වක්කඩෙන් වතුර බොන්න සිදුවන තරමට රජරට වතුර ප්‍රශ්නයක් තිබේ. පිරිසකට බොන්න වතුර නැත. බොන්න වතුර තිබුණත් තවත් පිරිසකට පිරිසුදු වතුර නැත. මේ කතා අස්සේ දිවා කාලයේ වතුර බැරලයක ජීවත් වන තිදරු පියකු පිළිබඳව අසන්නට ලැබුණේ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයෙනි.
මොහු මේ ආකාරයට වතුර බාල්දියක සිටිනුයේ විනෝදයකට නොවන අතර එය පිහිනුම් තටාකයක වරුවක් දෙකක් සිටිනවා තරම් විනෝද ජනක වැඩක්ද නොවේ. එසේ නම් වතුර ටැංකියක දිවිගෙවන්නේ ඇයි යන්න අපට පළමුව නැගුණු පැනයකි. එවන් වූ දුෂ්කර ක්‍රියාවක් සිදුකරන්නා වූ ඒ දිරිය මිනිසා සොයා අපි ගියෙමු. කොළඹ - පුත්තලම මාර්ගයේ අනුරාධපුර නගරයට ගිය අපි අනුරාධපුර නගරයේ සිට යාපනය හන්දියෙන් ත්‍රිකුණාමල මාර්ගයේ ගමන් ගත්තෙමු. ඉන්පසු රඹෑව පසුකරමින් මැදවච්චිය හරහා කිලෝමීටර් 47ක් ගෙවා දුරගිය අපට අනුරාධපුර දිස්ත්‍රක්කයේ දුෂ්කර ගම්මානයක් වන පරසන්ගස්වැව හමුවිය.
අත්වාරු ආධාරයෙන් ඇවිද යන මොහු දිවා කාලයේ පවතින අධික උෂ්ණත්වයට විසඳුම් සොයනුයේ ප්ලාස්ටික් වතුර බැරලයෙනි. ගෙමිදුලේ තබා ඇති ප්ලාස්ටික් බැරලයකට වතුර දමා තිබේ. සිරුරට අවශ්‍ය තෙතමනය නොමැතිවීම හේතුවෙන් ශරීරය වේලීම වළක්වාලීමේ අරමුණින් ඔහු නිවෙසේ මිදුලේ තැබූ වතුර බැරලයක දිවා කාලයේ දිවි ගෙවයි. ඔහු නමින් රංජිත් කුමාරයි.
අනුරාධපුර, පරසන්ගස්වැව පදිංචි රංජිත් කුමාර මහතා සිය දුක්බර කතාව අප සමඟ මෙසේ පැවසුවේය.
“මගේ පවුලේ මමයි නෝනායි පුතාලා තුන්දෙනායි. ලොකු පුතා බැඳලා දුව අපිත් එක්ක ඉන්නේ. ලොකු පුතා මේ අවුරුද්දේ හමුදාවට ගියා. දෙවැනියා මේ සැරේ සාමාන්‍ය පෙළ ලියනවා. පොඩිම පුතා හතර වසරේ. අපේ තාත්තාගේ ගල් වළක් තියෙනවා. මම ඒ ගල් වළේ වැඩ කළේ. දැන් ඒ ගල් වළ වැහිලා තියෙන්නේ. වැඩක් පළක් කරගන්න විදිහක් නෑ. මම අසනීප වුණාට පස්සේ මගෙ රස්සාව කරගන්න බැරිවුණා. ඒ නිසා බිරිඳ ගෙවල් ළඟ තියෙන ඇලුමිනියම් වැඩපළක රස්සාවකට යනවා. මා අවුරුදු දහයක් තිස්සේ වකුගඩු අමාරුවෙන් පීඩා විඳිනවා. බේත් ගන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන්. රුධිර කාන්දු පෙරණ (dialysis) කරනවා. දවස් දෙකකට සැරයක් ලේ මාරු කරනවා. අවුරුදු ගණනක් තිස්සේ මේක කරන නිසා ගෙදරින් බට දාලා බඩේ වතුර අයින් කරගන්න කියලයි රෝහලෙන් කියන්නේ. ඒකට ගෙදර වෙනම කාමරයක් පිරිසුදුව හදලා වෙනම බාත්රෑම් එකක් තනි පාවිච්චියට තියෙන්න ඕනා කියලා මට උපදෙස් දුන්නා. මට ගෙයක් තියෙනවා. තියෙන ගෙදර කාමර ටොයිලට් ෆොටෝ ගහගෙන ගියාම කිව්වා, ඒවා බෑ වෙනම හදන්න ඕනෑ කියලා. ඉතින් ගෙදර හරියට හදාගත්තාමයි ගෙදර බට දාන ක්‍රමය හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මට ඩයලයිසිස් කරන්න ගියාම අමාරු වෙනවා. දවසටම වතුර බොන්න දෙන්නේ මිලිලීටර 500යි. මෙහෙ ගොඩාක් රස්නෙයි. නිතරම මාව වේලිලා වගේ. ඉතින් ඒ අමාරුව නිසායි මම නිතරම වතුර බේසමකට බැහැලා ඉන්නේ. වතුර ටැංකියක්වත් හදාගන්නට හැකියාවක් නැති නිසායි වතුර බැරල් එකකට බැහැලා ඉන්නේ. දවල් කාලයේ දරුවන් හිටියොත් ඔවුන් මාව මේ වතුර බැරල් එකට උස්සලා දානවා. නැත්නම් මම කොහොම හරි තනියම වතුර බැරල් එකට බහිනවා. ගොඩට එන්නත් ගොඩක් වෙලා යනවා. දවසම ගත කරන ජීවිතේ මේකයි.”
