2022 අගෝස්තු 28 වන ඉරිදා

කට උත්තර නැති බිත්තර මිල!

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 252

මෙරට වෙළඳපළේ කිකිලි බිත්තරයක වැඩිම මිල වාර්තා වූයේ ඉකුත් සතියේය. බිත්තරයක මිල රුපියල් 60ත් 70ත් වශයෙන් සටහන් වූ අතර බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ගෘහස්ථ බිත්තර පාරිභෝගිකයෝ සහ බේකරි හා ආපනශාලා හිමියෝ මැසිවිලි නැගූහ. එනිසා බිත්තරයක උපරිම සිල්ලර මිල ගැසට් කිරීමට රජයට සිදු විය. මිල පාලනයට අනුව සුදු බිත්තරයක මිල රුපියල් 43ක් සහ රතු හෝ දුඹුරු බිත්තරයක මිල 45ක් වශයෙන් උපරිම මිලට යටත් කරනු ලැබුණි. බ්‍රහස්පතින්දා වනවිට වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් 64කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබුණි. කෙසේ නමුත් මිල පාලනය කිරීමට රජය ගත් තීරණයට බිත්තර ගොවි සංවිධාන විරෝධය පෑම නිසා බිත්තරයක් රුපියල් 50ක් දක්වා ඉහළ දැමීට රජය අනුමැතිය දුන්නේය.

බිත්තර ගොවීන් පෙන්වා දෙන්නේ සත්ව ආහාර සහ කිකිලියන්ට ලබාදෙන විටමින් ආදී බෙහෙත් වර්ග මිල ඉහළ යාම බිත්තර මිල ඉහළ දැමීමට හේතු වූ බවය. එනිසා රජය මිල පාලනය කළ යුත්තේ සත්ව ආහාර අලෙවි කරන සමාගම් මිලය. සත්ව ආහාර වෙළඳ නියෝජිතයෙකු වන නිලාම් මහතා මිල ඉහළ යාම සම්බන්ධයෙන් දේශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙවන් අදහසකි.

“අද වෙනකොට කුකුල් කෑම 400%කින් වැඩි වෙලා. 2020 අවුරුද්දේ මුල් මාසවල රු. 3500ට තිබ්බ කෑම මිටියක් දැන් රු. 13,500ක්-14,000ක් වෙනවා. ඒ වගේම තමයි සතුන්ට දෙන බෙහෙත්. රු.150කට විතර තිබුණු සාමාන්‍ය විටමින් වර්ගත් දැන් රු.1,500ක් වගේ වෙනවා. ඒ විතරක් නෙවෙයිනේ, ප්‍රවාහනයත් දැන් තුන් ගුණයකින් වැඩිවෙලා. ෆාම් කරන අයට විදුලි මිලත් ගොඩක් බලපානවනෙ. කුකුල්ලු 5000ක් හදන ගොවියෙක්ට මාසයකට ලයිට් බිල විතරක් රු.50000ක් විතර වෙනවා. ඒ වගේම ගොවිපලේ වැඩකරන කම්කරුවන්ටත් පඩි වැඩි කරන්න වෙනවනේ රටේ තත්වෙත් එක්ක. මේ හැම දෙයක්ම වැඩිවෙලා තියෙද්දී බිත්තරයක් පරණ ගානට දෙන්න හිතන්නවත් බෑ. මේ ගමේ හිටියා ගොවියෝ 15ක් විතර. දැන් ඒ කිසි කෙනෙක් ෆාම් කරන්නෙ නෑ. සේරම අතහැරලා. සත්තු 10,000ක් විතර හදපු අය පවා නවත්තලා තියෙන්නේ. ඒ හින්දා අපිට වෙළඳාමක් කරන්න ගොවියෝ නෑ. ඉතින් කඩ කුලියවත් ගෙවාගන්න බැරුවයි අපි ඉන්නේ. මම ඉස්සර මාසෙකට සත්ව ආහාර මිටි 3,000ක් බෙදා හරිනවා. දැන් මට මිටි 30ක්වත් විකුණගන්න බෑ. බෙහෙත් විකුණන්නත් බෑ. කඩේ තියෙන බෙහෙත් පවා මං ආපහු සමාගමට යවනවා කල් ඉකුත් වෙන්න ඉස්සෙල්ලා. ඒ නිසා බිත්තර මිල අඩු කරන්න නම් කෑම මිල බෙහෙත් මිල මුලින් අඩු කරන්න වෙනවා.''

සත්ව ආහාර නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන කිහිපයක් තිබේ. ප්‍රීමා, සුපර් ෆීඩ්, ගෝල්ඩ් කොයින්, සීඅයිසි ඒ අතර ප්‍රධාන සමාගම්ය. මෙම සමාගම් සියල්ල සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශ රටවල්වලින් ආනයනය කරනු ලබයි. මාස කිහිපයකට පෙර සිදු වූ රුපියල බාල්දු වීම, ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වූ අතර සත්ව ආහාර අමුද්‍රව්‍ය මිලද කිහිප ගුණයකින් ඉහළ ගියේය. මෙම තත්ත්වය රට පුරා විහිදුණු බිත්තර නිෂ්පාදනයට දැඩිව බලපෑවේය. කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩිම බිත්තර නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයයි. එම ප්‍රදේයේ ගොවීහු නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමට සමාගම්වලින් ආහාර මිල දී ගන්නවාට වඩා ප්‍රාදේශයේ නිෂ්පාදනය කරන සත්ව ආහාර බහුලව භාවිත කරති. එවැනි සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක කළමනාකරුවකු පැවසුවේ බිත්තර නිෂ්පාදනය බිඳ වැටී ඇති බවයි.

“මම හිටපු ආයතනයත් පාඩු වුණා. මම ඒ ආයතනයට යනකොට සෝයා කිලෝවක් රුපියල් 120යි. දැන් 440යි. එතකොට කි.ග්‍රෑ. 50ක මිටියක් ගන්නත් රු. 20,000කට වැඩිය ඕන. සාමාන්‍යයෙන් කුකුල්ලු 1000ක් හදනකොට එක දවසකට කිලෝ 120ක් ඕන. කොරෝනා එන්න කලින් සත්ව කෑම කිලෝවක් හදන්න රුපියල් 80ක් වැයවුණා. කොරෝනා කාලේ රු. 100ක් වුණා. දැන් කෑම එක කිලෝවකට රු. 200ක් වියදම් වෙනවා. ඒ වුණාට කෑම ඉස්සර තරම් ප්‍රමිති නෑ. මොකද සෝයා, බඩඉරිඟු වගේ අමුද්‍රව්‍ය අඩුකරල තියෙන්නේ. ඒවා හොඳට තිබුණොත් තමයි බිත්තර ලැබෙන්නේ. ඒ හින්දා දැන් බිත්තර ඵලදාව 60%කට බැහැලා. මේකෙ පහර සැරටම වැදිල තියෙන්නෙ කුඩා ගොවියන්ට. විශාල ගොවියන්ට කෑම ගැටලුවක් නෑ. එයාලා කෑම ස්ටොක් කරගෙන ඉන්නේ.''

කුලියාපිටිය ප්‍රදේශයේ බිත්තර නිෂ්පාදනයේ නිරත ගොවියෙක් පවසන්නේ පැනවූ පාලන මිල අසාධාරණ තීන්දුවක් බවයි. “රජය කියන මිලට දුන්නොත් ලාභයක් නෑ. බිත්තර මිල හොඳටම වැටිල තිබ්බ දවස්වල ගොවියො ගොඩක් ණය වුණා. මෙහෙම ගියොත් ඒ ණය දීගන්න බැරි වෙනවා අන්තිම වෙනකම්. ගිය අවුරුද්දේ රටේම ගොඩක් බිත්තර කිකිලියෝ හිටියා. එකපාරට කුකුල් කෑම මිල වැඩිවෙලා පාඩු වෙනකොට 70%ක් විතර ගොවියෝ සත්තු ටික මසට දුන්නා. ගිය අවු‍රුද්දේ අපි ගණන් බැලුවේ අපේ ගමේ විතරක් කිකිළියෝ ලක්ෂ 10ක් විතර හිටියා. දැන් ඉන්නේ ලක්ෂ 03යි. මගේ යාළුවෝ ගොඩක් මේ රස්සාව කළා. දැන් ඒ හැමෝම රස්සාවෙන් ඉවත් වෙලා. දැන් ඉස්සරහට වෙළඳපළට බිත්තර එන්නෙ නැතිවෙයි. මෙහෙ ව්‍යාපාරිකයෙක් ඉන්නවා, ඔහු කිකිළියෝ ලක්ෂ 05ක් හදනවා. ඔහු තමයි වෙළඳපළට වැඩිම බිත්තර ප්‍රමාණයක් නිකුත් කරන්නේ. දෛනිකව බිත්තර ලක්ෂ 04ක් ඔහු දෙනවා. ඔහු ඉදිරි සති දෙකක් බිත්තර වෙළඳපළට නිකුත් කරන්නෙ නෑ. ගබඩා කරනවා. එතකොට ටික දවසකට බිත්තර හිඟයක් ඇති වේවි.''

මෙරට ජනතාවගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 30%ක් සපුරාගනු ලබන්නේ බිත්තරවලිනි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ ආහාරයට එළවළුවලට අමතරව ප්‍රෝටීන මූලාශ්‍රයක් වශයෙන් බිත්තර එකතු කරගනු ලබයි. නමුත් බිත්තර මිල ඉහළ යාම නිසා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සැපිරීම පිළිබඳව ගැටලුවකට දෙමාපියෝ මුහුණ පා සිටිති. වත්තල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන සෙව්වන්දි සමාරා මහත්මිය පවසන්නේ දෛනිකව සිය දරුවන්ට බිත්තර ලබාදීම පුරුද්දක් වශයෙන් කරගෙන ආවත් වර්තමානයේ මිල ගණන් නිසා බිත්තර ලබාදීමත් අසීරු වී ඇති බවයි. ප්‍රෝටීන මූලාශ්‍ර වන මස් හා මාලුවලට සාපේක්ෂව දැරිය හැකි මිලකට වෙළඳපළේ ලබාගත හැකිව තිබුණේ බිත්තර පමණි. නමුත් වත්මන් තත්ත්වය නිසා සුළු හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදන වැසීයාම හේතුවෙන් ඉදිරි කාලවල දරුවන්ගේ පෝෂණයට බරපතළ ගැටලුවක් ඇති වන බව නොඅනුමානය. ආහාර උද්ධමනය පිළිබඳ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ පස්වන ස්ථානයට පත්ව තිබීමෙන් පෝෂණයට එල්ල වී ඇති ඍණාත්මක බලපෑම මනාව විග්‍රහ කරයි.

බිත්තර මිල වැඩිවීම බේකරි සහ ආපනශාලා නිෂ්පාදන මිල වැඩි කිරීමට හේතු විය හැකි යැයි ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරුව අඟවා තිබේ. නිෂ්පාදන වියදම වැඩිවීම නිසා පහත වැටුණු බිත්තර නිෂ්පාදනය සහ වෙළඳපල ඉල්ලුම අතර තිබෙන පරතරයද මිල වැඩි වීමට හේතු වී ඇත. දැවැන්ත ව්‍යාපාරිකයන් දෙතුන් දෙනකුගේ වුවමනාවට කෘත්‍රිමව සිදුවන මිල වැඩිවීමක් නම් මේ සිදුවන්නේ සැබවින්ම එය නියාමනය කළ යුතුය. එසේ නොමැතිව මේ මිල වැඩිවීම සාධාරණ එකක් නම් පාරිභෝගික අයිතීන් වගේම බිත්තර නිෂ්පාදනය හා බැඳුණු ගොවීන්, බෙදාහරින්නන් සහ වෙළඳුන්ගේ අයිතීන්ද සුරුකීම රජයක වගකීමකි.

 සටහන - සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04