රාජ්‍ය සේවකයන්ට නිසි පරිදි සේවය කළ නොහැකි නම් සේවයෙන් ඉවත්ව යන ලෙස පසුගිය සතියේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ රාජ්‍ය සේවකයන් ස්වකීය රාජකාරි විධිමත්ව ඉටු කළ යුතු අතර එසේ කළ නොහැකි අය සේවයේ තබාගත නොහැකි බවය. තමා වුවද යම් රාජකාරියක නිරත වෙමින් සිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවකුත් නිකම් තබාගෙන වැටුප් ගෙවිය නොහැකි බව පැවසුවේය.
මේ වනවිට ලක්ෂ 15කට අධික වන රාජ්‍ය සේවකයන් රටට බරක් වී ඇති බව බොහෝ දෙනාගේ අදහස වේ. මේ රාජ්‍ය සේවක බරෙන් රට නිදහස් කර ගන්නේ කෙසේද යන්න ගැටලුවක් බවට පත්ව තිබේ. රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම සඳහා මුදල් නෝට්ටු ට්‍රිලියන ගණන් මුද්‍රණය කිරීමට සිදුවූ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩුකිරීමට මෙන්ම සිටින අයගෙන් වැඩ ගැනීම රජයට බරපතළ ගැටලුවක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩුකිරීමේ එක් පියවරක් ලෙස ඔවුනට වසර පහක උපරිමයට යටත්ව විදේශවල සේවය කිරීමට වැටුප් රහිත නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. මෙම නිවාඩුව ඔවුන්ගේ සේවා කාලයට සහ විශ්‍රාම වැටුපට බලනොපාන බවද ප්‍රකාශ කෙරේ. මෙතෙක් කල් රාජ්‍ය සේවකයන්ට විදේශ රුකියා සඳහා යාමේදී රජය විවිධ බාධක යොදා තිබුණද මේ වනවිට ඔවුන් ඒ සඳහා උනන්දු කරවන ස්වරෑපයක් දක්නට ලැබෙන්නේ රාජ්‍ය සේවයේ බර සැහැල්ලු කිරීමේ එක් පියවරක් වශයෙනි.
ඒ අතර රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් මේ වනවිට මුළුමනින්ම නවතා දමා ඇති අතර එවැනි බඳවා ගැනීම් සඳහා සැලසුම් කර තිබූ විභාග සහ සම්මුඛ පරීක්ෂණ ආදිය ද තාවකාලිකව නවතා ඇත. ජනාධිපතිවරයා ද පවසන පරිදි අද අවශ්‍යව ඇත්තේ රාජ්‍ය සේවකයන් අලුතින් බඳවා ගැනීම නොව සිටින අයගෙන් උපරිම සේවයක් ලබාගැනීමය. පසුගිය වසර දෙක තුළ උද්ගත වූ කොවිඩ්-19 අර්බුදය නිසා රාජ්‍ය සේවකයන් වැඩි දෙනකුට රාජකාරි ස්ථානවල වාර්තා කිරීමට නොහැකි විය. ඊට පසු ඇතිවූ පාලනයේදී මුහුණ පාන්නට සිදුවූ ඉන්ධන අර්බුදය සහ ගමනාගමනය බිඳවැටීම නිසා රාජ්‍ය සේවකයන්ට දිනපතා රාජකාරියට වාර්තා කළ නොහැකි වූ අතර සතියේ වැඩ කරන දින සංඛ්‍යාව දින තුනකට පමණක් සීමා කරන්නට සිදුවිය. ඇතැම් රාජ්‍ය සේවකයන්ට ගෙදර සිට වැඩ කිරීමේ (Work from home) ක්‍රියාමාර්ගයක් දියත් වූ අතර ඔවුන්ට ගෙදර සිටම මාර්ගස්ථ ක්‍රමය (Online) යටතේ රාජකාරි කිරීමට පහසුකම් සැලසිණ.
මේ ආකාරයෙන් රාජකාරියට පැමිණීමට අපහසු වීම සහ නිවෙසේ සිට වැඩ කිරීමට හැකිවීම නිසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව බොහෝ සේ පහළ බැස්ස අතර ජනතාවට ස්වකීය අත්‍යවශ්‍ය කටයුතු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවිය. මේ දක්වා පැවැති තත්ත්වය නිසා රාජ්‍ය සේවකයන්ගෙන් නිසි සේවයක් ලබාගැනීම උගහට වූ බව පැහැදිලිය. එහෙත් මේ තත්ත්වය ක්‍රමයෙන් මගහැර ගිය අතර අගෝස්තු මස 25 දින සිට සාමාන්‍ය රාජකාරිවල නිරත වන ලෙසට මහා භාණ්ඩාගාරයෙන් උපදෙස් නිකුත් කර තිබේ.
