2022 අගෝස්තු 28 වන ඉරිදා

අරගලයේ හෙට දවස: පෙරටුගාමීන්ගේ ඇසින්

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 169

ගාලුමුවදොර අරගලය මාස හතරක පමණ කාලයක් ඇදී ගියේය. එම අරගලයේ මුඛ්‍ය තේමාව වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙසටය. ''ගෝටා ගෝ හෝම්'' නමින් ආරම්භ වූ එම අරගලයට අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ''මයිනා ගෝ හෝම්'' සහ ''කපුටා ගෝ හෝම්'' නමින් තවත් ව්‍යාපෘති දෙකක්ද එකතු විය. අවසානයේ අරගලයේ මූලික අරමුණු ජයග්‍රහණය කළ අතර ඉහත කී තිදෙනාටම තම තනතුරු අතහැර දැමීමට සිදුවිය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින්ද පළා යෑමට සිදු වූ අතර මේ වනවිට ඔහු රටින් රටට යමින් තමන්ට යළි ලංකාවට පැමිණෙන්නට සුදුසු පරිසරයක් නිර්මාණය වන තෙක් බලා සිටී. මහින්ද රාජපක්ෂ තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉවත්ව පොහොට්ටු පක්ෂය යළි තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියක නියැලෙමින් සිටින බවට දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. 

තම මූලික අරමුණ සාක්ෂාත් වීම මත අරගලකරුවෝද පසුගිය අගෝස්තු 9දා සිට ක්‍රමයෙන් ගාලුමුවදොර කඳවුරින් නික්ම යාම ආරම්භ කළහ. ඔවුන් එලෙස නික්ම යාමට පෙර ප්‍රකාශ කළේ තමන් භෞතික වශයෙන් අරගල භූමියෙන් ඉවත් වුවද අරගලය දිගටම ක්‍රියාත්මක වන බවටය. මේ වනවිට ආණ්ඩුව අරගලයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයද අරගලය පසුපස සිටි දැවැන්ත භූමිකාවක් විය. අරගලය නොනවත්වාම  ක්‍රියාත්මක වීමේ පසුබිමක් තුළ අරගලයේ ඉදිරි මුහුණුවර කෙබඳු වේදැයි අප විමසා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාගෙනි. පහත පළවන්නේ ඒ මහතා පළකළ අදහස්ය.

''ගාලුමුවදොර අරගලය යනු සමස්ථ අරගලයේ එක් ආකෘතියක් පමණයි. ගාලුමුවදොර අරගලය ආරම්භ වූයේ අප්‍රේල් මාසේ 9 වැනිදා වුණාට ජනවාරි, පෙබරවාරි මාසවල සිට මේ රටේ ජනතාව උද්ඝෝෂණවලට එකතු වී සිටියා. මැයි  මාසේ 9 වැනිදා ගාලුමුවදොර අරගලයට ප්‍රහාරයක් එල්ල වූ විට රට පුරාම ජනතා නැගිටීමක් සිදු වුණා. ජූලි 9 වෙනිදා රටපුරා ප්‍රාදේශීය උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුර ''ගෝටා ගෝ හෝම්'' නමැති සටන්පාඨය ජයග්‍රහණය කිරීම සඳහා විශාල පිරිසක් කොළඹට පැමිණියා. ගාලු මුවදොර පිටියේ පිරිසක් රැඳී සිටියේ මෙහි කිසියම් සංඛේතයක් ලෙසටයි. ''ගෝටා ගෝ හෝම්'' කියන සටන් පාඨය ජයග්‍රහණය කිරීමත් සමඟ මේ අරගලයේ රිද්මය වෙනස් වුණා. සමාජ සුජාතභාවයකින් තොරව ව්‍යවස්ථාව භාවිත කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වුණා. එවැනි වාතාවරණයක් යටතේ ස්ථිරවම අරගලයේ ස්වරෑපය වෙනස් වෙනවා. තවදුරටත් ගාලු මුවදොර පිටිය අත්පත් කරගෙන සිටීමෙන් ප්‍රයෝජනයක් නොවන බවට අරගලකරුවන් තීරණය කළ නිසයි ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කළේ. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපේ තරුණ සංවිධාන, ශිෂ්‍ය සංවිධාන අරගලයේ සිටියා. අරගලයේ රිද්මය වෙනස් විය යුතුය යන්න අපිත් පිළිගන්නවා. අරගලය අවසන් නැහැ. එය තවදුරටත් රටපුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වුණා. ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් අරගලය ඉදිරියට යාවි. අරගලයේ ආකෘතිය සකස් වන්නේ කිසියම් ස්ථානයක් අත්පත් කර ගැනීමෙන්ද, නැතිනම් ජනතාව නිශ්චිත සටන්පාඨවලට, නිශ්චිත ප්‍රශ්නවලට උද්ඝෝෂණවල නියැලීම තුළින්ද, නැතිනම් වැඩවර්ජන වැනි ක්‍රියා තුළින්ද යන පැනය තවමත් ඉතිරි වී තිබෙනවා. ජනතා අර්බුදයට කිසිදු පිළිතුරක් තවමත් ලැබී නැහැ. අලුතින් නිර්මාණය වන පරිසරය තුළ අරගලය අලුත් ආකෘතියකින් පැන නැගේවි.''

ගාලුමුවදොර අරගලයේ මුඛ්‍ය තේමාව වූයේ රාජපක්ෂ පාලනය අවසන් කිරීමය. එය මතුපිටින් ක්‍රියාත්මක වුවද අභ්‍යන්තරයේ තවමත් රාජපක්ෂ හස්තය දැකිය හැකිය. අරගලයෙන් සිදුවූයේ රාජපක්ෂලා ගෙදර යවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්ව රාජපක්ෂ පාලනයම ඉදිරියට ගෙන යාම යැයි ඇතැම්හු චෝදනා කරති. අගෝස්තු 9 වැනිදා රනිල් වික්‍රමසිංහ එළවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කළද එවැන්නක් සිදු නොවීය. සම්බන්ධයෙන් ජයගොඩ මහතාගේ අදහස වන්නේ අරගලයට අදාළව ගාලුමුවදොර පිටියේ සහ රටපුරා ''ගෝටා ගෝ ගම්වල'' ක්‍රියාකාරි කමිටු පැවැති නමුදු ඒ කිසිදු ක්‍රියාකාරී කමිටුවක හෝ වෘත්තිය සමිති අතර හෝ ජනතාව තුළ හෝ අගෝස්තු 9දා රනිල් ගෝ හෝම් යනුවෙන් විරෝධතාවක් පවත්වා කොළඹ ඒමට තීරණයක් නොතිබූ බවයි. 

''අරගලය තුළ සටන් පාඨ කිහිපයක්ම තිබුණා. ''ගෝටා ගෝ හෝම්'', ''සොරකම් කළ මුදල් නැවත පවරා ගමු'', ''225ම එපා'', ''බලය ජනතාවට අවශ්‍යය'' යන්න වගේ සටන් පාඨ ඒ අතර වුණා. මේ සටන්පාඨවලින්  ඇතැම් ඒවා තවමත් ඉදිරියට යමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බිහිවී ඇති ආණ්ඩුවේ මතුපිටින් ඔහු නායකයා ලෙස පෙනෙන්නට තිබුණත් අභ්‍යන්තරයේ රාජපක්ෂ ආධිපත්‍යය තිබෙන බව පැහැදිලියි. එවැනි තත්ත්වයක් යටතේ ජනතා ප්‍රශ්න කිසිවකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ජනතා අභිලාෂයන් සහ පාර්ලිමේන්තුවේ බහුතරයේ අභිලාෂයන් අතර දැවැන්ත පරස්පරයක් තිබෙනවා. ඒ නිසා ජනතා බලය ගොඩ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. ජනතාවගෙන් සොරකම් කළ මුදල් නැවත ලබා ගැනීමට මේ ආණ්ඩුව ක්‍රියා නොකරන බව හොඳටම පැහැදිලියි. පාර්ලිමේන්තුවේ  සිටින පිරිසට අවශ්‍ය ජනතා ප්‍රශ්න විසඳීම නොව, ඇමැතිකම් ලබා ගැනීම, ඔවුන්ගේ විනාශ වූ ගෙවල් දොරවල් සාදා ගැනීම, ඉන්ධන දීමනාව වැඩිකර ගැනීම වැනි අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරමුණ පමණයි, මින් සිදුවන්නේ ජනතා කෝපය තවදුරටත් ඉහළ යෑමයි. අරගලයේ එක් සටන් පාඨයක් ජයග්‍රහණය කළාට ඉතිරි සටන් පාඨ ජය ගැනීමට ඉතිරිව තිබෙනවා. ඒවා ජයග්‍රහණය කිරීමට අරගලය ඉදිරියේදී නව මුහුණුවරකින් මතුවේවි. 