රජරට වකුගඩු රෝගය පිළිබඳ අර්බුදය මතුවන්නේ අදක ඊයෙක නොවෙයි. රජරට වකුගඩු රෝගයේ පැවැත්ම පිළිබඳව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අවධානය මුල්වරට යොමුවූයේ 1999 වසරේ මහාචාර්ය ෂෙරිෆ් මහතාගේ මූලිකත්වයෙන් කොළඹ පැවැති සාක් කලාපීය වකුගඩු රෝග පිළිබඳ සමුළුවේදීය. හෙළ රජ දවස වැව් බැඳි රාජ්‍යය යැයි පරසිදු අනුරාධපුරයේ පිරිසුදු වතුර පොදක් බීමට නොමැතිව වකුගඩු රෝගීන් බවට පත්වීමම එක්තරා ඛේදවාචකයකි. පත් වූ රජයන්වලින් රජරටට ජල පෙරණ ලබාදීම ඇතුළු විවිධාකාර උත්සාහ ගත්තද නිදන්ගත වකුගඩු රෝගීන් අවම කිරීමෙහිලා ඒ පැලැස්තර අසමත් වී තිබේ. අහිංසක ජනතාවට සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට වී ඇත්තේ එහෙයිනි.
උතුරු මැද පළාතේ පැතිරී යන වකුගඩු රෝගයට හේතු වී තිබෙන්නේ ජලයේ පවතින ෆ්ලෝරයිඩ්, කැඩිමියම් සහ කිවුල බව විද්වත් මතයයි.
“දරු පවුලක් එක්ක දවස ගානේ පුදුම දුකක් විඳින්නේ. මේ පැතිවල පිරිසුදු වතුර ටිකක් හොයාගන්න හරිම අමාරුයි. මේ කියන කෙනාටත් අවුරුදු ගාණක ඉඳන් වකුගඩු අමාරුව. අපේ පළාතේ ගොඩාක් අයට වකුගඩු අමාරුව. බොන වතුර හොඳ නෑ. ඉතින් දවසට බොන්න දෙන්නේ වතුර ලීටර බාගයයි. ඒ බොන ප්‍රමාණය දවසට මදි. ඇඟට වතුර මදි නිසායි වේදනාවට වතුර බාස්කට් එකකට බැහැලා ඉන්නේ දවස තිස්සේ. මුල් කාලේ වම් අතෙන් තමයි ලේ මාරු කළේ. ඊටපස්සේ වම් අතේ නහර පිපිරුවා. දැන් දකුණු අතට බට ගහලා ලේ මාරු කරනවා. දැන් දකුණු අතේ නහරත් ගෙඩි ගැහිලා තියෙන්නේ. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ නෑ. වෛද්‍යවරුන් කියලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට බඩට බට දාන්න ඕනා කියලයි. වතුර නැතිවුණාම ඇඟ පිච්චෙනවා වගේ වෙනවාලු. වතුර නැතිවුණාම කෑ ගහනවා. ඒ නිසයි වතුර බේසමකට බැහැලා ඉන්නේ. ගෙදර ඉඳන් බට දාන්න වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ වෙනම තනි කාමරයක් ඕනෑ කියලයි. මේ උදවු ඉල්ලන්නේ කාමරයක් හදාගන්නයි. අපිත් පුළුවන් විදිහට රංජිත් පවුලට අපට පුළුවන් දේ කර දෙනවා.”