අපේ රටේ රාජ්‍ය සේවය ගැන සලකා බලන විට අතීතයේ සිටම රාජ්‍ය සේවකයාගෙන් නිසි පරිදි සේවයක් ලබාගැනීමට නොහැකි වූ බව කිව යුතුව තිබේ. කාර්යාල සේවය පැය අටකට නියම කර තිබුණද පැය අටක් තබා හතරක්වත් රාජ්‍ය සේවකයකුගෙන් සේවය ලබාගැනීම දුෂ්කර විය. එයට හේතුව ඇතැමුන් වුවමනාවෙන්ම නිසි පරිදි රාජකාරි නොකිරීම මෙන්ම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අවම වීමය. පෞද්ගලික අංශයේ මෙන්ම බැංකුවල සේවය කරන සේවකයන්ට වඩා රාජ්‍ය සේවකයන්ගෙන් සිදුවූයේ අඩු සේවයකි. රාජ්‍ය සේවයේ සේවා ඉලක්ක ක්‍රියාත්මක නොවන අතර වුවමනා නම් වැඩ කිරීමට අකැමැති නම් නොකර සිටීමටද නිදහස ලැබිණ. රාජකාරි ප්‍රමාදය ගැන ඉහළින් ප්‍රශ්න කිරීම අඩු වූ අතර එවැනි අවස්ථාවල විවිධ හේතු ඉදිරිපත් කර ලිස්සා යාමට ඇතැම් රාජ්‍ය සේවකයන්ට ඉඩ සැලසී තිබුණි. එසේම රාජ්‍ය සේවයේ වැටුප් මට්ටම පෞද්ගලික අංශයට වඩා අඩු වූ අතර රාජ්‍ය සේවයට එක්වූයේ වැඩි වැටුපකට පෞද්ගලික අංශයේ සේවයට යාමට අපොහොසත් වූ සේවකයන් බවද පෙනෙන්නට තිබුණි. ඔවුන් මෙලෙස අඩු වැටුපකට රාජ්‍ය සේවයට බැඳුණේ වැඩ අඩුවෙන් කර නිදහසේ සිටීමට මෙන්ම තමන්ට කවදා හෝ හිමිවන විශ්‍රාම වැටුප් වරප්‍රසාදය ගැන සලකමිනි. එවැනි අයගෙන් කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු විය නොහැකි වීම සාධාරණය.
එසේම රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට දේශපාලන මැදිහත්වීම්ද බොහෝ සේ හේතු වූ අතර දේශපාලනඥයන්ගේ පිහිටෙන් රාජ්‍ය සේවයට බැඳුණු ඇතැම් පිරිසක් රාජකාරි කළේ මහජනතාව වෙනුවෙන් නොව තමන්ට රුකියාව දුන් දේශපාලනඥයා සතුටු කිරීමටය. ඒ නිසා රාජ්‍ය සේවයට අදාළ විවිධ නීති රීති සහ චක්‍රලේඛ තිබුණද, ඒවා ක්‍රියාත්මක නොවුණු අතර ඒ සියල්ල අභිබවමින් දේශපාලන ඌෂ්ණය පැතිර ගියේය. මෙවැනි රාජ්‍ය සේවකයන් අල්ලසට හා දූෂණයට නැඹුරු වීම නිසා රාජ්‍ය සේවයට කළු පැල්ලමක් එකතු විය. සේවකයන් ලෙස නිවාඩු ලැබීමද රාජ්‍ය සේවය දුර්වල කිරීමට තවත් හේතුවක් විය. ඔවුන්ට විවිධ විදියේ නිවාඩු වරප්‍රසාද ලැබුණු අතර සාමාන්‍යයෙන් වසරේ දින 365න් 1/3ක ප්‍රමාණයක් නිවාඩු ලබාගැනීමේ නිදහස ඔවුන්ට ලැබී තිබේ.
රාජ්‍ය සේවකයන්ට වසර පහක් විදේශවල සේවය කිරීමට අවසර දෙමින් නිකුත් කළ චක්‍රලේඛයට ඌණ ප්‍රේරණයක් පසුගිය සතියේ මුදල් අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් සිදු කර ඇත. එයින් පැවසෙන්නේ රාජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවීමෙන් පසුව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් මෙරටට මාසිකව එවීම අනිවාර්ය බවයි.
මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවක බර අඩුකිරීම සමගින් ඔවුන්ගෙන් රටේ ඩොලර් හිඟයට විසඳුමක් ලබාගැනීමට බව පැහැදිලිය.
රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩුකිරීමේ රජයේ සැලැස්ම මෙන්ම ඔවුන් කාර්යක්ෂම කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති රංජිත් ආරියරත්න පවසන්නේ රාජ්‍ය සේවකයන් කිසිවිටකත් පින් පඩි ලබන නිලධාරීන් නොවිය යුතු බවය.
''ආරක්ෂක අංශ ඇතුළුව අද රාජ්‍ය සේවකයන් ලක්ෂ 17ක් පමණ සිටිනවා. කවුරු මොනවා කිව්වත් ජනතාවගේ උපතේ සිට මරණය දක්වා රාජ්‍ය සේවකයන්ගෙන් ලැබෙන සහාය අපමණයි. ජනතාවට අවශ්‍ය නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය, ගමනාගමනය, ආහාර නිෂ්පාදනය, මූලික අවශ්‍යතා ඉටුකිරීම ආදී විවිධ අංශවලට රාජ්‍ය සේවය ඍජුවම සම්බන්ධයි. රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙන්ම මහජන ආරක්ෂාව ලබාගැනීමේදී නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමේදී රාජ්‍ය සේවය විශාල කාර්යභාරයක් ඉටු කරනවා. රාජ්‍ය සේවකයන්ගෙන් අතළොස්සකට අකාර්යක්ෂමය ආදී වශයෙන් චෝදනා එල්ල වුවත් සමස්ත සේවකයන්ගෙන් වැඩි කොටසකින් ජනතාවට ලැබෙන සේවය අපමණයි.
කාර්යක්ෂම හා විධිමත් රාජ්‍ය සේවයක් තිබීම රටේ ආර්ථික සංවර්ධනයට මහෝපකාරී වෙනවා. පසුගිය සමයේ රාජ්‍ය සේවකයාට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණා. කොවිඩ්-19 පැතිරෙන සමයේදී රාජ්‍ය සේවකයාට තම සේවා කාලය ගැන නොසලකා දිගටම සේවය කිරීමට සිදු වුණා. නිසි වෙලාවට ආහාර ගැනීමට පවා අවස්ථාවක් ලැබුණේ නැහැ. මාස ගණන් නිවෙස්වලට නොගොස් එකදිගටම වැඩ කළ අය ගැන වාර්තා වුණා. රාජ්‍ය සේවකයාගේ කැපවීම නැතිවුණා නම් අද පවතින තත්ත්වයට රට සාමාන්‍යකරණයට පත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් තෘප්තිමත් කිරීම පාලකයන්ගේ යුතුකමක් සහ වගකීමක්. ඔවුන් තෘප්තිමත් නොකර බලයෙන් වැඩ ගන්න බැහැ. රාජ්‍ය සේවකයන් යනු පින් පඩි ලබන අය නොවෙයි. රාජ්‍ය සේවකයා කැමැති නැහැ නිසි රාජකාරියක් නොකර වැටුප් ලබන්න.''
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න පවසන්නේ රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධික බවයි. මුළු රාජ්‍ය සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණ සමන්විත වන්නේ කම්කරු, රියැදුරු සහ පහළ ශ්‍රේණිවල සේවකයන්ගෙන් බව ඔහු කියයි.
''මේ බොහෝ අය බඳවාගෙන ඇත්තේ විධිමත් ක්‍රමයෙන් බැහැරවයි. බොහෝ වෙලාවට දේශපාලන බලපෑම් තිබිය හැකියි. පසුගිය අවස්ථාවේදී ඇබෑර්තු නොමැතිව උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගත්තා. ඔවුන් බොහෝ දෙනකුට නියමිත රාජකාරියක් නැහැ. රාජකාරියක් කර නොගෙන වැටුප් ගෙවනවා. නිශ්චිත තනතුරක් ඒ අයට නැහැ. මෙය විශාල හානියක්.
ඇතැම් සංස්ථා සහ මණ්ඩලවලට සිටින කාර්ය මණ්ඩල ගැන නොසලකා අධිකාරි විසින් සේවකයන් බඳවාගෙන තිබෙනවා. මේ නිසා අර්ධ රාජ්‍ය සේවයේද, රාජ්‍ය සේවයේද අතිරික්තයක් ඇතිව තිබෙනවා.''
ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ ජාතික සංවිධායක අශෝක පීරිස්:
''රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ප්‍රකාශ කරනවා රාජ්‍ය සේවකයන් මේ වනවිට ලක්ෂ 16ක් සිටින බව. ඔහු කියන්නේ මෙයින් 1/3ක් අඩු කළ හැකි නම් රාජ්‍ය සේවය කාර්යක්ෂම කළ හැකිය කියලයි. අද රාජ්‍ය සේවයේ බොහෝ කොටසක් පළපුරුද්දක් නැති අය. ඔවුන්ට මූලික සුදුසුකම් පවා නැහැ. එහෙම බඳවා ගැනීමට අපේ දේශපාලනඥයන් සම්බන්ධයි. ඒ අයගේ බලපෑම නිසා තමා අතිරික්ත සේවකයන් බඳවාගෙන ඇත්තේ.
2016-11-14 දින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් පිළිබඳව සංගණනයක් කරලා තිබෙනවා. ඒ අනුව සමස්ත සේවක සංඛ්‍යාව එකොළොස් ලක්ෂ නවදහස් හාරසිය තිස්පහක් (11,09435) වෙනවා. මෙම සංඛ්‍යාව 2019 අග වනවිට දාහතර ලක්ෂ හැටහත් දහසක් (14,67000) බවට පත්වෙලා තියෙනවා. 2020 වනවිට පහළොස් ලක්ෂ විසිඅට දහසක් (15,28000) දක්වා වැඩිවෙලා 2022 වනවිට ලක්ෂ 16 ඉක්මවා යන තත්ත්වයට පත්වෙලා ඇති බව පැවසෙනවා. මෙය හැටඑක් දහසකින් වැඩිවීමක්. මෙම වැඩිවීම සිදුව ඇත්තේ තොග පිටින් බඳවා ගැනීම නිසයි. එහෙම කළේ දේශපාලන බලපෑම් නිසයි. ඉහළ තනතුරුවලට බඳවා ගැනීමේ විධිමත් ක්‍රමයක් තිබෙනවා. එයට දේශපාලකයන්ට බලපෑම් කළ නොහැකියි. ඒ නිසා දේශපාලකයන් බඳවා ගන්නේ කම්කරු, රියැදුරු, සහායක වැනි පහළ තනතුරුවලටයි.
රාජ්‍ය සේවයේ විධිමත් බඳවා ගැනීම් අනුව 35%ක් උසස් පෙළ සමත් අය වන අතර 67%ක් පරිගණක දැනුම තිබෙන අයයි. 38%ක් අන්තර්ජාලය සම්බන්ධ දැනුම ඇති අයයි. ඒ අනුව අපේ රාජ්‍ය පද්ධතිය ඉහළ මට්ටමක තිබෙනවා. මේ අයට අකාර්යක්ෂමයි කියලා කියන්න බැහැ. එහෙම කියන්න වෙලා තියෙන්නේ මේ අවිධිමත් බඳවා ගැනීම් නිසයි. රාජ්‍ය සේවය කියන තරම් නරක නැහැ. රට මේ තරම් හෝ පවත්වාගෙන යන්නට හැකිව තියෙන්නේ රාජ්‍ය සේවය නිසයි. ඒ නිසා අකාර්යක්ෂමයි දූෂිතයි කියලා සමස්ත රාජ්‍ය සේවයට දෝෂාරෝපණය කිරීම වැරදියි.
ජනාධිපතිතුමා දැන් කියනවා රාජ්‍ය සේවකයන් ගෙදර නැවතිය යුතුය කියලා. සේවයක් නොකරනවා කියලා දෝෂාරෝපණය කරනවා. මෙහිදී බඳවා ගත් තරුණ තරුණියන්ට දෝෂාරෝපණය කිරීම හරිද? වැරදිකරුවන් ඔවුන්ද? වැරදිකරුවන් වන්නේ රැකියාවට පැමිණි අය නොවෙයි. ඔවුන් බඳවාගත් දේශපාලනඥයනුයි.''
යසවර්ධන රුද්රිගූ