2022 අගෝස්තු 28 වන ඉරිදා

ධීවරයින් උස්සා පොළවේ ගසන භූමිතෙල් මිල

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 52

හිටිහැටියේම භූමිතෙල් මිල සියයට හාරසීයකින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළේ ඉකුත් සතියේය. දුප්පතාගේ ඉන්ධනය වූ භූමිතෙල් මිල මෙලෙස ඉහළ දැමීම විශාල සමාජ ආන්දෝලනයකට හේතු විය. එනිසාම වතුකරයේ ලැයිම් කාමරයේ සිට මුහුදුකරයේ ධීවරයන් දක්වා බලපෑ මෙම මිල ඉහළ නැංවීම පිළිබඳ යථා තතු සොයා බැලීමට අපි තීරණය කළෙමු. 

භූමිතෙල් මිල ඉහළ දැමීම මෙරට ඉතිහාසයේ එකවර සිදු වූ දැවැන්තම ඉන්ධන මිල ඉහළ දැමීම ලෙස වාර්තා පොත් අතරට එකතු විය. ඒ අනුව රුපියල් 87 ක් ලෙස පැවති භූමිතෙල් ලීටරයක මිල අද වන විට රුපියල් 340 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව එකවර රුපියල් 253 කින් මිල ඉහළ ගොස් ඇත. එම තත්ත්වය මත මෙරට අඩු ආදයම්ලාභී සමාජ ස්ථරයට සිදුවෙමින් පවතින බලපෑම සුළුපටු නොවේ. 

සමස්තයක් ලෙස ගත් කල ධීවර ජනතාව, වතු නිවාසවල ජීවත් වන ජනතාව, ගොවි ජනතාව, මහල් නිවාසවල ජීවත් වන පිරිස්, අඩු ආදායම්ලාභී නාගරික පැල්පත්වාසීහු මෙහි දැඩි බලපෑමට ලක්ව සිටිති. ඒ අනුව පොදුවේ ගත් කල මෙම තීරණය හරහා විපතට පත්ව සිටින්නේ පොඩි මිනිසුන්ය. එසේ නමුත් ධීවර ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයට භූමිතෙල් මිල ඉහළ දැමීම හරහා සිදුවන බලපෑම වක්‍රාකාරයෙන් රටේ සියලුම මහජනතාවට දැනෙනු ඇත.

ධීවර කර්මාන්තයේ ප්‍රධානතම ඉන්ධනය භූමිතෙල්ය. එබැවින් උද්ගතව ඇති තත්ත්වය මත මාළු මිල කෙරෙහි වන බලපෑම සුළුපටු නොවනු ඇතැයි කියැවේ. අපි ප්‍රමුඛව භූමිතෙල් මිල හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුව ඇති බලපෑම පිළිබඳ සොයා බලනුයේ එබැවිනි.

මෙහිදී අපගේ විශේෂ අවධානයක් යොමුවන්නේ සුළුපන්න ධීවර කර්මාන්තයේ නිරත වන ප්‍රජාව වෙතයි. දෛනික සුළුපන්න ධීවර කර්මාන්තයේ නිරත වන ධීවර බෝට්ටු විසිපන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ වන බව කියැවේ. සමස්තයක් ලෙස ලක්ෂ 5කට ආසන්න ධීවර ප්‍රජාවක් මේ හරහා දිවි සරිකර ගනිති. එම සියලු දෙනාගේම ප්‍රමුඛ ඉන්ධනය භූමිතෙල්ය.

භූමිතෙල් ඉන්ධන ලෙස භාවිත කරන සුළුපන්න ධීවරයන් පෙන්වා දෙන්නේ දිනක මුහුදු ගමන සඳහා භුමිතෙල් ලීටර 20ත් 30ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. මේ සම්බන්ධව අපට අදහස් දැක්වූ බේරුවල ප්‍රදේශයේ ධීවරයකු පෙන්වා දුන්නේ නව මිල හඳුන්වාදීමත් සමඟ දිනකට රුපියල් හතළිස් දහසකට ආසන්න ඉන්ධන වියදමක් දැරීමට සිදුවන බවයි. 

