රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බොහෝ කර්මාන්තවලට අත්වූ ඉරණම එතරම් සුබදායී වූයේ නැත. ඇතැම් කර්මාන්ත වසා දැමුණු අතර සමහර කර්මාන්ත අදටත් පවතින්නේ ඉතා අවදානම් තත්ත්වයකය. මෙරට ඉතා ලාබදායී කර්මාන්තයක් මෙන්ම විදෙස් විනිමය මෙරටට රැගෙන ආ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයද අද පත්ව ඇති තත්ත්වය එතරම් සුභදායී වන්නේ නැත. වාර්ෂිකව ඩොලර් බිලියන 2.5කට වැඩි ආදායමක් රැගෙන එන විනිසුරැ මත්ස්‍ය කර්මාන්තයේ නියැලුන අයගෙන් ඇතැම් පිරිස එයින් ඈත්ව ඇත්තේ මේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.
"මේ වෙද්දී අප සංගමය සමඟ සාමාජිකයින් පනහකට පමණ පිරිසක් සාමාජිකත්වය දරනවා. ඊට අමතරව අපිට විසිතුරැ මසුන් බෝකර ලබාදෙන පිරිස ඉතා වැඩියි. මේ නිසා අප වටා බොහෝ පිරිසක් මෙම කර්මාන්තයේ නියැලෙන පිරිස ඉන්නවා. මේ අතර 50% ක් පමණ මුහුදු මාළුන් විසිතුරු මසුන් ලෙසින් අපිට ලබාදෙන තවත් පිරිසක් ඉන්නවා. ඔවුන් ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා."
යැයි ශ්‍රී ලංකා ජීව නිවර්තන මත්ස්‍ය අපනයනකරැවන්ගේ සංගමයේ (Association of Life Tropical fish Exporters of Sri Lanka) සභාපති ක්‍රිශාන්ත ඇලෙක්සැන්ඩර් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ශ්‍රී ලංකාව මුහුදෙන් වටවූ දූපතකි. මුහුදු මාළුන් ඉතා විශාල සංඛ්‍යාවක් මේ සාගරයේ ජීවත් වෙති. විසිතුරු මසුන් අපනයනය කොට ජීවත් වූ බොහෝ පිරිසෙන් වැඩි දෙනාගේ ජීවිත ඉතා අවදානම් තත්ත්වයට පත්වූයේ පසුගිය කාලයේදී පැවති ඉන්ධන ගැටලු හේතුවෙනි. විශේෂයෙන් භූමිතෙල්වල පවතින හිඟය හේතුවෙන් මුහුදු මාළුන් අල්ලා ගැනීමට තිබුණ අවස්ථා බොහෝමයක් නතර කර දැමීමට සිදුවුණි. බොහෝ කිමිදුම්කරැවන් විසිතුරු මුහුදු මාළුන් සොයා මුහුදු පතුලට යනු ලබන්නේ බෝට්ටුවක් ආධාරයෙන් මුහුදු මැදට ගොස්ය. භූමිතෙල්වල හිඟ තත්ත්වය හේතුවෙන් බොහෝ කිමිදුම්කරුවන් තාවකාලිකව තම කාර්යයන්වලින් බැහැරව ඇති බව වාර්තා වේ. භූමිතෙල්වල හිඟතාවය හේතුවෙන් මෙම කර්මාන්තයේ විශාල බිඳ වැටීමක් මේ වනවිට සිදුවෙමින් පවතී.
"කොවිඩ් කාලයේදී ලංකාවේ විසිතුරු මසුන් අපනයන තත්ත්වය වැඩි වී ඇති බවට වාර්තා වෙනවා. කොවිඩ් තත්ත්වයට පසු වසරේදී සාමාන්‍යයෙන් එය ඩොලර් මිලියන විස්සට වැඩි සංඛ්‍යාවක් ලබලා තිබෙනවා. නමුත් මේ වසරේදී එම තත්ත්වයේ අඩුවක් පෙන්නුම් කරනවා. එයට ප්‍රධාන හේතුවක් ලෙසින් භූමිතෙල්වල ගැටලුව සහ ගුවන් යානාවල ගැටලුව හඳුන්වන්න පුළුවන්." යැයි ක්‍රිශාන්ත ඇලෙක්සැන්ඩර් මහතා වැඩිදුරටත් පැවසීය.
