ඉස්සන් උඩින් තැබූ පරිප්පු වඩේ ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය ආහාර වර්ගයක් වන අතර වාර්ගික, ආගම් සහ සමාජ පන්ති භේදයකින් තොරව දේශීය ජනතාව එකමුතු කිරීමට ඊට හැකියාව ලැබී තිබේ.
දුම්රිය පේරාදෙණිය හන්දියේ දුම්රිය ස්ථානයේ නවත්වන්නට පටන් ගනිත්ම මට ඉදිරිපස වාඩිගෙන සිටි පුද්ගලයා කවුළුවෙන් එබී දෑඟිලි දෙතොල මත තබා විසිල් හඬක් නැගීය. ඒ වහාම වෙළෙන්ඳෙක් පිටතට පැමිණ, ඔහුගේ හිස මුදුනේ තිබුණු කූඩය එම මගියාට දුන්නේය. සැර සම්බෝලයක් සමඟ වඩේ ටිකක් පිටතට ගත් ඔහු එයට මුදල් දමා, අනෙක් මගීන් වෙත අතින් අත යැව්වේය. අවසානයේ වෙළෙන්දා එම කූඩය නැවත කවුළුවෙන් ලබා ගත්තේය.
කෝච්චිය ඉවතට ඇදෙද්දී, සියල්ලෝම නැවතත් තම අසුන්වල වාඩි වූ අතර, ඔවුන් මේ කන ලද්දේ ඉස්සෝ වඩේ බව මා දැනගත්තේ පසුවය. පරිප්පු වඩේවලට උඩින් නැවුම් ඉස්සන් දමා ගැඹුරු තෙලේ බැද සකසා තිබූ ඒවා හතරවටින්ම මුහුදෙන් වටවූ දූපත් රටකින් ඔබට රසවිඳිය හැකි රසවත්ම ආහාරය වනු ඇති බවට සැකයක් නැත.
ඉස්සො වඩේ ශ්‍රී ලංකාව පුරාම සිටින ජනතාව ප්‍රිය කරන ආහාරයක් වන අතර, එහි ජනප්‍රියත්වය සමහරවිට රටේ නිතර භාවිත වන අමුද්‍රව්‍ය වන ලූනු, කරපිංචා, තක්කාලි, අමුමිරිස් සහ දෙහි යුෂවලින් සැදුම්ලත් සැර සම්බෝලයකට පරිප්පු සහ ඉස්සන් සංයෝග වීම හේතු විය හැකිය.
ඒවා තදින් හැපෙන සුළු බව, සුවඳ සහ කුළුබඩු රසයෙහි පරිපූර්ණ සමතුලිතතාවයෙන් අනූන වේ. බොහෝ විට රුපියල් 50 සිට 150 දක්වා ගණනකින් මෙම වඩේ කිහිපයක් මිලදී ගත හැකි අතර මහජනතාවට එය මිල අඩු, රසවත් සංග්‍රහයකි.
සෑම සන්ධ්‍යාවකම, ඉන්දියන් සාගරය හරහා සැතපුම් ගණනක් ගමන් කළ මෘදු සුළඟ අවසානයේ ගොඩබිම හමු වී නගරය සිසිල් කරද්දී දහස් ගණනක් ජනතාව තම පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට මෙහි රුස්වෙන කොළඹ මුහුදු තීරයේ පිහිටි ගාලුමුවදොර දිගේ ඇති කරත්තවලද ඉස්සෝ වඩේ අලෙවි කෙරේ.
ඔවුහු නිදහසේ ඇවිදිමින්, එක් එක් ඉස්සො වඩේ කරත්ත පසු කරමින්, හොඳම වඩේ ඇත්තේ කා ළඟදැයි තීරණය කරති. සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ තෝරාගැනීම බවට පත්වන්නේ වැඩිම පිරිසක් සිටින කරත්තයයි.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා ‘වීදි ආහාර’ අවන්හල් ජාලයක් වන The Coconut Tree හි හිමිකරුවෙක් වන රශින්ත රොද්‍රිගෝ, ගාලුමුවදොර සිට ඉස්සෝ වඩේ කෑ ආකාරය සිහිපත් කරයි.
