ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණේ එරට ආගමන විගමන නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි. හරක් කටා අත්අඩංගුවට ගෙන දින හතරක් ඉක්මෙන්නට පෙර ඔහුගේ ප්‍රධානම වෙඩික්කරුවකු බව කියන මාගලගේ ගයාන් ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. කදිරා පොලිස් විශේෂ කාර්ය බලකායට කොටුවී තිබුණේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ කුලී කාමරයක රැඳී සිටියදීය.
ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ හරක් කටා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරමුන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සූදානමින් සිටි බවද වාර්තා වේ. මේ සඳහා පානදුර ප්‍රදේශය මුල් කොටගෙන හෙරොයින් ජාවාරමේ නිරත වූ පානදුර සලිඳු ඩුබායි රාජ්‍යයේ සිට මූලිකත්වය ගෙන ඇතැයි වාර්තා වේ.
මෙවැනි පසුබිමක සංවිධානාත්මක අපරාධ හා එවැනි අපරාධකරුවන් මර්දනය කිරීම සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශය මෙහෙයුම් දියත් කරයි. ඒ අතරතුර සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක II හි පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතාට ලැබුණු බුද්ධි තොරතුරකින් දන්වා තිබුණේ හරක් කටාගේ ගෝලයකු බොරලැස්ගමුව ප්‍රදේශයේ රුඳී සිටින බවකි. ඔහු ටයිල් සහ ටයිටේනියම් බිම් ඇතුරුම් ශිල්පියකු වශයෙන් සේවය කරන්නකු ලෙස හැසිරෙමින් සිටින බවද බුද්ධි තොරතුර මගින් දන්වා තිබිණි.
''ටයිටේනියම් බාස් කෙනෙක් කීවට මෙයා වැඩක් කරන පාටක් නෑ.. මාස එකහමාරක් විතර කාමරේට වෙලා ඉන්නවා. එළිය පහළියට යන්නෙත් අඩුවෙන්. ගියත් පැයට දෙකට ආයෙම කාමරේට එනවා. මෙයා කුඩු ඩීල් කරන කෙනෙක් වගේ..'' යනුවෙන් වැඩිදුරටත් තොරතුරු දුන් පුද්ගලයා කරුණු දන්වා තිබිණ.
තොරතුර අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරී පිරිසක් සැකකටයුතු කුලී නිවාසය සොයා ගියහ. ඒ අනුව බොරලැස්ගමුව පොලිස් වසමට අයත් අංක 101/1, මාලනී බුලත්සිංහල මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පිහිටි ස්ථානය වටලා තිබුණි. ඒ ඉකුත් 15 වැනිදා අලුයම වෙලාවකය. කුලී පදනම මත ලබා දී තිබූ කාමරයක නවාතැන් ගෙන සිටි තරුණයා නිලධාරීන්ගේ ග්‍රහණයට ගැනීමත් සමඟ ඔහුගේ ජාතික හැඳුනුම්පත අනුව සැකකරු මාගලගේ ගයාන් ප්‍රබෝද් කුමාර නම් වන අයකු බව හඳුනාගනු ලැබීය. කදිරා ලෙස අන්වර්ථ නමකින් හඳුන්වන ඔහු අංක 150, ජනාවාසය, මිදිගම, අහංගම ලිපිනයේ පදිංචි 1994 සැප්තැම්බර් 20 වැනිදා උපන් අයෙකි. ඔහු සතුව තිබූ ටී56 වර්ගයේ උණ්ඩ හතරක් සමඟ හෙරොයින් ග්‍රෑම් 17ක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ සැකකරු හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවකු බවය. ඔහු නැවතී සිටි කාමරයට මාසයකට රු. 6000 බැගින් මාස තුනක් සඳහා රු. 18,000ක් එකවර ගෙවා වෙන් කරගෙන තිබෙන බව හෙළි විය. එම මුදල හරක් කටා විසින් ලබා දී තිබෙන අතර මේ වනවිට මොහු මාස එකහමාරක පමණ කාලයක් කුලී කාමරයේ රුඳී සිට ඇතැයි පැවසේ.
ඉකුත් 15 වැනිදා කදිරා කොටුවන්නට මත්තෙන් 11 වැනිදා ඩුබායිහිදී හරක් කටා අත්අඩංගුවට පත්වූ බව කදිරා මාධ්‍ය හරහා දැනගෙන තිබුණි. එසැණින් ඔහු හරක් කටා සමඟ පැවැත්වූ දුරකථන සබඳතා සියල්ල නවත්වා හැකි ලෙස පැරණි දත්ත විනාශ කිරීමට ක්‍රියා කළේය. නමුත් එකී දත්ත සෑහෙන ප්‍රමාණයක් නැවත ලබාගන්නට විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත් වූහ.
හරක් කටාගේ වෙඩික්කරු ලෙස ක්‍රියා කරන අතරතුර කදිරා හරක් කටාගේ වෙනත් වැඩ කටයුතු රුසක් කොළඹ සිට ක්‍රියාත්මක කොට ඇති බව හෙළි වී තිබුණි. ඒ අනුව හරක් කටා ඩුබායි සිට අත්අඩංගුවට පත්වීමට දින තුනකට මත්තෙන් බෙල්ලන්විල ප්‍රදේශයේ ස්ථානයකට ගෙනවිත් නවතා තිබූ යතුරුපැදියකි. එහි අසුන යට හෙරොයින් කිලෝ 5ක පාර්සලයකි. යතුරුපැදියේ යතුර එහිම තිබියදී වෙනත් අයකු විසින් අත්හල යතුරුපැදිය කදිරා බාරයට ගෙන තිබුණේ හරක් කටාගේ උපදෙස් මතය. කදිරාට නියම කර තිබුණේ එම යතුරුපැදිය රත්මලාන ප්‍රදේශයේ තැනක් වෙත ගොස් නවතා යළි එන්නටය. මේ අයුරින් කදිරා හරක් කටාගේ කුඩු ප්‍රවාහනය කිරීම සඳහා දායක වී ඇතැයි කියති.
ඉකුත් අප්‍රේල් මාසයේ දිනක මාතර කොම්පාවල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකි. එහි රුඳී සිටි චූටි මාමා නැමැත්තාට වෙඩි තබා පලා ගොස් තිබුණේ කදිරාය. චූටි මාමා කදිරාගේ මවගේ සහෝදරයකු බව පැවසේ. හරක් කටාගේ කුඩු ජවාරම සම්බන්ධයෙන් චූටි මාමා පොලිසියට ඔත්තු ලබාදීම නිසා කදිරා ලවා චූටි මාමා ඝාතනය කිරීමට හරක් කටා උත්සාහ කර තිබිණි. වෙඩි ප්‍රහාරයෙන් චූටි මාමා ඝාතනය නොවුණි. ඒ සඳහා යතුරුපැදිය හා උණ්ඩ ලබා දී තිබුණේ යෝධ කණ්ඩිය ප්‍රදේශයේදී බව තොරතුරු අනාවරණය විය.
අනතුරුව අහංගම ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක් සිදු කර තිබුණේ යතුරුපැදියක නැගී ගොස්ය. ඒ සඳහා එක උණ්ඩයක් භාවිත කර ඇතත් කදිරා හරක් කටාට පවසා තිබුණේ උණ්ඩ පහම භාවිත කළ බවකි. එසේ ඉතිරි කරගත් උණ්ඩ හතරක් සිය නිවෙසේ මුළුතැන්ගෙය පසුපස වළදමා සඟවා ඇතැයි කියති. අනතුරුව කොළඹ පැමිණි ඔහු දංකොටුව ප්‍රදේශයේ සහෝදරයකු සමඟ වාසය කර ඇතැයි පැවසේ. එදා සිට නැවත මොහු ගම් පළාතට ගොස් නැති අතර හරක් කටාගේ උපදෙස් මත කොළඹ අවට රුඳී සිටිමින් ඔහුගේ ජාවාරම් සඳහා යොදවාගෙන ඇති බව හෙළි වී තිබිණි. ඒ ආකාරයට බොරලැස්ගමුව ප්‍රදේශයේ රුඳී සිට තිබුණේද කොළඹ ප්‍රදේශයේ මත්කුඩු බෙදාහැරීම හා හරක් කටාට එරෙහි ඔත්තු ලබාදෙන පිරිස් ඝාතනය කිරීම සඳහාය.
මැයි 14 වැනිදා වැලිගම වෙරළ පාරේදී ජැකා නැමැත්තා හා තවත් අයකු ඉලක්ක කොට වෙඩි තබා තිබුණේද කදිරා විසිනි. ඒ සඳහා ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පදවා ඇතැයි කියති. එහිදී වෙඩි ප්‍රහාරය ජැකා නැමැත්තාගේ උරහිසට එල්ල වී තිබුණි. වෙඩි තැබීම සඳහා අති දක්ෂයකු නොවන කදිරා යූටියුබ් නරඹා වෙඩි තැබීමට ඉගෙන ගත්තෙකි. එබැවින් මොහුගේ අත වෙව්ලීමක් පවතින බව කියයි. ඒ නිසාම ඇතැම් ඉලක්ක වැරදී ඇතැයි පැවසේ.
කදිරාට එරෙහිව මංකොල්ලකෑමේ චෝදනා තුනක් පවතී. බාල වයස්කාර දැරියක අපහරණය කිරීමේ චෝදනාවක් ද වෙයි. වැරදි සඳහා වරෙන්තු ඇතත් උසාවිය මගහැර සිටින කදිරා කොළඹට පලා ඒමෙන් පසුව රුකවරණය ලබා දී තිබුණේ හරක් කටා විසිනි. චූටි මාමා ඝාතනය සඳහා හරක් කටාට හා කදිරාට ඔත්තු සපයා තිබුණේ ආශා නැමැත්තෙකි. හරක් කටා හා කදිරා අතර ඥාති සබඳතාවක් පවතින බවද අනාවරණය වී තිබේ. කදිරා තවදුරටත් සැඟවී සිට තිබුණේ මත්කුඩු ප්‍රවාහන කටයුතු හා හරක් කටාට එරෙහි වූ අයට එරෙහිව ගිනිඅවි එසවීමට බව තහවුරු වී තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර