මේ දිනවල බොහෝදෙනා අමතර ආදායම් සොයා අන්තර්ජාලය වෙත යොමුව සිටිති. එතැනත් ලෙහෙසියෙන් මුදල් සෙවීමට ඇති උපක්‍රම සොයමින් යන අයට මඟහැරී ඇති අපූරු ආදායම් මඟක් ලෙස “බ්ලොග්” හෙවත් ස්වයංනිර්මාණ ලේඛන ඇතුළත් වියුණු අඩවි පවත්වාගෙන යාම හැඳින්විය හැකිය. නිර්මාණාත්මක හැකියාවක් ඇති අය හට හොඳින්ම ජාලය ඔස්සේ මුදල් රුස්කළ හැකි මඟකි මේ. පසුගියදා ලෝකයේ බ්‌ලොග් ලියා මිලියන ගණන් ආදායම් ලබන පිරිසක් ගැන තොරතුරු එළියට ආවේය.
ලෝකයේ වැඩිම ආදායමක් ලබන මෙම බ්ලොග්කරුවන්ගේ ආදායම සැබැවින්ම ඔබව මවිතයට පත් කරයි. මුලින්ම ඔබ එය විශ්වාස නොකරනු ඇත. නමුත් එය සත්‍යයකි. මේ වැඩිම මුදලක් ලබන බ්ලොග්කරුවන්ගේ ලැයිස්තුව හදන්නේ පුළුල් පර්යේෂණයකින් පසුවය. 2022 වසර සඳහා මෙවන් 22ක් ගැන තෝම්බුව ඉදිරිපත්ව තිබේ. 2021දී මේ සංඛ්‍යාව 31ක් විය. මෙයින් පෙනී යන්නේ බ්ලොග් ලිවිල්ලත් ලෙහෙසි පහසු ආදායම් මගක්ම නොවන බවය.
2022 වැඩිම මුදලක් ලබන බ්ලොග්කරුවන් අතර මසකට ඩොලර් $1,000,000+ කට වඩා උපයන Tim Sykes සහ Ariana Huffington වැනි අයද සිටිති. ඒ අතර ඩොලර් 200,000කට වඩා මසකට උපයන රැසක්ම දැකිය හැකිය. පැට් ෆ්ලින් ($200,000+මසකට) Chiara Ferragni ($200,000+මසකට) සාරා ටයිටස් ($200,000+මසකට) Melyssa Griffin ($200,000+මසකට) ඒ සඳහා කැපී පෙනෙන නිදසුන්ය. මසකට ඩොලර් 195,000+ වඩා උපයන John Lee Dumas ද ඒ අතර කැපී පෙනෙන හාදයන්ය.
අරියානා හෆින්ටන් යනු 2021දී වැඩිම වැටුප් ලබන බ්ලොග්කාරිය ලෙස නම් ලද වසරකට ඩොලර් මිලියන 250ක් සොයන තැනැත්තියයි. 2017දී HuffPost ලෙස නැවත නම් කරන ලද 'The Huffington Post' හි සම-නිර්මාතෘවරිය වන්නේ අරියානාය. 2005න් පසු ඇය කෙමෙන් ප්‍රසිද්ධියට පත්වූ අතර 2011දී ඇය පූර්ණ මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනඟා ගත්විට ලොවපුරා පිළිගැනීමක් ලැබුවාය. ඇගේ Huffington Post පිටුවේ ප්‍රාථමික ආදායම් මූලාශ්‍රය වන්නේ අනුග්‍රහය දක්වන බැනර් දැන්වීම්ය.
බ්ලොග්කරුවන් අතරින් ටිම් සයික්ස් යනුද ප්‍රකෝටිපතියෙකි. ඔහු වසරකට ඩොලර් මිලියන 120කට වඩා උපයයි. ඔහු ඩීවීඩී පාඨමාලා විකිණීමෙන්, කොටස් විකිණීම සහ වෙළඳාමේ උපක්‍රම ඉගෙන ගැනීමට මිනිසුන්ට උපකාර කරමින් විශාල මුදලක් උපයන ගෝලීය වශයෙන් වඩාත්ම සාර්ථක බ්ලොග්කරුවන්ගෙන් කෙනෙකි. ඊට අමතරව, ටිම්ට අනුගාමිකයින් මිලියන 1.2 කට වඩා ඇත.
ලෝක බ්ලොග්කරුවන් අතර පීටර් රොජාස්, Peter Rojas යනු වසරකට ඩොලර් මිලියන 50ක් සොයන තවත් ලොකුම හාදයෙකි. ඔහු 2004 වසරේ සිට මේ කර්මාන්තයට දායක වෙයි. ඔහු ‘Engadget’ නමින් වෙබ් අඩවිය ආරම්භ කළ අතර එහි විනෝදාස්වාදය, ක්‍රීඩා සහ සිදුවීම්, පාරිභෝගික ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ හා ආම්පන්න වැනි තාක්ෂණික නිෂ්පාදන පිළිබඳ සමාලෝචනද ඇතුළත්ය.
අනෙකුත් ඉහළ ඉපැයීම් ලබන බ්ලොග්කරුවන් මෙන්, Perez Hiltonද සෘජු වෙළෙඳ දැන්වීම් හරහා අතිවිශාල ආදායමක් උපයා ගනී. ඔහුගේ සැබෑ නම Mario Armando Lavandeira ජූනියර් වන අතර, ඔහුගේ වෙබ් අඩවියේ ඔවුන්ගේ භාණ්ඩය හෝ සේවාව ප්‍රචාරණය කිරීම සඳහා ඔහුට සරු මුදලක් ගෙවන විවිධ අනුග්‍රාහකත්වයන් ඇත. හිල්ටන්ගේ බ්ලොගය ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳ ඕපාදූප අයිතම ආවරණය කිරීම සඳහා ප්‍රසිද්ධය. මේ ඕපාදූප ඔහුට සොයාදෙන ආදායම වසරකට ඩොලර් මිලියන 40 කි.
චියාරා ෆෙරංගි වසරකට ඩොලර් මිලියන 35ක් සොයන්නියකි. ඇය සුප්‍රසිද්ධ විලාසිතා සන්නාමය වන ‘The Blond Salad’ වෙනුවෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යයි. ඇය 2009දී ඇයගේම බ්ලොග් අඩවියක් ආරම්භ කළ දා සිට බ්ලොග්කරුවෙකු වීමට කාන්තාවන් රැසක් පොළඹවන්නට මූලික වූ තැනැත්තියකි. දැන් නැඟී එන තවත් සාර්ථක බ්ලොග්කරුවෙක් වන ජෝන් ලී ඩූමාස්ගේ බ්ලොග් අඩවිය 2012 ඔක්තෝබර් මාසයේ සිට මුදල් උපයයි. එය පළමු වසර තුළ $26,143ක ශුද්ධ ලාභයක් සමඟින් $69,879ක ආදායමක් උපයා ඇත. මෙම සටහන නිකුත් කරන විට එය ඩොලර් මිලියන 16 කට වඩා උපයා ඇත. ජෝන් 2022 ජනවාරි මාසයේදී පමණක් ඩොලර් 215,205ක දැවැන්ත ආදායමක් උපයා තිබේ.
පැට් ෆ්ලින්, බොහෝ බ්ලොග්කරුවන් අතරින් වඩාත් ප්‍රසිද්ධය. ඔහු අඛණ්ඩ කැපවීම පිළිබඳ මනා ආදර්ශයකි. ඔහු දැනට වසර 13කට වැඩි කාලයක් බ්ලොග්කරණයේ අඛණ්ඩව යෙදී සිටියි. පැට්ගේ අදායම් වාර්තාව බැලුවොත් එහි උස් පහත්වීම් දකින්නට හැකිය. නමුත් ඔහු දිගටම ලිව්වා මිස නැවතුනේ නැත. ඒ ඔහුගේ කැපවීම නිසාම 2017 වසරේ සිට ඩොලර් මිලියන 2කට වඩා උපයන්නකු බවට පත්ව සිටියි.
මිෂෙල් ගාඩ්නර් අමුතුම බ්ලොග් ලියන්නියකි. ඇය ප්‍රසිද්ධියට පත්වන්නේ ඇයගේ බ්ලොග් අඩවියේ අරපිරිමැස්මෙන් කටයුතු කිරීම සහ වඩා හොඳ ජීවිතයක් සඳහා ඉතිරි කිරීමට උපදෙස් දීමෙනි. මුදල් ඉතිරි කිරීම සහ ඔබේ මුදල් කළමනාකරණය කිරීම ඔබේ ජීවිතය වෙනස් කළ හැකි බව ඇය ඇගේ පාඨකයන්ට උගන්වයි. මිෂෙල් බ්ලොග් අඩවිය ආරම්භ කළේ ඇයගේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කර ගැනීමටය. මෙලෙස ඇගේ පාඨකයන්ට ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කරන්නේ කෙසේදැයි ඇයට කියා දිය හැකිය. ඇය සිය ඔන්ලයින් ව්‍යාපාර හරහා ඉපැයූ ආදායමෙන් තමන්ගේ $38000ක් වූ ශිෂ්‍ය ණය මාස 7ක් තුළ ගෙවීමට සමත් වූවාය. මිෂෙල් ඇගේ ප්‍රේක්ෂකයින් හඳුනා ගත්තේද මේ ණය හුටපටය නිසාය. ශිෂ්‍ය ණය සමඟ පොරබදමින් සිටි පිරිසට ඔවුන්ගේ ණය අඩු කිරීමට සහ කඩිමුඩියේ අමතර ආදායම උපයා ගැනීමට උපකාර වන අන්තර්ගතයක් සහිත ප්‍රායෝගික උපදේශනාත්මක බ්ලොග් ලිවීම ඇය ඇරුඹුවාය.
ලින්ඩ්සේ ඔස්ට්රොම් තවත් වෙනස් මඟකින් සාර්ථකත්වය සොයාගිය තැනැත්තියකි. ආහාර ඡායාරූපකරණය මගින් ඉලක්කම් 6ක ආදායමක් ඉපැයීමට ඇය සමත් වී ඇත. එය මෙතරම් ඉහළ ආදායම් ලබන අංශයක් විය හැකි යැයි ඇයට පෙර කිසිවකු නොසිතූ වෙනස්ම පැතිකඩකි. ඇය ආහාර ලෝලීන් සඳහා ආශ්වාදජනක බ්ලොග්කරුවෙකු වී ඇත. ඇගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ වෙළඳ දැන්වීම්ය. ඇය අනුග්‍රහය දක්වන වෙළඳ දැන්වීම් මගින් මසකට $22.5k පමණ උපයයි.
තවත් මෙවැනි වෙබ් අඩවියකින් ජීවිතය වෙනස්කර ගනිමින් ShowMeTheYummy යනු ජෙනිෆර් සහ ට්‍රෙවර් නමැති යුවළක් විසින් පවත්වාගෙන යනු ලබන ආහාර ඡායාරෑප අඩවියකි. ට්‍රෙවර් යනු දැන් වෙබ් අඩවි, අලෙවිකරණය සහ වීඩියෝකරණය පිළිබඳ වැඩ කරන වෘත්තීය ඡායාරූප ශිල්පියෙකි. ජෙනිෆර් ආහාර බ්ලොග්කරණය ආරම්භ කළේ ට්‍රෙවර් පූර්ණ කාලීන රැකියාවක් කරමින් සිටියදීය. පසුව ට්‍රෙවර්ද පූර්ණකාලීනව බ්ලොග් අඩවියේ වැඩ කළේය. මේ දෙදෙනා ඉතා සීමිත ලෙස මෙය පවත්වාගෙන ගියද සරු ආදායමක් ලබයි. ඒ අඛණ්ඩ කැපවීම තුළිනි. මේ අඩවිය ඇත්තෙන්ම ආකර්ෂණීය වී ඇත. එම අඩවිය 2014 නොවැම්බරයේ ඩොලර් 28ක් පමණක් උපයමින් සිටි අතර එතැන් සිට වර්ධනය වෙමින් පවතී. දැන් ඔවුන් දැන්වීම් ප්‍රචාරණය මගින් පමණක් $26,574කට වඩා සොයති.
සුගත් පී. කුලතුංගආරච්චි