සෙළවෙන පැද්දෙන පහන් සිළු බියකරුය. පන්දම්, විලක්කු එළි සුළඟට සැලෙන්නේ භූතයෝ මෙන්ය. හැඬවෙන ගෙජ්ජි හඬ, වැයෙන බෙර හඬ තවත් ගුප්ත අමුත්තක් කියන්නාක් වැනිය. අඳුරට වහං වූ හොල්මන්, අවතාර, යක්ෂ, භූතයෝ, මළගිය ඇත්තෝ, විමනට අරක්ගත් බහිරවයෝද මස්, ලේ, පුළුටු සුවඳට කෑදරව පෙරේතව බලා සිටින්නාහුය. මේ අතර අදෘෂ්‍යමාන බලවේගයෝ මේ දේවාල ආශ්‍රමයට රුකවල් දමා සිටින්නාහුය. අහස පුරා පෙළින් පෙළට දෙවි දේවතාවෝ දැකිය හැකිය. බිය සැක ත්‍රාසය තව තවත් ජනිත කරවන්නේය. මල් පහන්, සුවඳ මෙන්ම, සුවඳ ධූපයන්, පළතුරු සුවඳත් මුසු වූ සුවඳින් සුවඳවත් වූ මේ දේවාල ආශ්‍රමය අසනා, දකිනා අදෘෂ්‍ය බලවේගවලින් සමන්විත තෝතැන්නකි.
මේ මෑණි අම්මා සෙව්වන්දි මෑණියෝ වාසය කරන්නා වූ දේවාල ආශ්‍රමයයි. ඇය අපේ මේ කතාන්දරයේ කතා නායිකාව වූවාය. ඇය මේ වනවිට මහා බලයක් ඇති මහා ගුප්ත අදෘෂ්‍යමාන බලවේගයකින් දහස් ගණන් වූ දේවගැති අසරණ, අහිංසක මිනිසුන්ගේ දුකට, බියට, ආරක්ෂාවට, ලෙඩට දුකට සෙත සහන ලබාදෙමින් සිදුකරන මෙහෙවර සිත්ගන්නා සුලුය.
අපි මෑණි අම්මා සෙව්වන්දි මෑණියෝ හමුවන්නට ඇගේ දේවාලය පිහිටි ගාල්ල, හපුගල ආශ්‍රමයට පියමං කළෙමු. පුරා පැය විසි හතරේම ඇසෙන පිරිත් නාදය සිත ගත සමාධිගත කරන්නේය. සත්තකින්ම ඇය කියනා ආකාරයට මේ දේවාලය බලගතුය. යකුනගෙන් පවා වැඩ කර ගන්නා වූ මේ අද්භූත දේවාල ආශ්‍රමය පිං බිමක් බව ඇය කියන්නීය.
''මට මහා බලයක් අදෘෂ්‍යමාන වූ පිරිසකගෙන් සහාය ලැබෙනවා. ඒ ඇත්තන්ගේ උපකාරය මත තමයි මම නරයන්ට මේ සෙත, සහන, සතුට, සැනසුම, සෙනෙහස, රෝග සුව කිරීම ආදී සියල්ලම සිදු කරන්නේ. මටම ආවේනික වූ අදෘෂ්‍යමාන බලවේගය ආවේෂ වූ විගස ඒ අය මට පේන්න දකින්න හැකියි. ඒ අය තමයි මේ සෙත් ශාන්ති කටයුතු සියල්ලම මට සිදුකරන්නට බලය, උපදෙස්, ගුරුහරුකම්, ඔසු සම්බන්ධයෙන් තොරතුරු දෙන්නේ.
මම මේ සාත්තරය ඉගෙන ගත් කෙනෙක් නොවෙයි. මේ අදෘෂ්‍යමාන බලවේගය මාගේ පෙර කළ පිං බලයෙන් මට ලබාදුන් අදෘෂ්‍යමාන බලයක්. ඒ නිසා නරයන්ට සේවාවන් සපයන්නට මට කලක සිට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ පිරිස දහස් ගණනකට වැඩියි. ඒ අය අදත් හෙටත් මා සමඟ මේ දේවාල ආශ්‍රමයේ දියුණුවට කටයුතු කරනවා. මේ දේවාලය කුඩාවට පවත්වාගෙන ගියා. පසුව, අදෘෂ්‍යමාන බලවේගවල පිහිටෙන් මේ ගොඩනැගිලි දේව මන්දිරය ආදිය දේවාලයේ සියලුම අංග සියල්ලම මට ලබාදුන්නේ මගෙන් සේවා සපයාගත් අහිංසක මිනිසුන් හා අදෘෂ්‍යමාන බලවේගයෙන් පිහිට මත මගෙන් සේවා ලබාගත් දේවගැති නරයන්ගේ පිහිට නිසයි.''
මම කියන විදියටම මේ කතාව ලියන්න මෑණි අම්මා කියන්නීය.
''මේ අදෘෂ්‍යමාන බලවේගය ආරෑඪ වුණේ මට වයස අවුරුදු 15,16 කලයේදීයි. දැන් මගේ වයස අවුරුදු 27ක් පමණ වෙනවා. මම මේ වනවිට එක්දරු ගැබිණි මාතාවක් කියන්න හැකියි. ගැබ්බර බව, මට මේ අදෘෂ්‍යමාන බලවේගවලට බාධාවක් වෙලා නෑ. මේ දේවාල ආශ්‍රමයේදී මම අදෘෂ්‍යමාන බලවේගවල පිහිට ආරක්ෂාව ඇතිව මහ බලයක් ඇතිව සිදු කරන සේවාවන් රුසක් තියනවා. අදෘෂ්‍යමාන බලවේගවලින් සාත්තර කීම, භූමි පරීක්ෂාව, පිළිවෙත් යන්තර, මන්තර, ගුරුකම් සිදු කිරීම, බහිරව පිදේනි පූජාවන් සිදු කිරීම, සෙත් ශාන්ති පූජාවන්, පළතුරු පූජාවන්, ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම, මල්වර නැකැත්, මංගල නැකත් සිදුකිරීම, ජන්ම හඳහන් බැලීම්, පරීක්ෂාව, පේන කීම, මළගිය ඇත්තෝ ගෙන්වීම, කිරි අම්මා දානයෙන් සෙත් ශාන්ති ලබාදීම මේ දේවාල ආශ්‍රමයෙන් සිදු කරනවා.
මන්තර ගුරුකම්, ආයූර්වේදය ආදී සියලුම සාත්තර සමගින්, මටම ආවේනික වූ මගේ ඇති මහා අදෘෂ්‍යමාන බලවේග හරහා පිහිට බලය ඇතිව, නරයන්ට සෙත සැනසුම සිදු කරනවා. යක්ෂයන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන්, පිසාචකයින්, බහිරවයන්, මළගිය ඥාතීන්ගේ බලයෙන් ඔවුන් ගෙන්වා ඔවුන්ගේ දේවගැති ආතුරයන්ට දේව දූවා දරුවන්ට ශාන්තිය ලබා දෙනවා. මේ සියලුම හාස්කම් බලය, මට ලැබී තියෙන්නේ, මහා අදෘෂ්‍යමාන බලවේගයකින් කියලා කියන්න හැකියි. කුල්ල, පොල් ගෙඩිය, අං තට්ටුව, කනප්පුව, හක්ගෙඩිය ආදී දේ මගින් ඒවා නටවා, ඒවා පේවත් කර ඒවායෙන් කළ හැකි යන්තර මන්තර ගුරුකම් හාස්කම් ආදියද මා සිදුකරනවා.