“මෙයාලා හිතාගෙන ඉන්නේ ලීටරයක් භූමිතෙල් ගහලා කීලෝමීටර් දහයක් දොළහක් යන්න පුළුවන් කියලාද දන්නේ නෑ. එහෙම තෙල් වැඩ කරන්නේ පාරේ දුවන වාහනවල. අපිට හැතැප්ම පනහක් විතර ඇදලා එන්න ලීටර් තිහක් විතර යනවා. දවසකට අමතර රුපියල් පහළොස් දහසක් විසි දහසක් යනවා මේ වැඩෙන්. අනික හැමදාම එක වගේ මාළු හම්බවෙන්නේ නෑ. දැනටත් අපි ගහන්නේ රෝල. පසුගිය කාලේ භූමිතෙල් තිබුණේම නෑ. දැන් භූමිතෙල් ආවත් අපිට ගන්න විදිහක් නෑ. මේ කර්මාන්තය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ලොකු පුටුවල ඉඳලා මෝඩ තීරණ ගන්නේ මේ මිනිස්සු."

මේ අතර හලාවත ප්‍රදේශයට අඛණ්ඩ භූමිතෙල් සැපයුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ධීවරයෝ දින ගණනාවක් පුරා විරෝධතාවල නිරත වූහ. එක්තරා අවස්ථාවක ඔවුහු ප්‍රධාන මත්ස්‍ය වෙළඳසල පවා වසා දැමූහ. එහෙත් අවසානයේ දී ඔවුනට අඛණ්ඩ සැපයුම වෙනුවට ඓතිහාසික මිල වැඩි කිරීමකට මුහුණ දීමට සිදු වූයේය. 

ඒ සම්බන්ධව අදහස් දැක්වූ හලාවත ප්‍රදේශයේ ධීවරයකු පැවසූයේ තවදුරටත් මාළු කෑම ජනතාවට සිහිනයක් වනු ඇති බවයි.

“අපි ලක්ෂ හතරහමාරක තෙල් ගහන්න ඕන මාසෙකට. එතකොට මාළු කිලෝ එකක් තුන් හාරදාහකට විකුණන්න වෙයි. මිනිසුන්ට මාළු කන්න හම්බවෙන්නේ නෑ. අනික මිල ඉහළ ගියාම මිනිස්සු මාළු ගන්නෙත් නෑ. එහෙම වුණොත් අපේ දරුවන්ට ඉන්න වෙන්නේ බඩගින්නේ. දැන් මාස හතරක පහක ඉඳන් අපි පුදුම දුකක් විඳින්නේ. ඔය ටීවීවල පත්තරවල ධීවරයන්ට භූමිතෙල් දෙනවා කිව්වට අපිට භූමිතෙල් ලැබුණේ නෑ. ඉඳලා හිටලා ලැබුණත් ඒකත් වෙන උන් වංචා කරලා ගත්තා. බෝට්ටු ගියේ කලාතුරකින්. දැනටමත් ණය වෙලා ඉන්නේ. අපිට වෙන්නේ පාරේ මැරෙන්න."

කෙසේ වෙතත් රජය පවසන්නේ ඍජු මුදල් සහනාධාරයක් ධීවරයන්ට සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉකුත්දා පවසා තිබුණේ භූමිතෙල් මිල වැඩි කිරීම මීට වසර කිහිපයකට ඉහත දී ගත යුතුව තිබූ තීරණයක් බවයි. තෙල් සංස්ථාව දැවැන්ත වශයෙන් පාඩු ලැබීමට භූමිතෙල් සහනාධාරය හේතු වූ බව ඔහු පවසා තිබුණි. 

මේ අතර රජයේ විගණන දත්ත අනුව භූමිතෙල් සහනාධාරයෙන් සංස්ථාවට වසර 7ට මිලියන 35129ක පාඩුවක් සිදුව ඇති බව ද කියැවේ. භූමිතෙල් මිල සම්බන්ධව සහනාධාරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් තෙල් සංස්ථාවට ලබා දිය යුතුව තිබුණු මුදල් මහ බැංකුව විසින් ලබා දී නොමැති බව ද හෙළිදරව් වී තිබේ.

කෙසේ වෙතත් බොහෝ ධීවර සංගම් මෙම මිල ඉහළ දැමීමට රජය ගනු ලැබූ තීරණය දැඩිව විවේචනය කරයි. ලබා දෙන බව කියන සහනාධාරය පිළිබඳව ද ඔවුහු එතරම් විශ්වාසයක් පළ නොකරති. සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ ප්‍රසංග ප්‍රනාන්දු මහතා ඉකුත්දා පවසා සිටියේ තම ගැටලුව පාලකයන්ට නොදැනෙන බවයි.

