2022 අගෝස්තු 19 වන සිකුරාදා

කොරෝනා - ඩෙංගු මැද නගින ලාදුරැ අවදානම

 2022 අගෝස්තු 19 වන සිකුරාදා, පෙ.ව. 08:00 41

ලංකාවේ ආර්ථිකය පමණක් නොව මහජන සෞඛ්‍යද දැන් ඇත්තේ මහා අලකලංචියකට ලක්වය. ණයක් තුරහක් වී ආර්ථිකය ගොඩගන්නට හැකි වුවද සමස්ත මහජන සහයෝගය කැපවීම නැතිව රටේ පැතිර යන රෝගවලින් නම් බේරීමට නොහැකිය. මේ වනවිට බෝවන රෝග කිහිපයක්ම නැවත තර්ජනාත්මක පැතිරීමක් පෙන්වා ඇති බව සෞඛ්‍ය අංශ වාර්තාවන් අනතුරු අඟවා හමාරය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන අයුරින් මෙම වසරේ පසුගිය කාර්තුවට සාපේක්ෂව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම දැන් දස ගුණයකින් ඉහළ ගොස් ඇත. මේ අතර ඩෙංගු සහ වෛරස උණ රෝගය ඉහළ යාමේ අනතුරද රැඳී පවති. ඒ මදිවාටදෝ තවත් ස්වසන පද්ධතිය ආශ්‍රිත පැතිරීමක් දක්වන බැක්ටීරියා ආසාදනයක් වන ලාදුරුද නැවත හිස ඔසොවා ඇති බවට නපුරු ආරංචියක් පැතිර ඇත.

පසුගිය අගෝස්තු 15දායින් ඇරුඹුණු සතියේ මුල් දින කිහිපයේ ලැබී ඇති දත්ත පමණක් වුව සලකා බැලීමේදී කොරෝනා අනතුර ඉහළ නගිමින් ඇති ආකාරය සනාථ වෙයි. ඉකුත් 15 වැනි සඳුදා වනවිට පැය 24ක කාලය තුළ වාර්තාගත වූ තහවුරු කළ කොරෝනා රෝගීන් ගණන 96ක් බවත් එය පැය 14ට 39ක් වූ අතර මරණ 2ක් වාර්තාගත බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබුණු දත්ත පෙන්වා දෙයි. ඊට පසුදින වනවිට එනම්  16 දා පැය 24ට 129ක් රෝගීන් බව තහවුරු වූ අතර පැය 14ට 31ක්ද මරණ 3ක්ද වාර්තාගතය. ඉකුත් 17දා බදාදා  පැය 24 කාලය තුළ අලුතෙන්ම 195ක් රෝගීන් බව තහවුරු වූ අතර පැය 14ට රෝගීන් 54 බව තහවුරුව තිබුණි. මරණ ගණන 6ක්ව තිබේ. මේ අනුව රෝගය නැවතත් කඩිනමින් හිස ඔසොවා එන ලකුණු තහවුරු වී හමාරය.

ඒ දින වනවිට මෙතෙක් රටෙන් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 668,336ක් වූ අතර   මරණ 16,630 පන්නා තිබුණි. සෞඛ්‍ය බලධාරීන්ම පෙන්වා දී ඇති පරිදි මේ තමන්ට වාර්තාවන රෝගීන් සහ මරණ ගැන දත්තයන්ය. නමුත් තත්ත්වය මෙයටත් වඩා සැබැවින්ම බරපතළය. මේ අපට පෙනෙන්නේ හිම කන්දේ මුදුනත පමණි. රෝගය පැතිර යාම දැන් වඩාත් ඉහළ ගොස් ඇත්තේ මහජනතාව වෙතින් සෞඛ්‍ය පුරුදු නොසලකා හරින ආකල්පයක් පැතිර යාම නිසාය. කොටින්ම දැන් නැවතත් මුහුණ ආවරණය හෝ අත් සේදීම හෝ බඳු මූලික පුරුදු පවා නොතකා හරිමින් සිටිති.

මේ අතර ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන්වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන්වල පැතිර යෑමේ දැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර කාලයේදී) නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතවද වසර අගදී (ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා තහවුරු කර තිබේ. ඩෙංගු වසංගතය යළි ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
මේ වනවිට ඩෙංගු දරුණු මට්ටම ඇති බවට හොඳම නිදසුන වන්නේ 2020 සමස්ත වර්ෂය සඳහා ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 31162ක් වාර්තා වූ අතර 2022 ජනවාරි සිට මේ දක්වා පමණක් ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 39626ක් දිවයින පුරා වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වීමය. මේ ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 40.7%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. සාමාන්‍යයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2017 වසරේ 29 වැනි සතියේදීය. ඉන්පසු වසර 5කට වරක් ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් සඳහා පවතින රටාව මේ වර්ෂය තුළද ඉස්මතු වෙමින් පැවතීම අවධානයට ලක්විය යුතු කරුණක් බව පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර තිබුණි.

