මේ වනවිට කුකුළු මස් සහ බිත්තරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් පාරිභෝගිකයෝ අමාරුවේ වැටී සිටිති. පසුගිය සති දෙකක කාලය තුළ කිලෝව රුපියල් 1200ට අලෙවි කළ කුකුළු මස්වල මිල කිලෝව රුපියල් 1500 දක්වා වැඩි වී ඇති අතර රුපියල් 40කට ආසන්න ප්‍රමාණයේ තිබූ බිත්තරය රුපියල් 63 දක්වා ඉහළ නැග තිබේ. ඉදිරියේදී මෙම ආහාරවල මිල තවත් ඉහළ නගිනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව සනාථ වෙයි.
කෙසේ වුවද එදා සිට ක්‍රමයෙන් වැඩිවන මස් සහ බිත්තර මිල පාලනය කිරීමට වගකිවයුත්තන් ක්‍රියා නොකිරීම නිසා දිගටම මිල වැඩිවෙමින් පවතී. අපේ රටේ සෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යකම මිල තීරණය කිරීමට වෙළෙඳුන්ට ඉඩ දී ඇති නිසා ඔවුහු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පාරිභෝගිකයා සූරා කති.
අපේ රට මේ වනවිට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටින අතර ජනගහණයෙන් 40%කට වැඩි පිරිසකට දවසේම එක වේලක් හෝ දෙවේලක් ආහාර ගැනීමෙන් සෑහීමකට පත්වීමට සිදුව ඇත. එයට අමතරව තවත් 20% ක් පමණ අතට අසුවන දෙයක් ගිල දමා කුසගින්න නිවාගැනීමට පුරුදුව සිටින බව නවතම වාර්තාවල දැක්වේ. ශරීරයට අවශ්‍ය වන ප්‍රෝටීන ලබාගැනීම සඳහා බිත්තර සහ කුකුළු මස් සතියකට එක වේලක් හෝ ආහාරයට ගැනීම අවශ්‍ය බව පෝෂණවේදීහු පෙන්වා දෙති. එහෙත් අද පවතින මිල අනුව මසකට වරක් හෝ බිත්තරයක් හෝ මස් කැබැල්ලක් කෑමට අවස්ථාව අහිමි වී ඇත. විශේෂයෙන් වැඩෙන දරුවන් සඳහා ආහාරවේලකට බිත්තරයක් එකතු කිරීමට මෙයට කෙටි කාලයකට පෙර එතරම් අපහසු වූයේ නැත. එයට හේතුව බිත්තරයක මිල රුපියල් 25 – 30 අතර පැවතුණු බැවිනි. එහෙත් අද මධ්‍යම පාන්තික දරුවකුගේ ආහාරයට බිත්තරයක් එකතු කිරීම දෙමාපියන්ට දුෂ්කර වී ඇත. පාසල් යන දරුවන්ගේ කෑමපෙට්ටියට බිත්තර, පාන් ගෙඩියක් හෝ සොසේජස් බනිසක් දැමීමට දෙමාපියන් පුරුදු වී සිටියේ කාර්යබහුල පරිසරයක එය වඩාත් උචිත වූ නිසාය. එහෙත් අද වනවිට බිත්තර හෝ කුකුළු මස් කෙටි කෑමක් රුපියල් 90 දක්වා ඉහළ නැග ඇති අතර, ඒවාද එම ද්‍රව්‍ය අඩුවෙන් දමා මවාපාන කෑම වී තිබෙන බව පෙනේ. මේ නිසා පෝෂ්‍ය පදාර්ථ අඩුවීමෙන් ඉදිරියේදී දරු පරපුර මන්දපෝෂණයෙන් පෙළෙන, එනිසාම බුද්ධියෙන් හීන පරපුරක් බවට පත්වීම වළක්වාගත නොහැකිව තිබේ.
බිත්තර ආප්පයක හා බිත්තර රොටියක මිල රුපියල් 120 ඉක්මවා ඉහළ ගොස් ඇති අතර ඇතැම් අවස්ථාවල බිත්තර බාගයක් යොදා මේවා තනා පාරිභෝගිකයා රුවටීමට කූට වෙළෙන්ඳෝ පුරුදු වී සිටිති. රුපියල් 400කට අලෙවි කළ ග්‍රෑම් 250 චිකන් සොසේජස් පැකැට්ටුවක මිල මේ වනවිට රුපියල් 1000 ඉක්මවා ඇත. බැදපු චිකන් කැබැල්ලක් රුපියල් 200කට ආසන්නව ඇති අතර චිකන් කැබලි ප්ලේට් එකක් රුපියල් 600 පමණ වෙයි. චිකන් කුඩා කැබැල්ලක් දැමූ චිකන් කරියක් රුපියල් 300 පමණ වෙයි. මේ තත්ත්වය මත කිසිවකුටවත් බිත්තර හෝ මස් ආහාරයට එකතු කර ගැනීමට නොහැකි වනවා ඇත.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඇති කරන ලෙසට පාරිභෝගික කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු පවසන්නේ රටේ මිල මට්ටම් පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය නොඇසූ කන් හා නොබැලූ ඇස් ඇතිව සිටින අතර ඔවුන් කිසිවක් නොදන්නා අන්දමට කටයුතු කර බවය.
"පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමේ මූලික පරමාර්ථය වන්නේ පාරිභෝගිකයා වෙළෙඳුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමයි. ඔවුන් අද කියන්නේ භාණ්ඩවල අක්‍රමිකතා පිළිබඳ ඔවුන්ට පැමිණිලි කළ යුතු බවයි. මම නම් හිතන්නේ ඒක ගැලවෙන්න කියන කතාවක්. පැමිණිල්ලක් ඕනෑ නැහැ. ඒ අයට පාරිභෝගික සේවා පනත අනුව බලතල තියෙනවා වෙළෙඳපොළ සමීක්ෂණ කර ආහාර ද්‍රව්‍ය (විශේෂයෙන්) වල මිල සහ ප්‍රමිතිය පිළිබඳ සොයා බලන්න. අධිකාරිය අද නාමපුවරුවක් පමණක් බවට පත්ව ඇති නිසා එම අධිකාරියේ කටයුතු ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළ යුතුයි. සභාපතිවරු වෙනස් කළාට වැඩක් වන්නේ නැහැ. අප පසුගියදා බත් පැකැට්ටුවක මිල 15% ක් පමණ අඩු කළත් බිත්තර සහ කුකුළු මස්වල මිල අනුව එම බත් පැකැට්වල මිල අඩු කිරීමට නොහැකි බවක් උදාවෙලා තියෙනවා. ඒ තරමටම මිල ඉහළයි. අපි බලාපොරොත්තු වෙනවා පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම තත්ත්වයට ප්‍රතිකර්මයක් යොදයි කියලා."
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන පවසන්නේ බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට මස් සහ බිත්තරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ නැගීම බාධාවක්ව ඇති බවයි. කෙටි කෑමවල මිල පහළ දැමීම අපහසු බවත්, එසේම විදුලි බිල සහ ජල බිල් ඉහළ දැමීමද බේකරි නිෂ්පාදනවල මිල කෙරෙහි අහිතකරව බලපා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
"පාන්පිටි මිල තරමක් අඩුවුණාට බටර් - මාජරින්, සීනි ඇතුළු බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉතාම ඉහළයි. අපි සෑහෙන කාලයක සිට අමාත්‍යංශයට මේ පිළිබඳ පෙන්වා දී සහනයක් ඉල්ලුවත් වැඩක් වෙලා නැහැ. ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල සුළුවෙන් අඩු වුණාට බේකරිවල පාවිච්චි කරන විශාල ගෑස් සිලින්ඩරවල මිල අඩු වුණේ නැහැ. මස්, බිත්තර මිල දිනපතාම ඉහළ යන නිසා ඒවායින් තනන කෙටි කෑමවල මිල පහළ දැමීමට බැරිවෙලා තියෙනවා. බිත්තරවල මිල ඒකාධිකාරි ලෙස වුවමනාවෙන් වැඩි කිරීමට නිෂ්පාදකයන් කටයුතු කරනවා. දැනට ඔවුන් මස් සහ බිත්තර නිෂ්පාදනය වුවමනාවෙන්ම 50%කින් පමණ අඩු කරලා මිල ඉහළ යාමට ඉඩ දීලා තියෙනවා. ඉල්ලුම තරමට සැපයුම නැතිවිට මිල වැඩි වෙනවා. මෙය ඒ අය වුවමනාවෙන්ම කරන වැඩක්. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර වෙළෙඳපොළේ මිල බැස්සීමට කටයුතු කරන ලෙසටයි. ආනයනික බිත්තර අද වෙළෙඳපොළේ මිලට වඩා අඩක් අඩුවෙන් දෙන්න පුළුවන්. මේ නිෂ්පාදකයන්ගේ මාෆියාවට පිළිතුරු දෙන්න ඕනෑ ඒ හැටියටයි. ඔවුන් මිල අඩු කළොත් ආනයනය කිරීම නැවැත්වීමට පුළුවන්. එහෙම නැතුව පාරිභෝගිකයන් හිරිහැරයට පත් කිරීමට ඉඩ දෙන්න බැහැ."
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසන්නේ බිත්තරවල මිල ඉහළ යාමට අසාමාන්‍ය ලෙස සත්ත්ව ආහාරවල මිල ඉහළ යාම බලපා ඇති බවය.
"බඩඉරිඟු ලංකාවට ආනයනය කරලා දෙන්න කියලා අපි ඉල්ලීම් නොකළ කෙනෙක් නැහැ. දැනට නඩත්තු කරන කෝටි 15කට ආසන්න සතුන්ට සත්ත්ව ආහාර හිඟවීම විශාල ප්‍රශ්නයක් වෙලා. මේ නිසා බිත්තර නිෂ්පාදනය 50%කින්ම අඩුවෙලා. දමන බිත්තරවල බරද පහළ ගිහින්. සතුන්ට දෙන විටමින් වර්ග එකට තුන් ගුණයකින් ගණන් ගිහින්. බිත්තරයක් ප්‍රවාහනය කිරීමට රුපියල් 5 ක් යනවා. ඉන්ධන අර්බුදය නිසා වාහන යොදාගැනීමද ප්‍රශ්නයක්. මෙම තත්ත්වය ගොවීන්ගේ වරදක් නිසා ඇතිවූවක් නොවෙයි. මේකට වගකිවයුත්තන් බොහොමයක් ඉන්නවා. මෙම ගැටලු විසඳන්නේ නැතුව බිත්තර මිල අඩු කරන්න කියලා කෑගැසීමේ පදනමක් නැහැ.
බිත්තර මිල අඩු කරන්න ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්න කියලා කියන අයත් ඉන්නවා. ග්‍රාමීය කර්මාන්ත නගාසිටුවලා මෙරටට ඩොලර් ගෙන්වන්නෙ කොහොමද කියන එකයි අපි හිතන්න ඕනෑ. ඉන්දියාවේ බිත්තරයක මිල රුපියල් 18ක් වෙනවා. මෙරටට ගෙන්වද්දී ඩොලරයේ මිල ඉහළ යාම සමඟ සසදා බලන විට රුපියල් 38 – 40 පමණ වෙනවා. අනිත් කාරණය තමා එහෙම ගෙනෙන බිත්තරයක බර ග්‍රෑම් 35ක් පමණ වීම. අපි නිෂ්පාදනය කරන බිත්තරවල බර ග්‍රෑම් 65 ක්. මේවා හතරට පහට කපලා බේකරි නිෂ්පාදනවලට යොදාගන්න පුළුවන්. එහෙත් බර අඩු බිත්තරවලින් එහෙම වාසියක් නැහැ. ඒ නිසා බොහෝ බේකරි කෑමවලට ගන්නේ අපේ නිෂ්පාදනයි. මේ විදියට ග්‍රාමීය කර්මාන්ත වට්ටන වැඩවලට සහාය නොදීම වගකිවයුත්තන්ගේ යුතුකමක්.
අපේ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් රජයට බරක් නොවී ස්වයංරුකියා ලෙස කරලා මසකට රුපියල් 50,000 පමණ ආදායමක් ඉපැයූ අය. ඉන්දියාවෙන් බිත්තර ගෙනාවොත් ගම්වල පවතින සුළු හා මධ්‍ය පරිමාණ සත්ත්ව කර්මාන්තය නැත්තටම නැතිවෙලා යාවි. අනිත් අතට දැනට රටේ උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය උග්‍ර වීමටද මෙය හේතු වෙනවා ඇති. ඒ නිසා මේ අවස්ථාවේදී රජය කළ යුත්තේ අපට නැති සත්ත්ව ආහාර ප්‍රශ්නයට පිළියමක් යොදලා මෙම කර්මාන්තය දිරිමත් කිරීමයි. එහෙම නැතුව කෙටිකාලීන විසඳුම්වලට යාම නොවෙයි කළ යුත්තේ."
මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසන්නේ අත්‍යවශ්‍ය සත්ත්ව ආහාර හා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට බලපෑම් ඇති කළහොත් බිත්තරයක මිල රුපියල් 72ක් සහ කුකුළු මස් කිලෝව රුපියල් 1500 නතර නොවී 1600 දක්වා ටික කලකින් මිල ඉහළ යාමට හේතුවන බවයි.
"සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ සංචිතවල හිඟය බලපා තියෙනවා. රජයට මෙම තත්ත්වය පැවසුවාට ප්‍රතිකර්මයක් සිදුවුණේ නැහැ. අප ලිඛිතවද මෙම තත්ත්වය දන්වලා සහනයක් සලසන ලෙස දන්වලා තියෙනවා. ඒ මුල් දවස්වලම යම් විසඳුමක් ලැබුණා නම් මෙම ප්‍රශ්නය මෙතරම් උග්‍ර වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සත්ත්ව ආහාර හිඟය නිසා මේ වනවිට බිත්තර හා මස් නිෂ්පාදනය 40%කින් අඩු වී තිබෙනවා. දේශීය බඩඉරිඟු සත්ත්ව ආහාරවලට ලබා දිය හැකි නම් බිත්තර හා කුකුළු මස් මිල අඩු කරන්නට හැකියි. දැනට පවතින ඩොලර් අර්බුදය නිසා සත්ත්ව ආහාර ආනයනය කිරීම දුෂ්කරව ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා රට තුළ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළකට යා යුතුයි. සත්ත්ව ආහාර ආනයනයට මසකට අමෙරිකානු ඩොලර් මිලියන 40ක් පමණ වියදම් වෙනවා. මේ තත්ත්වය අද රටේ හැටියට අපට දරාගන්න අමාරු බව ඇත්තයි. ඒ නිසා රට තුළ බඩඉරිඟු නිෂ්පාදනය කරන වැඩපිළිවෙළකට යා යුතු වෙනවා.
අද ඉල්ලුමේ හැටියට සැපයුම නැතිවීම නිසා මිල ඉහළ යාමයි සිදුව ඇත්තේ. මෙය වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවීන් මේ වනවිට ව්‍යාපාරවලින් ඉවත් වෙන්නට පටන් අරන්. ඇතැම් සතුන් මසට විකුණලා ගොවිපොළවල් වසා දැමීමේ තත්ත්වය දැනට උග්‍රවෙලා තියෙනවා.
මේ වනවිට පාරිභෝගික කටයුතු අධිකාරියද අසාමාන්‍ය ලෙස බිත්තර සහ මස් මිල ඉහළ නැගීම පාලනය කිරීමට යම් යම් පියවර ගනිමින් සිටින බවට ආරංචි පළවෙයි. පාරිභෝගික සංවිධාන විසින් මෙම මිල මාෆියාවට එරෙහිව පියවර ගන්නා ලෙසට රජයේ වගකිවයුත්තන්ට බලපෑම් කිරීම නිසා නිෂ්ක්‍රියව සිටීමට වගකිවයුත්තන්ට නොහැකි වී ඇත.
බිත්තර සහ කුකුළු මස් මිල වැඩිවීම පිළිබඳ නිෂ්පාදකයන් කැඳවා තොරතුරු ලබාගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ නව සභාපති නීතිඥ ශාන්ත කිරිඇල්ල මහතා පවසයි. බිත්තර හා කුකුළු මස් මිල අඩු කිරීමට නිෂ්පාදකයන් කැමැත්ත පළ කළ අතර, එලෙස මිල අඩු කිරීමට නම් තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලූ බවද සභාපතිවරයා පැවසීය. මෙම ගැටලුව ඉදිරියේදී විසඳාගත හැකි යැයි තමා බලාපොරොත්තු වන්නේ යැයි ඔහු කීවේය. ඔහු තවදුරටත් මෙසේද කියයි.
"හේතුවක් නොමැතිව බිත්තර හා මස් මිල ඉහළ දැමීමට කටයුතු කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා. ලක්ෂ ගණන් බිත්තර ගබඩා කළ හැකි ශීත ගබඩා පහසුකම් සහිත ඇතැම් ව්‍යාපාරිකයන් සතුව එකදු කිකිළි පැටවෙක්වත් නැහැ. එහෙත් ඔවුන් බිත්තර නිෂ්පාදකයන්ට වඩා විශාල ලෙස ලාභ ලබනවා. ඔවුන් කටයුතු කරන්නේ අතරමැදියන් ලෙසයි. වෙළෙඳපොළ පාලනය කරන්න ඔවුන් සමත් වී තිබෙනවා.
පසුගිය අර්බුද කාලසීමාවේදී සත්ත්ව ආහාර ආනයනයට යම් යම් බාධා ඇතිවූ බව ඇත්තයි. එහෙත් අද වනවිට එම තත්ත්වය නැතිවී තිබෙනවා. බිත්තර හා මස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතු කිහිපයක් බලපා තිබෙනවා. බිත්තර ව්‍යාපාරිකයන්ගේ ගැටලු නිරාකරණය කිරීමට ඔවුන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. අනාගතයේදී දැනට පවතින ඉහළ මිල යම් පමණකට පාලනය කරන්නට හැකි වේ යැයි විශ්වාස කරනවා."
යසවර්ධන රුද්රිගූ