“ලංකාවේ දළ දේශීය ආදායමට සුළුපන්න ධීවරයන් 1.6% ක දායකත්වයක් සපයනවා. ඒ සම්බන්ධව කිසි තැකීමකින් තොරව තමයි එකපාරටම මේ භූමිතෙල් මිල ඉහළ දැම්මේ. අපි සාකච්ඡාවක් පැවැත්වුවා. අපි ධීවර ඇමැති හම්බවුණා. ජනාධිපති හම්බවුණා. අපි හැමෝටම අපේ ප්‍රශ්නය කිව්වා. ඒගොල්ලන්ට අපිව දැනෙන්නෙ නෑ වගේ දෙයක් තමයි අපිට හිතෙන්නේ. අපේ ධීවර ජනතාවට තියෙන්නේ කුඩම්මගෙ සැලකිල්ලක් කියලා තමයි පේන්නේ."

මේ මොහොත වන විට ශ්‍රී ලංකාව පුරා සුළුපන්න ධීවර කර්මාන්තයේ නියුතු වන ධීවරයන් 90% කට වඩා වැඩි ප්‍රතිශතයක් සිය කර්මාන්තයෙන් බැහැරව සිටින බව පෙනී යයි. ඉදිරි සතිය තුළදී මත්ස්‍ය වෙළෙඳාමේ ශීඝ්‍ර කඩාවැටීමක් බලාපොරොත්තු විය හැකි බව කුඩා හා මහා පරිමාණ වෙළෙන්ඳෝ ද පෙන්වා දෙති.

මත්ස්‍ය අස්වනු ඉතා හොඳින් ලැබෙන මෙම කාලයේ ධීවරයන්ට මුහුදු යෑමට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය අපොහොසත්ව සිටීම නිසා මාළු හිඟ වී මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංගමය ද ඉකුත් දා නිවේදනය කොට තිබුණි. ඇතැම් මාළු වර්ගවල කිලෝවක මිල රුපියල් 5000 දක්වා ඉදිරියේදී ඉහළ යනු ඇතැයි ද මත පළ වේ.

මේ අතර සහනාධාර ක්‍රමය පිළිබඳ පවතින බලාපොරොත්තු ද කඩිනමින් ඉටු නොවන බව පෙනී යයි. එය තවත් භයංකර තත්ත්වයකි. ධීවර ඇතුළු අදාළ රේඛීය අමාත්‍යංශය සහනාධාර අවශ්‍ය අය හඳුනාගෙන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට එම සහනාධාර ලබාදීම රජයේ සැලසුම වී තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව මෙම කටයුත්ත සිදුවන බව ඉකුත් සතියේ බලශක්තිය අමාත්‍යවරයා නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය හරහා ද පැහැදිලි වෙයි. එම නිසාම මෙම ක්‍රමවේදය පිළිබඳ කඩිනම් බලාපොරොත්තුවක් තබා ගැනීමට අපහසුය.

හුදෙක් ධීවරයන්ට පමණක් නොව වතුකරයට ද භූමිතෙල් පිළිබඳ ගැටලුව ඉතා තදින් බලපා තිබේ. පුරා මාස තුනකට ආසන්න කාලයක් නිසි භූමිතෙල් සැපයුමක් සිදු නොවීම හේතුවෙන් හැටන් ඇතුළු බොහෝ වතු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අපහසුතාවයට මුහුණ දී සිටිති. එසේම නාගරික අඩු ආදායම්ලාභීන් ද මේ හේතුවෙන් පීඩාවට පත් වී සිටිති. ඊට අමතරව කාර්මික ක්ෂේත්‍රයේ ස්වයංරැකියාවල නියුතු පිරිස් ද භූමිතෙල් හිඟය හා මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. 
අවසානයේ දී පැහැදිලි කළ යුත්තේ රටේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට යම් යම් තීරණ ගැනීමට සිදුවන බවයි. එහෙත් එම තීරණ ගැනීමට පෙර සමස්තය පිළිබඳ මනා විශ්ලේෂණයක් සහිතව  අදාළ තීරණ ගැනීම වැදගත් වේ. නැතහොත් සිදුවන්නේ එක් අර්බුදයක් කළමනාකරණය කර ගැනීමට ගොස් තවත් අර්බුද රුසකට මැදිවීමටයි. භූමිතෙල් මිල ඉහළ දැමීමේ තීරණය හුදෙක් රජය ලබන පාඩුව පිළිබඳව පමණක් සිතා ගනු ලැබූ තීරණයක් බව පැහැදිලිය. පීඩාවට පත්වන පිරිස් හට සහන සැලසීමේ වැඩපිළිවෙළකින් තොරව කඩිමුඩියේ මෙවන් තීරණයකට එළැඹීම ලද බොළඳ ක්‍රියාවක් බව මෙහිලා සටහන් කොට තබමු.

I චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04