“මම යාළුවෝ එක්ක ගෝල්ෆේස් එකේ සරුංගල් සැණකෙළිවලට ගියාම අපි හැමෝම ඉස්සො වඩේ කනවා. කොච්චර කෑවත් ආසාව නැති වුණේ නැහැ. මම හිතන්නේ ගෙදර ඉස්සෝ වඩේ හදන්නේ නැති නිසා වෙන්න ඇති. ඒවාට ඇත්තටම ‘ස්ට්‍රීට් ෆුඩ්’ කියන්න පුළුවන්. මොකද ඒවා මිලදී ගන්න පුළුවන් පාරෙන් විතරයි."
ඉස්සො වඩේ දැන් සෑම වෙරළ තීරයකම, දුම්රිය ස්ථානවල හෝ මිනිසුන් එක්රුස් විය හැකි පොදු අවකාශයක විකුණනු ලැබුවද, ඒවාට ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සූප ශාස්ත්‍ර සංස්කෘතිය පිළිබඳ විශාල ඉතිහාසයක් තිබේ.
ගල්කිස්ස හෝටලයේ සූපවේදී පබ්ලිස් සිල්වා පවසන පරිදි පරිප්පු වඩේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ දකුණු ඉන්දියාවෙනි.
මෙය සිදුවන්නට ඇත්තේ 1796 සහ 1948 අතර ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති කාලයේ බවත්, තේ වතුවල වැඩ සඳහා ගෙන එනු ලැබූ දකුණු ඉන්දීය කම්කරුවන් ඒවා ගෙන එන්නට ඇති බවත් ඔහු පවසයි. මෙම කම්කරුවන් මධ්‍යම කඳුකරයේ පදිංචි වූ අතර පසුව කඳුකර දෙමළ ප්‍රජාව නමින් කුඩා ජනාවාස පිහිටුවා ගත්හ.
ශ්‍රී ලාංකික ආහාර බ්ලොග්කරුවෙක් වන අනෝමා විජේතුංග ද එය අනුමත කරයි. ඇය පැහැදිලි කරන පරිදි සාම්ප්‍රදායිකව වඩේ සකසන්නේ ඉන්දියාවේ වැවෙන මසූර් පරිප්පු (රතු පරිප්පු) අඹරා ගැනීමෙන් වන අතර එම බෝගය මෙරට වැවෙන්නක් නොවන බවය. එම නිසා, මෙය නිසැකවම සාගරය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණි දිව්‍යමය ආහාරයකි.
“දකුණු ඉන්දියාවෙන් ආපු කම්කරුවන් වඩේ සෑදීමේදී පමණක් පරිප්පු භාවිත කළා,” විජේතුංග පැවසීය.
“ඔවුන් කවදාවත් ඉස්සන් භාවිත කරන්නේ නැහැ. මේ ප්‍රජාව තවමත් වඩේ හදන්නේ එහෙමයි. පරිප්පු වඩේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වෙන්න ඇත්තේ මම හිතන විදියට මිනිස්සු ඒවා කෝච්චිවල විකුණන්න පටන් ගත්තාම වෙන්න ඇති. ඇත්තෙන්ම (දුම්රිය වෙළෙඳාමත්) ඉන්දියාවෙන් ආවේ. අද දක්වාම එය සිදුවෙමින් පවතිනවා."
කඳුකරයේ හැදී වැඩුණු සහ ශ්‍රී ලංකාවේ වතු ආශ්‍රිත තරුණ තරුණියන් සඳහා වූ අධ්‍යාපනික සංවිධානයක් වන The Tea Leaf Trust හි ප්‍රධාන කණ්ඩායම් කළමනාකාරිනිය ලෙස කටයුතු කරන ජෙස්මින් ආරුමුගම්, වසර ගණනාවක් පුරා සෑම හින්දු උත්සවයකදීම තම මව නිවෙසේ වඩේ සාදන ආකාරය සිහිපත් කරයි.