මේ වනවිට අරගලකරුවන් දඩයම් කිරීමේ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා නීතිමය ආධාර සැපයීමටත්, ජාතික වශයෙන් අරගලයට සම්බන්ධ සියලුදෙනා එක වේදිකාවකට ගෙන එන්නටත්, ජාත්‍යන්තර වශයෙන් දේශපාලන උද්ඝෝෂණ ගොඩ නැගීමටත් අප කටයුතු කරනවා. ලංකාවේ අවස්ථා කිහිපයකදීම දේශපාලන මර්දන ක්‍රියාත්මක වුණා. එවක පැවැතියේ දේශපාලන ස්ථාවරයක් සහිත, දැවැන්ත මහජන සහායක් සහිත ජනප්‍රිය ආණ්ඩු. එමෙන්ම එම කාලවල ආර්ථික වශයෙන් මෙවැනි අර්බුදයක් නිර්මාණව වී තිබුණේද නැහැ. රනිල් වික්‍රමසංහ පාලනය යටතේ තිබෙන්නේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු රටක්. එමෙන්ම පාලකයාද කිසිදු මහජන අනුමැතියකින් තොරව බලයට පත් වූ කෙනෙක්. පසුගිය 22දා ඔහු ගාලුමුවදොර අරගලකරුවන් එලවා දමන්නට කළ උත්සාහයත් සමඟ බොහෝ රටවල් ලංකාවට ආධාර දීමෙන් වැළකුණා. එහෙයින් ඔහුට මර්දනය දිගටම  පවත්වාගෙන යා නොහැකියි..

ජනතා ඉල්ලීම වන්නේ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලයි. ඒ නිසා අනිවාර් යෙන්ම  මැතිවරණයකට යා යුතුයි. එහෙත් පවතින තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විරෝධි බලවේගවලට යළි බලය අත්පත් කර ගැනීමට අවස්ථාව උදාවේවි. ඒ නිසා මැතිවරණ නීතිවලට සැලකිය යුතු මට්මක සංශෝධනයක් ගෙන ආ යුතුයි. විශේෂයෙන් මුදල්බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය, මැර බලය  සහිත පුද්ගලයන්ට ඒවා භාවිත කළ නොහැකිවන පරිදි සංශෝධන ඇතුළත් විය යුතුයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙරට දේශපාලනය තුළ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, ධීවර සමිති, ශිෂ්‍ය ව්‍යාපාර වැනි ජනතාව දැනටමත් සංවිධිතව සම්බන්ධව ඇති මහජන ව්‍යාපාරවලට තම දායකත්වය ලබාදෙමින් සිටී. මේ වනවිට ප්‍රාදේශීය මට්ටමින් අරගලයට එක් වූ ජනකොටස් සමඟ ''ජන අරගල සභා'' ගොඩ නැගීම එහි එක් පියවරකි. එමෙන්ම විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරී දායකත්වයක නිරතව සිටින අතර  පසුගිය කාලය පුරාම ජනතාව සමඟ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම්ද උපයෝගී කර ගනිමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණ පෙරමුණ ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවද පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා