නිහාල් සඟබෝ ඩයස් චිත්‍ර හා මූර්ති ශිල්පියෙකි. මෙරට පමණක් නොව විදෙස් රටවල් බොහෝමයක තම ඒකපුද්ගල චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන කිහිපයක්ම පැවැත්වූ දෙස් විදෙස් ජනතාවගේ ආදරය දිනාගත් කලාකරුවෙකි.
සඟබෝ දකුණු පළාතේ උපන් කලාකරුවෙකි. ගාල්ලේ උපත ලද සඟබෝ උපතින් කතා කිරීමේ හැකියාව අහිමි දරුවෙක් විය. නමුත් කිසිම වෙලාවක සඟබෝ තම අහිමි කටහඬ වෙනුවෙන් හඬා වැටුණේ නැත.
සඟබෝගේ පවුලේ වැඩිමහල් සහෝදරයන් හතර දෙනෙකි. එක් නැගණියකි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. මව ගුරුවරියකි. නමුත් දරුවන්ගේ වැඩකටයුතු නිසා ඇය තම රැකියාවෙන් සමුගත්තාය. එතැන් සිට ඇයගේ ලෝකය වූයේ තම දරුවන්ගේ වැඩ කටයුතුත් සමඟ දවස ගෙවා දැමීමටය.
"මගේ අයියලා මල්ලිලා ඔක්කොම හොඳට කතා කළා. ඒත් ඒ කිසිම දෙයක් පුංචි කාලේ මට ඇහුණේ නැහැ. මට ඒ අය එක්ක කතා කරන්න පුළුවන් වුණෙත් නැහැ. මම ඒ අයගේ කටවල් දිහා බලාගෙන හිටියා. ඒ කටවල් හෙලවෙන විදිහ දැකලා ඒ කාලේ මම පුදුමවෙලා බලාගෙන හිටියා. ඒ කාලේ අපේ අම්මට පුංචිම කාලේ මට කතා කරන්න බැහැ කියල තේරිලා තිබුණේ නැහැ. අයියලා ළදරු පාසල් අධ්‍යාපනයට යද්දී මට කතාකරන්න බැහැ කියලා මගේ දෙමව්පියෝ තේරුම් අරගෙන තිබුණා. අයියලා මල්ලිලා පාසල් යද්දී මට ගෙදරට වෙලා ඉන්න සිදුවුණා. මගේ හෙවණැල්ල වගේ හිටියේ මගේ අම්මයි.
සඟබෝ තම අදහස් අපිට පැවසුවේ හස්ත භාෂාවෙනි. ඔහුගේ ඒ අදහස් අපිට වචනවලට පෙරලුවේ ඔහුගේ ආදරණීය බිරිඳ සුජානිය. කුඩා කාලයේදී සඟබෝගේ හෙවණැල්ල වූයේ ඔහුගේ මවය. අද සඟබෝගේ සෙවනැල්ල වන්නේ ඔහුගේ බිරිඳය.
තම සහෝදරයන් පාසල් යද්දී සඟබෝ මවගේ තුරුලේ හිඳ හස්ත භාෂාවෙන් හිතේ හැටියට කතා කළේය. ඔහු ගහකොළට, සතා සිව්පාවුන්ට අසීමිතව ආදරය කළේය. තම නිවෙස අසල ඇති කුඩා ජල වගුරේ සිටි පාට පාට මාළුන් අල්ලා සඟබෝ කුඩා වීදුරු බෝතල්වලට දමා නිවෙසට රැගෙන ආ හැටි අදටත් මතකය. එපමණක් නොව තම මව මුළුතැන්ගෙයි ආහාර පිසිද්දී කුඩා සඟබෝ ජල වගුරෙන් වතුර ගෙන මැටි අනා විවිධ හැඩතල ඇති රෑප ඇඹුවේය. දින කිහිපයක්ම "මඩ අල්ලන්න එපා" යැයි පවසමින් මව සඟබෝව අතින් ඇද නිවසට ගෙන ගියද සඟබෝට තිබුණු ආසාව අඩුවුණේ නම් නැත.
"මගේ ලෝකය වුණේ ඒකයි. අයියලා එක්ක සෙල්ලම් කරන්න මට ඒ තරම් අවස්ථාව ලැබුණේ නැහැ. මම තනියම හැදුණු ළමයෙක්. දවසක් තාත්තා පාසල් ඇරී ගෙදර එද්දී මඩ අතේ ගාගෙන මම කරපු රූපයක් දැකලා පුදුම වුණා. "එයාට එහෙම කරන්න දෙන්න" කියල තාත්තා අම්මට කියල තිබුණා. සමහරවිට එදා තාත්තාට මගේ යම් හැකියාවක් දැනෙන්න ඇති. මම පුංචි කාලේ ඉඳන් චිත්‍ර අඳින්නත් හරි ආසයි. ඉස්සර දත් මැදපු අඟරු කෑල්ලක් අරගෙන මම බිත්තිය පුරා රූප ඇන්දා. ඒ හැම දෙයක්ම මගේ හිතේ ඇඳුණු රූපයි. දවසක් මම බුදු හාමුදුරුවන්ගේ පින්තූරයක් ඇන්දා. ඒක තවම මගේ ඔළුවේ මතකේ තිබෙනවා. ඒ පින්තූරය දැකපු තාත්තා පුදුම වුණා. පහුවදාම තාත්තා මට චිත්‍ර කොළ, පාට පැන්සල් ගොඩක් ගෙනත් දුන්නා. භාෂා දැනුමක් ඒ කාලේ නැති මට ඒවා ඉල්ලන්නවත් තේරුමක් තිබුණේ නැහැ. එදා සිට මම චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒක තමයි මගේ කලා ජීවිතේ ආරම්භය කියලයි මට හිතෙන්නේ."
සඟබෝ තම හස්ත භාෂාවෙන් අපට ඒ අතීත කතාව පෙළගැස්වීය.
සඟබෝ පාසල් අධ්‍යාපනය ලැබුවේ හලාවත මහවැව සිවරාජ විදුහලෙනි. එය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අධ්‍යාපනය ලැබූ පාසලකි. කැලණි විහාරයේ චිත්‍ර ශිල්පි සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර සඟබෝගේ නෙත ගැටෙන්නේ මේ කාලවකවානුවේය.
"අපේ පාසලට ළඟම ගෙදරක සෝලියස් සර් එයාගේ ගෝලයෙක් එක්ක චිත්‍ර අඳිනව මම බලාගෙන ඉඳලා තියෙනවා. මම ජනේලෙන් හොරෙන් බලාගෙන ඉඳිද්දී විදුහල්පතිතුමාට හසුවෙලා දඬුවම් කරපු වෙලාවල් තිබුණා. ඒ කාලේ එතුමා බල්ලෝ ගොඩක් හැදුවා. විදුහල්පතිතුමා කොච්චර දඬුවම් කළත් මම ඒ චිත්‍ර අඳින දිහා බලන එක නතර කළේ නැහැ. ඒ පාසලේ මම අවුරුද්දක් ඉගෙන ගත්තා." සඟබෝ චිත්‍රවලට තම ඇල්ම වැඩිවූ ඒ අතීතය මතක් කරද්දී එය අපිට තේරුම් ගන්නට උදව් කළේ සුජානිය.
හලාවත මහවැව සිවරාජ විදුහලේ ඉගෙනුම ලබන සඟබෝට මාතර ආරම්භ වුණ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණි. ඒ පාසලට ඇතුළත් වූ මුල්ම දරුවා ලෙසිනි. පන්සලේ නතරව සඟබෝ පාසල් අධ්‍යාපනය ලැබුවේය. ටික කාලයක් යනතුරුම පාසලේ සිටි එකම දරුවා සඟබෝ වූ අතර පාසලේ සේවය කළේද එකම ගුරුවරයෙක් පමණි. ටික කාලයකට පසුව තව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පාසලට ඇතුළත් වූ අතර ඒ සැමට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූයේද නිහාල් සඟබෝ ඩයස්ය.
කුඩා කළ සිටම මූර්ති කලාව, චිත්‍ර කලාවට දස්කම් පෑ සඟබෝ පාසල් අධ්‍යාපනය තුළින් මෙම කලාව වැඩිදුරටත් ඉගෙන ගත්තේය. ඔහු පාසලේ චිත්‍ර ගුරුතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ තම පළමු චිත්‍ර ප්‍රදර්ශනය පාසලේදී පැවැත්වීය. එයින් ඔහුට ලලිත කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් හිමිවිය. එය ඔහුගේ ජීවිතයට ලැබුණ විශාල ජයග්‍රහණයකි. මාතර සිට කොළඹ තම පියා සමඟ පැමිණි ගමනද ලෙහෙසි පහසු වූයේ නැත. එවකට රජයේ ලලිත කලායතනය වුණ එහි ගොළු ශිෂ්‍යයකු ලෙසින් ඇතුළත් වූ පළමු ශිෂ්‍යයා වූයේද නිහාල් සඟබෝ ඩයස්ය. කොළඹට තම පියා සමඟ පැමිණි සඟබෝට තම පියා කොළඹ නගරය පෙන්වූ හැටි අදටත් ඔහුට මතකය. කලායතනයට යන බස්රථය ආදිය සම්බන්ධයෙන් සියලු මඟපෙන්වීම් සඟබෝට කියලා දුන්නේය. ලලිත කලායතනයේ තම මිතුරන්ගෙන්ද සඟබෝට විශාල සහයෝගයක් ලැබුණි. අතපසු වුණ පිටපත් සටහන් කර ගත්තේද තම මිතුරන්ගේ පොත්පත් බලාය. සෑම සිකුරාදාම සඟබෝ පොත්පත් රැගෙන ගාල්ල තම නිවසට ගියේය. සති අන්තයේ සඟබෝගේ ගුරුවරිය වූයේ තම මවය.
කුඩා කල සිටම සඟබෝ සමඟ හරි අපූරු හස්ත භාෂාවක් සඟබෝගේ මව ඉගෙන ගත්තාය. ඇය තම පුතණුවන් සමඟ කතාබහ කළේ ඔහුටත්, ඇයටත් ආවේණික වුණ හස්ත භාෂාවෙනි. සඟබෝගේ මව සඟබෝගේ පොත්පත් කියවා එය තම හස්ත භාෂාවෙන් සඟබෝට නැවත නැවතත් කියවා දුන්නාය. කුඩා කල සිටම තම මවට ආවේණික හස්ත භාෂාවෙන් තම උසස් අධ්‍යාපනයට රුකුලක් වුණු ඒ අතීතය අදටත් සඟබෝ මතකයට එක් කරන්නේය. වසර දෙකක් ලලිත කලා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සඟබෝ එයින් පිටවන්නේ චිත්‍ර ගුරුවරයකු ලෙස පත්වීමක් ලබමිනි. වසර දෙකක් ගුරුවරයකු ලෙස සේවය කළ නිහාල් සඟබෝ ඩයස් කොළඹ මහ නගර සභාවේ චිත්‍ර ශිල්පියෙක් ලෙසින් වසර ගණනාවක් සේවය කළේය.
ඔහුගේ ආදර කතාව ඇරඹෙන්නේ කොළඹ මහ නගර සභාවේ සේවය කරන අතරතුරේදීය. ඒ වෙද්දී ඔහුගේ මව ඇතුළු සහෝදර සහෝදරියන් සඟබෝට සුදුසු සහකාරියක් සොයන කාලයයි. "මට ගොළු බිහිරි ගෑනු ළමයෙක් නම් හොයන්න එපා" සඟබෝ තම මවට කියා තිබුණේ එලෙසිනි.
"මම හිටියේ කඩුවෙල. සඟබෝ ඒ කාලේ හිටියේ මාලිගාවත්තේ. මගේ පුංචි අම්මා මාලිගාවත්තේ හිටියා. පුංචි අම්මගේ දුවලයි, සඟබෝගේ යාළුවෙකුයි ඒ කාලේ හරි යාළුවෝ. ඒ යාළුකමට ඒ නංගිලාත් සඟබෝ එක්ක කතාබහ කරලා තිබුණා. දවසක් නංගිලා මට සඟබෝ ගැන කිව්වා. එයාගේ චිත්‍ර ගැන කිව්වා. මටත් සඟබෝ දකින්න ආසා හිතුණා. කොහොම හරි දවසක් සඟබෝ මගේ ගෙදර ලිපිනය නංගිලාගෙන් ඉල්ලාගෙන යාළුවෙක් එක්ක බයිසිකලෙන් අපේ ගෙවල් පැත්තට ආවා. ඒ වෙද්දී අපි දෙන්නගේ ෆොටෝ දෙකකුත් හුවමාරු වෙලයි තිබුණේ. සඟබෝව දැක්ක ගමන් මට පුදුම සතුටක් දැනුණා. එදා සඟබෝ හස්ත භාෂාවෙන්වත් මගේ එක්ක කතා කළේ නැහැ. එයාගේ යාළුව තමයි මාත් එක්ක කතා කළේ..." යැයි සුජානි ඔවුන්ගේ ආදර කතාවේ මතකය අවදි කළේය.
"මගේ පවුලේ අයියලා තුන්දෙනයි, මල්ලියි. මම එකම ගැහැණු ළමයා. අපේ සම්බන්ධය දැනගත්තට පස්සේ මගේ ගෙදරින් මේ සම්බන්ධයට අකමැති වුණා. මුලින් අපි දෙන්නා අපෙ අදහස් හුවමාරු කරගත්තේ අතේ ලියලයි. අතේ ලියනවා. මකනවා. ආයේ ලියනවා. ඒ කාලේ හරි අපූරුයි. ගෙදරින් කොච්චර අකමැති වුණත් මම සඟබෝව අත්හරින්න කැමැති වුණේ නැහැ. කතා කරන්න බැරි, "ආදරය" කියල කනට ඇහෙන්න කියන්න බැරි කෙනෙක්ව කසාද බඳින්නේ කොහොමද කියලයි අයියා මගෙන් ඇහුවේ. ඒත්...මම ඒක නතර කළේ නැහැ. අපි දෙන්නා විවාහ වෙනතුරු ගෙදරින් කැමැති වුණේ නැහැ. නමුත් විවාහයෙන් පස්සේ මගේ ගෙදරින් සඟබෝට කැමැත්ත දුන්නා." යැයි සුජානි ඒ ආදරේ ජයගත් අන්දම පැවසුවාය.
එතැන් සිට සඟබෝගේ ජීවිතේ සෙවණැල්ල වූයේ සුජානිය. ඔහුගේ සෑම ජයග්‍රහණයක්ම ලැබුවේ ඇගෙන් ලැබුණු සහයෝගයෙනි. අද ඔවුන් දරුවන් දෙදෙනකුගේ දෙමව්පියෝය. වැඩිමහල් පුතණුවන් මේ වෙද්දී ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පියෙකි. දියණිය නීති පීඨයේ අවසන් වසරේ සිසුවියකි. අද දරු දෙදෙනාගේ ලෝකය දැක සඟබෝ අප්‍රමාණ සතුටු වන්නේය. මේ වෙද්දී සඟබෝ ලංකාවේ පමණක් නොව ජර්මනිය, නෙදර්ලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක තම චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත.
"දැන් අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දරුවන් දෙන්නා ගැන අපි ගොඩක් සතුටුයි. මම තනියම හිටිය නම් මේ තරම් දුරක් මට එන්න ලැබෙන්නේ නැහැ. මගේ බිරිඳව මුණගැසුණාට පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා. එයා නිසා මම බයනැතිව ඉස්සරහට යනවා." ඒ සඟබෝගේ අදහසයි.
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