ඉහත කතානායක පවසන කරුණුවල ඇත්ත නැත්ත පිළිබඳව ප්‍රදේශවාසියකු පැවසූයේ එවැන්නකි.
මේ සම්බන්ධයෙන් සත්‍යාසත්‍යතාව දැනගැනීමට මැද නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පරසන්ගස්වැව වැඩබලන ග්‍රාම නිලධාරී නිමාලි නරසිංහ මහත්මියගෙන් කළ විමසීමේදී ඇය පැවසූයේ ඇයට ප්‍රතිචාර ලබාදීමට නොහැකි බවයි. ආධාර ලබන ලේඛනයේ නම නොමැති එහෙත් පොරොත්තු ලේඛනයේ සිටින වකුගඩු රෝගීන්ද විශාල පිරිසක් අනුරාධපුර නුවරගම්පළාත ඇතුළු ප්‍රදේශවල සිටින බවද අප කළ විමසීම්වලදී අනාවරණය විය.
නුවරගම්පළාත මැද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසූයේ ඉහත නම් සඳහන් පුද්ගලයා රජයේ වකුගඩු ආධාර ලබන්නකු බවයි.
උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා වකුගඩු රෝගීන් විශාල පිරිසක් වාර්තා වන බවත් මැද නුවරගම් පළාත බල ප්‍රදේශයේ 300 - 400 පිරිසකට රජයේ ආධාර ලබාදෙන බවත් පැවසේ. එසේම පොරොත්තු ලේඛනයේ ඊට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් ආධාර ලබන ලේඛනයට ඇතුළත් වන්නේ ආධාර ලබන්නකුගේ නම ලේඛනයෙන් ඉවත් වීමෙන් බවද අනාවරණය විය.
මෙහි කතා නායකයා වන පරසන්ගස්වැව රංජිත් කුමාර යනු මෙරට වෙසෙන එක් පුද්ගලයෙකි. එහෙත් මෙවැනි අහිංසක මිනිසුන් තව කීදෙනකු මේ මිහිපිට දුක තුරුලු කරගෙන දිවි ගෙවනවාදැයි නිශ්චිතව පැවසිය නොහැකිය. දිය පොදක් ඉල්ලා උදේ හවා අහසට වැඳ වැටෙන වයඹ රජරට වැසියෝ උල්පත් සොයා කිලෝමීටර් ගණන් පා ගමනින් බූලි කර තියාන ගාටති. මිනිසුන් එසේ යද්දී සර්පයන් අලි ඇතුන් ආදී වනසත්තු ගම් වදිති. එහෙයින් මිනිසාගේ මූලික අයිතියක් වන පිරිසුදු වතුර අවශ්‍යතාව සපුරාලීම අත්‍යවශ්‍යය. බොර වතුර බොන රජරට තවත් රතුපස්වලක් නොවීමට එය ඉවහල් වෙයි.
ඇෆ්ගනිස්ථානයේ බටහිරින් පිහිටි හේරත් නගරය ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයකට පටබැඳී ඇත්තේ වෙනස්ම නමකි. මෙම ගම්මානය බොහෝ දෙනකු හඳුන්වන්නේ එක් වකුගඩුවක් ඇත්තන්ගේ ගම්මානය යනුවෙනි. අධික දරිද්‍රතාවෙන් පෙළෙන මෙම ගම්මානයේ වැසියන් බොහොමයක් මේ වනවිටත් බඩගින්න වෙනුවෙන් සිය වකුගඩු විකුණා අවසන්ය. අපේ රටේ පිරිසක් මේ වනවිට වකුගඩු ආබාධවලින් පෙළෙද්දී මෙරට ඇතැම් ප්‍රදේශවල කුණුකොල්ලයට වකුගඩු ජාවාරම් පවා සිදුව ඇති බවටද වාර්තා විය.
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඇත්තේද රජරටමය. ඒ පොළොන්නරුවේය. එහෙත් රෝහල් පෙනි පෙනී රජරටම මිනිසුන්ට මේ ආකාරයට හුස්ම යදින්නට සිදුවෙලාය. අහිංසක මිනිසුන් ජීවිතයත් මරණයත් අතර දරුණු සටනකය.
සසංක චලන ගිම්හාන