2022 අගෝස්තු 21 වන ඉරිදා

නරුම තාත්තාගේ මාරක වීඩියෝව

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 53

දෙන්නාම මරාගෙන මැරෙනවා.. හරිද? බලාගනියව්. අම්මාට කියපන් ඉක්මනට එන්න කියලා. කියපන් ඉක්මනට එන්න කියලා..?

ගෙලට පිහියක් තබා බියගන්වා තර්ජනය කරමින් සිය පස් වියැති දරුවා දැඩි අනතුරක හෙලූ වීඩියෝවක් පටිගත කළ නරුම පියකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සමත් විය. සිය එකම පිරිමි දරුවාට මරණීය තර්ජනය කරමින් දැඩි අනතුරක හෙලන මෙම පුද්ගලයා අදාළ වීඩියෝව පටිගත කොට ඇත්තේ විදෙස්ගතව සිටින ඔහුගේ බිරිඳ ගෙන්වා ගැනීමට බව පොලිස් විමර්ශනයේදී අනාවරණය විය.

වාර්තා වන අයුරින් කුලියාපිටිය පහළපිදුම ප්‍රදේශයේ පදිංචිව සිටි යුවළකි. ඔවුන්ට දාව උපන් අවුරුදු පහක් වන පිරිමි දරුවෙකි. දරුවාගේ පියාට ස්ථිර රැකියාවක් නොවුණි. එබැවින් පවුලේ පැවති අගහිඟකම් කොතෙකුත්ය. රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ එදාවේල පිරිමසා ගැනීමද ගැටලුවක් බවට පත්වූයෙන් දරුවාගේ මව විදෙස් රුකියාවක් සඳහා යාමට අදහස් කළාය. ඒ සිය දරුපැටියාගේත් තම පවුලේත් අනාගත අභිවෘද්ධිය සඳහා සිහින දකිමිනි.

කුලී වැඩ කරමින් පවුලේ ජීවිකාව ගෙන ගිය දරුවාගේ පියා විටෙක බිරියගේ විදෙස් ගමනට කැමැත්තෙන් පසුවුවද තවත් විටෙක එය තරයේ ප්‍රතික්ෂේප කොට තිබුණි. කෙසේ හෝ බිරිඳගේ උනන්දුව හා කැපවීම මත කුරුණෑගල නගරයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා ගෘහ සේවිකාවක වශයෙන් සේවය කිරීමට අවස්ථාව හිමි විය. ඒ කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක වශයෙනි.

එම තැනැත්තිය කුවෙට් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුණේ ඉකුත් මැයි මස 22 වැනිදාය. මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇතත් ඇයට එරට ගෘහ සේවය සඳහා සුදුසු ස්ථානයක් ලැබී නැති බව කියා දුරකථන මගින් නිවැසියන්ට දන්වා තිබුණි. ඒ හේතුවෙන් මෙම කාලය පුරාවට ඇයට කිසිදු ආදායමක් හෝ ලැබී නැති බව කියැවේ.

මේ සම්බන්ධයෙන් කලකිරීමෙන් පසුවූ සැමියා ඇය පත්ව සිටින තත්ත්වය පිළිබඳව මිතුරන්ට පවසා තිබුණි. එහිදී ඔවුන් දන්නා පරිදි මිතුරාගේ හිත සැනසෙන උපදෙස් ලබා දී ඇතැයි පැවසේ. ඔවුන් අතරින් ඇතැමුන්ගේ උපදෙස වී ඇත්තේ දරුවා යොදාගෙන වීඩියෝවක් පටිගත කොට එය බිරියට පෙන්වා ඇය හරහා විදේශ රැකියා ආයතනයටද යොමුකර බිරියට ස්ථිර රුකියාවක් ලබා නොදෙන්නේ නම් නැවත ඇය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසය.

අනතුරුව එය පිළිගත් පුද්ගලයා විදෙස්ගත බිරිය මෙරටට ගෙන්වා ගැනීම හෝ හොඳ වැටුපක් සහිත රැකියාවක් සොයා ගැනීමට හැකිවනු ඇතැයි සිතා නිවෙස අසල පිහිටි පාළු නිවෙසකට ගොස් ඇතැයි කියති. එහි ගොස් තිබුණේ සිය දරුපැටියා ද හොවාගෙන තම ජංගම දුරකථනයද අතැතිවය. එහි තම සිතැඟි වීඩියෝව පටිගත කිරීමට සිතූ පුද්ගලයා ජංගම දුරකථනය වීඩියෝ පටිගත කිරීමට සුදුසු ලෙස තබා සිය දරුවා වඩාගෙන ඔහුගේ ගෙලට පිහියක් තබා දරුවාට රිදවෙන අයුරින් හසුරුවන අතරතුර ''දෙන්නම මරාගෙන මැරෙනවා.. හරිද? බලාගනියව්. අම්මට කියපන් ඉක්මනට එන්න කියලා. කියපන් ඉක්මනට එන්න කියලා.. කපන්නද?'' යනුවෙන් දරුවාට තර්ජනය කරමින් ක්‍රියා කර තිබුණේ දරුවා දැඩි ලෙස බියට පත්වන ලෙසය. එහිදී බියට පත් දරුවා ඔහුගේ පියාගේ තර්ජනය හමුවේ ''අම්මේ රිදෙනවා.. අම්මේ අම්මේ ඉක්මනට එන්න'' යැයි පවසයි. ඒ අතර දරුපැටියාගේ ගෙලට පිහිය තබා සිටින පියා ගෙල කපන්නද යැයි අසන මොහොතේ දරුවා හඬමින් එපා එපා.. යැයි හඬන අයුරු සිත් කම්පා කරවන සුළුය.

මෙසේ පටිගත කරන ලද වීඩියෝව අදාළ පුද්ගලයා විසින්ම වට්ස්අප් හරහා සිය බිරිඳ වෙත යැවීමට කටයුතු කර තිබුණි. ඇයට තර්ජනය කරමින් අදාළ වීඩියෝව ඇයට විදෙස් සේවයට යැවූ විදේශ රැකියා ආයතනය වෙතද යවා ඇතැයි කියති. සිදුවෙමින් පවතින අනතුරුදායක හැසිරීම පිළිබඳව අවධානය යොමුකළ විදේශ රැකියා ආයතනය විසින් අදාළ වීඩියෝව පිළිබඳව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය දැනුම්වත් කර තිබුණි. එහිදී එය පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්වීමෙන් පසුව සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

පොලිසිය සැකකරු සොයා යන විට ඔහු නිවෙසින් පලා ගොස් ඔහුගේ මවගේ නිවෙසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීහු සමත් වූහ.

මෙම නරුම පියාගේ ක_ර හිංසනයට ලක්වූ දරුවා සහිත සංවේදී වීඩියෝව නැරඹූ පොලිස් නිලධාරීහු දරුවා සිය බාරයට ගැනීමට කටයුතු කළහ. පියා විසින් දරුවාගේ ගෙලට පිහිය තැබීම නිසා දරුවාගේ ගෙල සීරීමට ලක්ව තිබූ බවද නිරීක්ෂණය වී තිබිණි. පොලිසියේදී දරුවා සිදු කළ ප්‍රකාශ හරහා එම පියාගේ පෙර හැසිරීම් පිළිබඳව ද කරුණු හෙළි විය.

දරුවා සිය මිත්තණියට චූටිඅම්මා ලෙස ආමන්ත්‍රණය කරයි. ඇය සමඟ සිටීමට කැමති බව කියන දරුවා මව රට ගියේ තමාට සෙල්ලම් බඩු රුගෙන ඒමට බවද ඇය එන තෙක් චූටිඅම්මා සමඟ සිටින බවද පවසා තිබුණි. එතෙක් සිය පියා පොලිසියේ තබාගන්නා ලෙසද මේ නොදරුවා ඉල්ලා ඇතැයි පැවසේ.

දරුවාගේ ගෙල ප්‍රදේශයේ තිබූ තුවාලය නිසා ඔහු රෝහල්ගත කිරීමට පියවර ගැනිණ. අනතුරුව දරුවාට ක_ර වධ හිංසා පැමිණවූ පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ, කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තේජානි වීරසේකර, උප පොලිස් පරීක්ෂක ජයසූරිය, කාන්තා පොලිස් සැරයන් චතුරිකා (2571), උමේෂි (10456) යන අය වැඩිදුර විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05