යායාමයක් නොවේ. එය එක්තරා ආකාරයක පහසු කරවන ක‍්‍රියාමාර්ගයක් වන අතර උත්සාහ කළ යුත්තේ රටක් වශයෙන් අප සියලු දෙනා බව අවධාරණය කළ යුතුව ඇත.
යුද්ධය අවසන් වූ පළමු වසර දෙක තුළ 10% ඉක්මවන ආර්ථික වර්ධනයක් පැවැතිණ. එහෙත් 2020 වසරේ ආර්ථිකය -3.6% කි. එයට කලින් අවුරුද්දේ තිබුණු තැනට ආපසු හැරවිණ. 2022 වසරේ ආර්ථිකය -7% ක් දක්වා පහත වැටෙන බව මුලින් පුරෝකථනය කළ නමුත් දැන් එය තවත් වටයකින් තියුණු වන බවට අනතුරු අඟවා ඇත. වරින් වර ආණ්ඩු වෙනස් කර ආර්ථිකය හදාගැනීමට අත්හදා බැලීම වෙනුවට ස්ථාවර ක‍්‍රමයක්, ස්ථාවර තීන්දු රටට අවශ්‍යය.
අලුත් අදහස් සහිතව හදිසි සංවර්ධනය
දේශපාලනඥයන්ගේ කැමැත්ත බලය තහවුරු කර ගැනීමටය. දේශපාලන පක්ෂ ආණ්ඩු පිහිටුවන්නට සූදානම් වෙයි. විදුලිය, ඉන්ධන, ගෑස් ඇතුළු දේ වලට මිල සූත‍්‍ර හැදීමෙන් පමණක් රටට අනාගතයක් නැත. බදු වැඩි කිරීමෙන් ජනතාව තවත් පරිහානියට පත්වේ. රට තුළ අයවැය සමතුලිත වනු ඇති නමුත් ජාත්‍යන්තර ණය ගෙවන්නට එයින් ලැබෙන පිටිවහල කුමක්ද?
මුහුණ දෙමින් සිටින අවදානම ඉදිරියේ නැවත ආපසු හරවාගැනීමක් අවශ්‍යය. රටට ආයෝජන ලබාගන්නට, දේශීය ආයෝජකයන්ට ශක්තිමත්ව ඉදිරියට යන්නට සැලැස්මක් අවශ්‍යය. අපනයන අවස්ථා ඇති කරගත යුතු අතර එයින් බැහැර වෙනත් විකල්පයක් නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය මෙහිලා ඉතාම සුදුසු පියවරකි. එම පියවර සඳහා සමාජ එකඟතාවයක් සහිත දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය කර තිබේ. අප සියලු දෙනාම අවදානම හඳුනාගෙන අලුත් යුගයක් ගැන කල්පනා කළ යුතුය. රටට අවශ්‍ය විනිමය උපයන ක‍්‍රමයකි. කලින් ලබාගත් ණය ආපසු ගෙවිය හැකි සැලැස්මකි. නැවත විනිමය උපයාගෙන විදේශ වෙළෙඳාම දියුණු කරන මගකි. මෙවැනි පැති ගැන අද දේශපාලනයේ සාකච්ඡාවක් නැත. හවුල් පක්ෂ, ජාතික ආණ්ඩු, ව්‍යවස්ථා වෙනස් කිරීම්, ජාතික සභා පත්කර රටට උපදේශකයන් හැදීම හිසරදයට කොට්ටය මාරු කිරීමක් පමණකි.
සාරා කන්දෙගොඩ