මේ වනවිට ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවට එම ඒකකය පවසයි. එම දිස්ත්‍රික්කවලින් ඩෙංගු අවදානම් කලාප 60ක් නම්කර තිබේ. එයින්ද සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 56ක ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කළ හැකි මට්ටමට ළඟා වෙමින්  ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන ආකාරයට මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 1500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මර්දන ඒකකය ප්‍රධානත්වයෙන් අගෝස්තු 1දා සිට රට පුරාම වාගේ දැඩි මර්දන වැඩසටහන් ක්‍රියාත්මක අතර ඒ සඳහා මහජන සහාය අතිශය වැදගත් වන බව ඔහු අවධාරණය කරයි.

මේ දිනවල කිසියම් පුද්ගලයකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබාගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක නොගන්නා ලෙසත්, හැකි ඉක්මනින් පිළිගත් වෛද්‍යවරයකු මුණගැසී පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් ඔහු ජනතාවට දැනුම් දුන්නේය.

ලෝකයේ පැරණිතම බෝවන රෝගය වන බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් හරහා පැතිර යන “ලෙප්රොසි” නැත්නම් ලාදුරු රෝගය වාර්තා වීම නැවත ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. බස්නාහිරින් වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වෙද්දී නැගෙනහිර මඩකළපුව ආශ්‍රිතවද දකුණේ ගාල්ල මාතර මෙන්ම  කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක ආශ්‍රිතවද රෝගීන් හමුව ඇත. 

කොරෝනා වසංගතයත් සමග ලාදුරු ගැන අවධානය බිඳී යාමත් රෝගීන් ඉදිරිපත් වීම පහළ වැටීමත් නිසා මෙම රෝගය වාර්තා වීම අඩු වූ බවක් පෙනී යන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ  අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර පෙන්වා දෙයි. ඒ අනුව  2021දී රෝගීන් 1026ක් පමණක් හඳුනාගත් අතර. ඔවුන්ගෙන් සියයට 10ක් පමණ ළමයින් වූහ. මේ වසරේ අගොස්තු වනවිට තවමත් හඳුනාගෙන ඇත්තේ 500කට ආසන්න ප්‍රමාණයක් බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර කියයි.

ලාදුරු රෝග ලක්ෂණ පහළ වූ රෝගියෙකුට මුලින්ම එන ලක්ෂණය හමේ පැහැයට වඩා අඩු පැහැයෙන් එන අළුහමක් වැනි ලපයක් විය හැකිය. මේ ලපය රතු හෝ තඹ පැහැ වුවද විය හැකිය. මේ ලප මත රෝම නැත. දැනීම නැත. ඒ බව කුඩා තුඩකින් ඇන සියුම්ව පරීක්ෂා කළොත් හඳුනාගත හැකිය. මේ ලප මතට දහඩිය දැමීම අවමය කසන්නේ නැත. 

ලාදුරු ප්‍රතිකාර අරඹා දින 03ක් තුළ පැතිරීම වැළැක්වෙන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර පෙන්වා දෙයි. මේ නිසා  කලින්ම සිදුකරන ඉක්මන් හඳුනා ගැනීමකින් සහ ප්‍රතිකාර සඳහා කඩිනමින් අඛණ්ඩව යොමුවීමෙන් රෝගයෙන් ඇතිවිය හැකි විකෘතිතා බඳු සංකුලතාවලින් මිදි සුව දිවියක් ගත කළ හැකි බව ලාදුරු මර්දන ව්‍යාපාරයයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර පෙන්වා දෙයි.

මේ රෝගය හඳුනා ගැනීම සඳහා කොළඹ මධ්‍යම සායනයට ම පැමිණීම අත්‍යවශ්‍ය නැත. දිවයින පුරා චර්ම රෝග සායන සහිත රෝහල් 80ක් පමණ ඇති අතර මේ සායනයකට යොමු වීමෙන් මූලික හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමුවිය හැකිය. මේ වනවිට නොමිලේ ලබාදෙන ලාදුරු සඳහා වූ ඖෂධ කිසිදු හිඟයක් නැතිව පවතින බවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර කියයි.

සුගත් පී. කුලතුංග ආරච්චි