“ඇය ඉස්සෝ වඩේ හදපු වෙලාවල්වල අපි හැමදාම කන්නේ අමුමිරිස් චට්නියක් සහ රසම රස කිරි තේ කෝප්පයක් එක්ක,” ඇය ආදරයෙන් සිහිපත් කළාය.
පබ්ලිස් සිල්වා පවසන පරිදි ඉස්සෝ වඩේ ලංකාවට ආවේණික වන්නේ අඹරන ලද පරිප්පු මිශ්‍රණයට අමුමිරිස් සහ කරපිංචා එකතු කිරීමෙනි. කරපිංචා ඉන්දියාවේ වර්ධනය වුවද, ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් සෑම රසවත් කෑමකටම පාහේ යොදාගන්නා සුවිශේෂී, සුවඳවත් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි. මුහුදු ඉස්සන්ට වඩා දුලබ වුවද වඩේවලට මිරිදිය ඉස්සන් එකතු කිරීමට හේතුව ඒවායේ ඝනකම් බව හා ගැඹුරු තෙලේ බැදීමේදී වඩා හොඳින් ඔරොත්තු දීමය. එසේම සාමාන්‍ය පරිප්පු වඩේ එකකට වඩා ඉස්සන් උඩින් තැබූ විට පෙනුම ද වැඩි වේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මිරිස් භාවිත කරන්නේ බොහෝ විට වර්ණ ගැන්වීම සඳහා බවයි.
“ශ්‍රී ලාංකිකයන් දිවයිනට හඳුන්වා දුන් සෑම විදේශීය ආහාරයක්ම අනුවර්තනය කර තිබෙනවා. අපි අපේම අනන්‍යතාවය ඒවාට මුසු කරන්න කැමැතියි,” ඔහු පැවසීය.
“ඒ වගේම අපි අතින් කන ජාතියක්, ඒ නිසා ඉස්සෝ වඩේවල [පරිප්පු නිසා ඇතිවන] කටුක රස ශ්‍රී ලාංකිකයන්ට ඉතා ප්‍රියජනක එකක්. සවස් වරුවේ එළිමහනේ වාඩි වී මිතුරන් හා අසල්වැසියන් සමඟ කතාබස් කරන සංස්කෘතියක් අපට තිබෙනවා. එතකොට අපට හපන්නට යමක් විදියට වඩේ වැදගත් වෙනවා."
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථික අර්බුදයකය. ආහාර මිල ඉහළ යාම සහ වීදි ආහාර සඳහා වැඩි මිලක් නොගෙවන පාරිභෝගිකයන්ට ඉහළ මිලක් කීමට විකුණුම්කරුවන්ට නොහැකි වීමත් සමඟ, බොහෝ ඉස්සො වඩේ වෙළෙන්ඳන්ගේ ලාභය අඩු වී ඇත. බොහෝ දෙනා විකල්ප ආදායම් මාර්ග වෙත යොමුවන අතර, ඇතැමුන් තවදුරටත් එහිම රැඳී සිටින බවට පවසයි.
ගාලුමුවදොර වඩේ වෙළෙන්ඳෙකු වන මානි, 1965 සිට ඔහුගේ වීදි ආහාර කරත්තය සමඟ කුඩා නගරයක්ව පැවති කොළඹ නොසන්සුන් අගනුවරක් බවට පරිවර්තනය වන ආකාරය දුටු අයෙකි.
“මම ගෙදර ඉඳන් ඉස්සෝ වඩේ හදලා විකුණලා මගේ පවුල නඩත්තු කරන්න පටන් ගන්නකොට මට යන්තම් අවුරුදු 13යි. දැන් වියදම් බැලුවම මාසෙකට අපිට ලැබෙන්නේ පොඩි ලාභයක් විතරයි. ඒත් මම කවදාවත් වෙන වෙළෙඳාමක් ගැන හිතන්නේ නැහැ. මොකද ගෝල්ෆේස් එකට එන අය ගන්නේ මගෙන්ම විතරයි. වෙන කොහෙන්වත් කන්නේ නැහැ. ඒක ආඩම්බර වෙන්න ඕන දෙයක්." ඔහු කීවේය.
ඩේමි පෙරේරා විසින් BBC TRAVEL වෙත සම්පාදිත ලිපියකි.