හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් රුයකින් රසායනික පොහොර භාවිතය නවතා දමා කාබනික පොහොර භාවිතයෙන් වගාකටයුතු කරගෙන යාමට ගත් තීරණයත් සමඟ මෙරට කෘෂිකර්මාන්තයට කණකොකා හැඬුවේය. විශේෂයෙන්ම වී වගාවට එල්ල වූයේ දරුණු පහරකි. මේ වනවිට රසායනික පොහොර හා කෘෂි රසායන තහනම ඉවත් කළද තවමත් නිසි පරිදි ඒවා ලැබෙන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශයන්ගෙන් සහල් ගෙන්වීමට රජයට සිදුවිය. සහල් මිල විශාල ලෙස ඉහළ ගිය අතර රට තුළ සහල් හිඟයක් ඇතිවනු ඇති බවට බියක්ද පැතිර ගියේය. එහෙත් සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
දැනට රට තුළ කිසිදු සහල් හිඟයක් නොමැති බවත් යල කන්නයේ ලැබෙන වී අස්වැන්න සහ ආනයනය කරන ලද සහල් තොග ඇති බැවින් සහල් හිඟයක් ඇතිවිය හැක්කේ, බොහෝ දුරට එළඹෙන දෙසැම්බර් මස අවසානයේ බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. ''මුලදී සැප්තැම්බර් මාසය වන තෙක් පමණක් මෙම සහල් තොග ප්‍රමාණවත් වන බවට උපකල්පනය කර තිබුණත් නොවැම්බර් දක්වා අවශ්‍ය සහල් සංචිත අප සතුව තිබෙනවා. සහල් හිඟයක් ඇති වන්නේ නම් ඒ දෙසැම්බර් මාසයෙන් පසු මාසයක පමණ කාලයකට පමණයි. ලබන මාස් කන්නයේ අස්වැන්න පෙබරවාරි මාසයේ ලැබීමට නියමිත අතර. ඉන්පසු ලංකාවට සහල් ආනයනය කරන්නේ නැහැ. රටට අවශ්‍ය සහල් අපි නිෂ්පාදනය කරනවා.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 169ක් පමණ වේ. ඒ සඳහා සාමාන්‍යයෙන් වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ අවශ්‍යය. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කරන පරිදි මෙවර නිෂ්පාදනය මාස් කන්නයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් සහ යල කන්නයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 4 වශයෙන් වසරක නිෂ්පාදනය මෙට්‍රික්ටොන් ලක්ෂ 16ක් ලෙස ගණන් බලා තිබේ. ඒ අනුව සමස්ත අවශ්‍යතාවට වඩා සහල් මෙට්‍රික් ටොන් 8ක හිඟයක් පවතී. එලෙස ලක්ෂ අටක හිඟයක් නිර්මාණය වී ඇත්තේ පොහොර අර්බුදය හේතුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සඳහන් කළේය. ජනවාරි මාසයේ සහල් හිඟයක් ඇති නොවීමට නම් අඩුවන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක ප්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවනු ඇත කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව 2022 වසරේ ජනවාරි මස සිට ජූලි මාසය දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් 5,06,000ක් ආනයනය කර තිබේ. ඒ අනුව තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් ඉදිරියේදී ආනයනය කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඒ සඳහා වැයකළ මුදලින් අඩක ප්‍රමාණයක් ගෙවා පොහොර ආනයනය කළේ නම් මේ වනවිට මෙරට ජනතාවට සහ ගොවියාට විශාල ප්‍රතිලාභයක් ලැබීමට තිබූ බවද ඔහු සඳහන් කරයි. යුක්‍රේන යුද්ධය හේතුවෙන් මේ වසරේ මැද භාගයේ සිට 2024 දක්වා ලෝකයම ආහාර අර්බුදයකට මුහුණ දීමට නියමිත බවද එහෙයින් ලංකාවට ඩොලර් තිබුණද ආහාර මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල යල කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ වී ඇත. එහෙත් පොහොර සහ කෘෂි රසායන නොමැතිකමින් මෙවර යල කන්නයේද වී නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ඇති වාතාවරණයක් යටතේ වී මිලද පහත වැටී ඇති බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව චෝදනා කරති. රජය මැදිහත්වී සහතික මිලට වී මිලට ගැනීමට කෘෂිකර්ම ඇමැතිවරයා පසුගියදා පියවර ගත්තේ ඒ අනුවය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර රජය මගින් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම පසුගිය 17 වැනිදා සිට ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කරයි. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්ද, සම්බා වී කිලෝවක් සඳහා රු.125ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක්ද ගෙවීමට තීරණය වී තිබේ. පළමු අදියරේ වී මෙට්‍රික් ටොන් 30,000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 2000ක් වැය කරන බවද වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි. මෙම වී, වී අලෙවි මණ්ඩලය මගින්ම සහල් බවට පත්කර පීඑම්බී රයිස් නමින් වෙළෙඳපොළ පවතින මිලට වඩා රුපියල් 5ක් අඩුවෙන් ලබාදීමටද රජය තීරණය කර තිබේ.