මේ දේවාල ආශ්‍රමයට පැමිණෙන්න. ඇවිත් ඇත්ත නැත්ත දැනගන්න. එහෙම නැතුව බොරුවට මාගේ දේවාල ආශ්‍රමය ගැන කතා කරන්න එපා. මම කාන්තාවක්. මට මඩ ගහන්න එපා. එව්වා මම ගණන් ගන්නේ නෑ. මට ඒවා අදාලම නෑ. කවුරු මොනවා කීවත්, මගෙන් සෙත් ශාන්ති ලබාගත් දහස් ගණනක් වූ දේව දරුවන්ට, අසරණයන්ට අපහසුතාවයට ලක්ව මේ ආශ්‍රමයට පැමිණි පිරිසට මම හැමදාමත් අදත්, හෙටත්, හැමදාමත් සේවාවන් සිදුකරනවා. මගෙන් සේවා ශාන්ති ලබාගත් විශාල පිරිසක් සිටිනවා. ඒ අය මා සමඟ සිටිනවා.
මම මාගේ නොපෙනෙන මට පමණක් පෙනෙන සරණ ඇති මහා බලගතු අදෘෂ්‍යමාන බලවේගයකින් මේ සියලු සත් කටයුතු සිදු කරනවා. වැරදි වැඩ අණවින, කොඩිවිණ මම සිදු කරන්නේ නෑ. එය ඇත්තයි, සත්‍යයි, තීන්දුයි කියාලා මා කියනවා'' යැයි අපේ කතාන්දරයේ කතානායිකාව වූ මෑණි අම්මා සෙව්වන්දි මෑණියෝ අප සමඟ පැවසුවාය.
මම මුලින් මේ දේවල් විශ්වාස කළේ නැහැ. නමුත් පුද්ගලයින් මේක දැකලා මට වඳිනවා. මම කිසිවක් දැනගෙන කටපාඩම් කරලා නෙමේ කරලා තියෙන්නෙ. වෙදකම් පැත්තෙන් පමණක් නෙමේ. විකිණෙන් නැති ඉඩමක් වුණත් මං විකුණලා දීලා තියෙනවා. මම උසස් පෙළත් හදාරපු කෙනෙක්. මම සාමාන්‍ය පෙළ කරන කාලෙ ඉඳලා පිලී ජාති කන්න අමාරු වුණා. ලෙඩ වුණා. මේක හොයාගන්න අමාරු ලෙඩක්. මට කිසි ලෙඩක් නැහැ කියල වෛද්‍යවරු කිව්වා. ඒ කාලෙ මම මිත්‍යා මත පිළිගත්ත කෙනෙක් නෙමේ. නමුත්, මට කිසියම් බලවේගයක් ආවේශ වෙලා කියලා දැනුණා. මම ජීවමානව දේවල් දැක්කා. මෙය පෙර කරන ලද කුසල් මත සිද්ධ වුණ දෙයක්. මේවයින් වැඩ කරන්න පුළුවන් කියලා දැනගත්තේ වයස 18 දී වගේ.
මගේ පළවෙනි බබා ලැබෙන්න ඉද්දී කකුල් දෙක පණ නැතිවුණා. දේවාලවල ගෙනිහිං නූල් දාලා හොඳ කළා. පස්සෙ මටම යම් දෙයක් හිතලා කරන්න හැකිවුණා. වෙදකමින් යමක් කරන්න පුළුවන් කියලා රූට හීනෙන් කියැවුණා. මට කටපාඩම් නොකර එවෙලෙට මන්තර එනවා. සත්‍ය ලෙසම ඒ අය හොඳ කරනවා. මේ සාත්තර ජාවාරම් කරපු අය නිසයි අපි කරන දේවල් මිත්‍යා කියලා සමහරු බැහැර කරන්නෙ.
නමුත්, මම එහෙම නෙමෙයි. මම කරන්නෙ සත්‍ය දේවල්. ඒවා ඔප්පු කරලා තිබෙනවා. මගේ දේවාලෙ කාලි මෑණියෝ කතරගම දෙවියො නැහැ. මා ළඟට සතර දිසා අට දිසා රෝගීන් පැමිණෙනවා.'' සෙව්වන්දි මෑණියන් කියා සිටියාය.
''මේ වනවිටත් රටපුරා විවිධ ස්ථානවලින් මගෙන් වැඩ කරවාගන්න සෙත සැනසුම ගන්න මහා පිරිසක් පොරොත්තු සටහන් පොතේ සිටිනවා'' කියමින් ඇය මහා පුස්තකයන් අප හට පෙන්නුවාය.
''අදත් ශන්තිකර්ම රුසකට මට යන්න ආරාධනා කර තිබෙනවා. මේ සියල්ලම මම සිදු කරන්නේ නොමිලයේ. කිසිදු වරප්‍රසාදයක් හෝ දීමනාවක්, ගතමනාවක්, පගාවක් දේව වරමින්, අදෘෂ්‍යමාන බලවේගවල පිහිට ආරක්ෂාව මත මම ලබාගන්නේ නෑ. නොපෙනෙන අදෘෂ්‍යමාන බලවේගවල උපදෙස් මතයි මා සියල්ලම සිදු කරන්නේ. මේ සත් කටයුතු සිදුකළාම සතුටට යමක් දෙනවා නම් මාගේ අදෘෂ්‍යමන බලවේගවල අවසරය ඇතිව මා ලබා ගන්නවා. එය කැපයි. තීන්දුයි. එය තමයි මෙහි සාත්තරය, සූත්තරය. මම සත්‍ය මගින් ජනතාවට සේවාවන් සිදුකරනවා යැයි''ද ඇය කීවාය. ඇය පවසන්නේ මේ ආකාරයටම මේවා සටහන් කරන්න යැයිද ඇය නැවතත් අප සමඟ කීවාය.
මේ සම්බන්ධයෙන් මනෝචිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැවසීය.
දේවාල පවත්වාගෙන යන පිරිස්වලට මෙන්ම, රෝගී වී දේවාලවලට යන පිරිස්වලට, ඔවුන් ඉදිරිපත් කරන දේවල් හිස්ටීරියා ලෙස නම් කළ හැකියි. මායා රෝග කියලා මේවාට කියනවා. ඩිසෝසිටිව් ඩිස්ඕඩර් ලෙසද මෙය හඳුන්වන්න හැකියි. මියගිය කෙනෙක් යකෙක් භූතයෙක් ලෙස මිනිස් ශරීරයකට කිසිසේත් ආවේශ නොවන බව ඔහු කීය.
මම මෙතනදී කිසිම කෙනෙක් විවේචනය කිරීමක් සිදුකරන්නේ නැහැ. මෙහි ඇතුළාන්තය පමණයි මම පෙන්වා දෙන්නේ. රටපුරා දේවාල අටවාගෙන යමින් සමහරු ජනතාව රවටනවා. ගසා කෑමක් තමයි සිදු කරන්නේ. අසනීපයක් රෝගයක් හැදුනාම වෛද්‍යවරයෙක් ළඟට යන්න. ප්‍රතිකාර කරගන්න. එහෙම නැතුව භූත, බලවේග, යක්ෂ බලවේග, අදෘෂ්‍යමාන දේ හරහා ගොස් තවදුරටත් රුවටෙන්න එපා. මිත්‍යාව බැහැර කරන්න. සත්‍ය දකින්න. කුල්ල, පොල් ගෙඩිය, ගෝන අං ගුරුකම, බිත්තර, දෙහි කැපීම් ආදි සෙල්ලම් ඇත්තටම සෙල්ලම්. ඇස් බැන්දුමක් පමණයි මහා බොරුවක් කියලා තමයි කියන්න හැකි යැයි හෙතෙම කීය.
හබරාදුව නිමල් අල්ගෙවත්ත