විසිතුරු මසුන් අපනයනය කරනු ලබන්නේ ගුවන් යානා මඟිනි. පෙර කාලවලදී ශ්‍රී ලංකාවේ සිට පැය තිස් හයකට පියාසර කිරීමට ගතවූ කාලයට වඩා කාලයක් මේ වනවිට වාර්තා වී ඇත. එයට හේතුව වන්නේ කටුනායකින් ගුවන් ගතවන ගුවන් යානා චෙන්නායිවලට ගොස් අවශ්‍ය ඉන්ධන ලබාගෙන නැවත ගුවන් ගත කිරීම ආරම්භ කිරීම නිසාය.
කිමිදුම්කරුවන්ට අවශ්‍ය ආම්පන්නවල මිලෙහිද යම් යම් ඉහළ යාම් මේ වනවිටත් සිදුවෙමින් පවතී. සියලු දෑ වල මිල ඉහළ යද්දී මේවායේද මිල ඉහළ යමින් පවතියි. නමුත් කිමිදුම්කරුවන් තම ආම්පන්න කාලයක් සිට පරිහරණය කරන බැවින් ඒවායෙන් තම වෘත්තියට විශාල ගැටලුවක් පැන නොනැගුණද එයද එක්තරා අන්දමක ගැටලුවකි.
මීට දින කිහිපයක සිට මෙම කර්මාන්තයට ඇතිවුණ තවත් අර්බුදකාරී තත්ත්වයක් වන්නේ ඉදිරියේදී පවතින විදුලි බිල ඉතා ඉහළ යාමය. මෙසේ විදුලි බිල ඉහළ යාම විසිතුරැ මත්ස්‍ය කර්මාන්තයට ඍජුව බලපාන තත්ත්වයකි. ඒ හේතුවෙන් මෙවැනි කර්මාන්තයන්හි යෙදෙන පිරිසට යම් විදුලි බිලෙහි සහනයක් හෝ වෙනත් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ඇතැම් විනිසුරු මසුන් කර්මාන්තයේ යෙදෙන්නන් මේ කාලයේදී එක දිගට පැය කිහිපයක් විදුලි විසන්ධි කිරීම හේතුවෙන් විදුලි ජනක යන්ත්‍රවල පිහිට පැතුවද පසුගිය කාල පුරාම පැවැති ඉන්ධන හිඟතාවය හේතුවෙන් එම විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා කිරීමේ හැකියාවද නොතිබුණි. ඒ නිසාම මේ කර්මාන්තයෙන් ඈත් වූ පිරිසද සිටිති.
අප රටෙන් බොහෝ විට විදෙස් රටවලට අපනයනය කරනු ලබන මාළුන් වන්නේ ගප්පි, ප්ලේටි, බ්ලැක්මොරිස්, ෂෝට් ටේල් වැනි විසිතුරැ මාළුන්ය. ලංකාවට ගෙන්වන විදෙස් විනිමය වැඩි කිරීමට නම් මිලෙන් අඩු මාළුන් අපනයනය කරනවා වෙනුවට මිලෙන් වැඩි මාළුන් අපනයන කිරීම වැදගත් වේ. මේ වනවිට ලංකාවෙන් බොහෝ විදෙස් රටවලට මිරිදිය විසිතුරු මසුන් මෙන්ම කරදිය විසිතුරු මසුන් අපනයනය කරනා අතර ඉතා විශාල විදෙස් විනිමය ලබාදෙනු ලබන මෙම විසිතුරු මත්ස්‍ය කර්මාන්තය රැකගැනීම ඉතා වැදගත් වේ. මේ කර්මාන්තයේ නියැලෙන පිරිසගේ ආර්තිකය මෙන්ම රටට විදෙස් විනිමය ලබාදෙනු ලබන කර්මාන්තය මෙසේ අවදානම් තත්ත්වයකට පත්වීම අපරාධයකි.
දිශානි ජයමාලි කරුණාරත්න