''සහල් මිල පාලනය කරන්නේ මහ පරිමාණ මෝල් හිමියන් බවට රාවයක් පැවතුණා. අපි ඒක වෙනස් කළා. වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වෙලා වී මිලට ගෙන කඩිනමින් ඒවා සහල් බවට පත්කරලා සුපිරි වෙළෙඳසල් ජාලයට අඛණ්ඩව සහල් සැපයීමට පියවර ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ මහ පරිමාණ මෝල් හිමියන්ටද ඒ මිලට සහල් අලෙවි කිරීමට සිදු වීමයි. එසේ නොවුණා නම් මොවුන් රුපියල් 300 ඉක්මවා සහල් අලෙවි කරනවා. මෝල් හිමියන් හිතාමතාම, සැලසුම් සහගතව ගොවීන්ගේ වී ටික ඉතා අඩු මිලට මිලදී ගැනීමට කටයුතු කරන හෙයින් වී අලෙවි මණ්ඩලය මැදිහත් වී මේ දිනවල අස්වැන්න නෙළන සෑම දිස්ත්‍රික්කයකම වී මිලදී ගැනීමට කටයුතු කරනවා. රජයේ සහතික මිලට වඩා වැඩි මිලට වෙනත් පුද්ගලයන්ට ලබාදුන්නත් මේ මිලට වඩා අඩුවෙන් ලබා නොදී වී අලෙවි මණ්ඩලයේ සහතික මිලට වී ලබාදෙන ලෙස මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'' යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
රජය සහතික මිලක් නියම කළද ගොවීන් ප්‍රකාශ කරන්නේ මෙම සහතික මිල ප්‍රමාණවත් නොවන බවයි. ගොවිජන සංවිධාන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ප්‍රකාශ කරන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව රජය මෙම මිලට වී මිලදී ගැනීමට තීරණය කළ බවයි. වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා අවම වශයෙන් රුපියල් 140ත් 145ත් අතර පිරිවැයක් දරන්නට සිදුවන බවත් එබැවින් වී කිලෝවක් සඳහා වන අවම මිල රුපියල් 150ක් විය යුතු බවත් ඔහු සඳහන් කරයි. පසුගිය මාස් කන්නයේ යුරියා කිලෝව රුපියල් 33ක් වූ අතර මෙවර යල කන්නයේදී යුරියා පොහොර මිටියක මිල රුපියල් 40,000ක් වූ අතර ඒ අනුව යුරියා කිලෝවකට රුපියල් 800ක් ගෙවා මිලදී ගැනීමට ගොවීන්ට සිදු වූ බවත් ඔහු සඳහන් කළේය. මේ වැඩිවූ පිරිවැයට සරිලන පරිදි වී මිල වැඩිකළ යුතුව තිබුණද ඒ පිළිබඳව කිසිදු විමර්ශනයකින් තොරව වී සඳහා උපරිම මිලක් නියම කර ඇතැයි ඔහු සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක සඳහන් කරන්නේද රජය නියම කළ මිල ප්‍රමාණවත් නොවන බවයි. ''මේ කන්නයේ වී වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න බැහැ. සාමාන්‍යයෙන් අක්කරයකින් වී බුසල් 150ක් ලැබෙන නමුදු මෙවර අක්කරයකින් වී බුසල් 100ක්වත් ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය කාලයේ වී කිලෝව දුන්නේ 150ත් 160ත් අතර මිලකට. ආණ්ඩුව වී කිලෝවට සහතික මිලක් යෝජනා කර ඇති බැවින් දැන් පෞද්ගලික වෙළෙඳුන් වී කිලෝව ගන්නේ රුපියල් 80ත් 85ත් වැනි මිලකට. වී අලෙවි මණ්ඩලය වී ගන්නව කිව්වට ඔවුන් පේනතෙක් මානයකවත් නැහැ. මේ කන්නය අපි වියදම් කළ මුදලවත් නොලැබෙන කන්නයක් බවට පරිවර්තනය වෙලා. ගොවියට බැහැ ජනතාවට සහල් සහනාධාරයක් දෙන්න. ඒක රජයේ වගකීමක්. දැන් ගොවිතැන කනත්තට ගිහින්. ලබන මාස් කන්නයේදී පොහොර, කෘෂි රසායන සහ ඉන්ධන සහන මිලට ලබා දිය හැකිනම්'' අපිට රුපියල් 80ට 100ට උනත් වී දෙන්න පුළුවන්. වැඩි මිලට ඒවා ලබාගෙන මේ මිලට වී දෙන්න අපට බැහැ. වී මිල රුපියල් 140 කළේ නැත්නම් උතුරු මැද පළාතේ සියලු ගොවි ජනතාව පාරට බහිවි'' යනුවෙන් සඳහන් කරයි.
මේ කන්නයේ වී නිෂ්පාදනය රටේ අවශ්‍යතාවෙන් 40%ත් 50% අතර ප්‍රමාණයක් යැයි පවසන ගොවි සංගම් ඒ අනුව සහල් හිඟයක් නිර්මාණය වන බවත් එවිට අඩු මුදලට මිලට ගන්නා වී සහල් බවට පත් කොට වැඩි මිලට අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් කටයුතු කරනු ඇති බවත් පෙන්වා දේ. එමෙන්ම ඇතැම් මෝල් හිමියන් විදේශයන්ගෙන් ආනයනය කරන සහල් මෙරට සහල් සමඟ කලවම් කර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් බවතින බවටද ගොවි ජන සංවිධාන චෝදනා කරයි.
තම අස්වැන්න නෙලා ගැනීම සඳහා ඉන්ධන නොමැති වීමේ ගැටලුවද විශාල ලෙස බලපා ඇතැයි ගොවි ජනතාව මැසිවිලි නඟති. පොහොර හා කෘෂි රසායනික නොමැතිව වුවද තමන් අසීරුවෙන් වගා කළ වී ටික නෙළා ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවත් ඉදිරි දිනවල වර්ෂාව පැමිණියහොත් සියල්ල විනාශවන බවත්. තමන්ට අක්කරයකට ලබා දෙන්නේ ලීටර් 12ක් පමණක් වන අතර දිනකට ලැබෙන ඉන්ධන ලීටර් 20ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරන ගොවි ජනතාව මේ තත්ත්වය මත වී ගොවියා පාරට වැටෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර රටේ සහල් හිඟයක් ඇතිවීමට එයද බලපාන බවද පෙන්වා දෙයි.
කෙසේ නමුදු ඉදිරි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වන විට ආරම්භ කර තිබේ. එම වැඩපිළිවෙළ යටතේ වන පළමු යූරියා මෙට්‍රික් ටොන් 200ක තොගය යාපනය දිස්ත්‍රික්කයට ලබා දී තිබේ. 19 වැනිදා දෙවැනි යුරියා පොහොර තොගයද ලංකාවට ලැබීමට නියමිතය. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන යූරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවැනි නෞකාවද මේ සතියේ පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශ තොරතුරුවලට අනුව දැනගන්නට තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා