ප්‍රධාන මාර්ගයක් අබියස වූ නිවෙසකි. පාරට යාබද තාප්පය කෙළවර වූ ගේට්ටුවෙන් පිටතට පැමිණියේ තරුණයෙකි. නිවෙස ඉදිරිපිටට පැමිණි ඔහු අත වූ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගැනීමට සැරසුණා පමණය. වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයකින් බැසගත් හැඩිදැඩි පුද්ගලයන් සිව්දෙනකු තරුණයා වටකර තිබුණේ කොල්ලකරුවකු වටලන ස්වරූපයෙනි.
පිරිසෙන් අයකු කකුල බිම හප්පා ''තමුසේ මොකද මෙතන කරන්නේ...'' යැයි විමසුවද එය තරුණයාට නෑසුණා වැනිය. ඔවුන්ගේ හැසිරීමෙන් බියට පත් තරුණයා එතැනින් පැන දුව යාමට උත්සාහ කළේය. සැණෙකින් ක්‍රියාත්මක වූ ඒ හැඩිදැඩි පුද්ගලයන් තරුණයා කුදලා ත්‍රිරෝද රථයට දමාගෙන සමඟ එතැනින් පලා ගොස් තිබුණි.
එසේ වේගයෙන් ධාවනය වී තිබුණේ කහ පැහැයට හුරු ත්‍රිරෝද රථයකි. මේ සිදුවීම සියැසින් දැක තිබුණේ අසල නිවෙසේ පදිංචිව සිටි පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ වැඩිමහල් සොහොයුරියයි. ඇය කෑගසාගෙන පාරට දුව ගියද ත්‍රිරෝද රථය පෙනෙන මානයක නොවීය.
මේ හදිසි අකරතැබ්බය සිදුව තිබුණේ පන්නිපිටිය විද්‍යාල හන්දිය අසලදීය. සිය සොහොයුරාට සිදු වූ විපත පිළිබඳ කලබලයෙන් ඇය තවදුරටත් ත්‍රිරෝද රිය පලා ගිය පාරේ ඉදිරියට ගමන් කළාය. ඒ අතරතුර මොහොතක ඇගේ අහිංසක සොහොයුරා භීතියට පත්ව නිවෙස දෙසට ඇවිද එමින් සිටිනු දකින්නට ලැබිණි. ඔහු පත්ව සිටියේ දැඩි බියට හා කලබලයකටය. සොයුරිය ළඟට ආ ඔහුගේ අත වූ වටිනා ජංගම දුරකථනය නොවීය. එපමණක් නොව ගෙල බැඳි රන් මාලය ද දකින්නට නොතිබිණ.
සොහොයුරා යමක් පවසන්නට මත්තෙන් සිදුව තිබෙන දෑ තේරුම් ගත් සොයුරිය ''ඉක්මනට අපි පොලිසියට යමු මල්ලි.. ගිහින් පැමිණිල්ලක් දාමු.'' යැයි පැවසුවාය. ඒ මොහොතේම කොට්ටාව පොලිස් ස්ථානයට පැමිණි අක්කා සහ මල්ලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.කේ. සුභාෂණ මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කළෝය.
''සර් මම පදිංචිවෙලා ඉන්නෙ විද්‍යාල හන්දියේ. අපේ ගම වලස්මුල්ල, වීරකැටිය. මගේ මල්ලි වීරකැටිය ඉඳන් අපේ ගෙදර ආවේ. මල්ලිගෙ කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා ශ්‍රවණාධාර පාවිච්චි කරනවා. මෙයා ටිකක් ශබ්දයෙන් කතා කරන්නෙ. ගේ ඇතුළෙ සද්දෙන් කතා කරන්න වෙන නිසා කෝල් එකක් ගන්න මල්ලි පාරට ගියේ.''
ඇය එසේ සිදුවීම විස්තර කළාය. මේ අතර සිදුවීම පිළිබඳ කරුණු විමසීමේදී ඊට මුහුණ දුන් තරුණයා මෙසේ කියා තිබුණි.
''මම කෝල් එකක් ගන්න හිතාන ගේට්ටුවෙන් එළියට ගියා. මීටර් 10ක් 20ක් විතර තමා ඈතට ගියේ. එකපාරටම කහ පාටට හුරු ත්‍රීවිල් එකක් ළඟට ඇවිත් නතර කළා. දෙතුන් දෙනෙක් බැහැලා මාව වට කරගෙන, තමුසෙ මොකද ඔතන කරන්නෙ.. කියලා ඇහුවා. ඒක මට හරියටම ඇහුණෙ නෑ. මම බලාගෙන හිටියා. එයාල තවත් මොනවදෝ කීවා. මම ඉක්මනට ගෙට යන්න හදද්දි මාව අල්ලගෙන ත්‍රීවිල් එකට දාගත්තා.''
වැඩිදුරටත් කරුණු පැවසූ තරුණයා මෙසේ ද කියා සිටියේය. ''ඒ මිනිස්සු මම කුඩුකාරයෙක් කියලා බැන්නා. ත්‍රීවිල් එකට දාගද්දිම මගේ අත් දෙකට මාංචුවක් දැම්මා. කියන දේවල් මට පැහැදිලිව ඇහෙනවා මදි නිසා උත්තර දෙන්න ප්‍රමාද වෙනවා. මාංචු දැම්මත් එක්කම මගේ ෆෝන් එක උදුරා ගත්තා. බෙල්ලේ තිබුණු චේන් එකත් ගලවා ගත්තා. මීටර් 300ක් විතර ගිහින්, තෝ මේක කාටවත් කියන්නෙ එහෙම නෑ.. කියලා මාව බිමට තල්ලු කරලා ගියා.''
පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ කොට්ටාව පොලිසියේ නිලධාරීහු අදාළ මොහොතේ ගමන්ගත් සැකකාර ත්‍රිරෝද රථය පිළිබඳව සීසීටීවී දත්ත විමර්ශනයට ලක් කළහ. අවසානයේ සැකකටයුතු ත්‍රිරෝද රිය මාලබේ පොලිස් ස්ථානය වෙත ගමන් කරන බව හඳුනාගෙන තිබුණේ ඒ අනුවය. සීසීටීවී දත්ත හා බුද්ධි අංශ තොරතුරු අනුව මෙම ක්‍රියාවට මාලබේ පොලිසියේ යම් පිරිසකගේ සබඳතාවක් ඇතැයි තහවුරු කර ගැනීමට කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂණ මහතා සමත් විය.
''තොරතුරු අනුව තහවුරු වුණා මේකට මාලබේ පොලිසිය ඇතුළෙ කවුරු හරි සම්බන්ධයි කියලා. මේ අතරේ අපි තොරතුරු හෙළි කරගෙන ඉන්න බව සැකකරුවන්ට ආරංචිවෙලා තියෙනවා. ඒ අයගෙන් මට කෝල් එකක් ලැබුණා. සර්.. අපි මාලබේ පොලිසියෙන් කතා කරන්නේ.. සර්ව පොඩ්ඩක් හම්බවෙලා කතා කරන්න වුවමනායි කියලා කීවා. මම කීවා හරි එන්න කතා කරන්න පුළුවන් කියලා. ඊට දවස් දෙකකට පස්සෙ මේ අය හතර දෙනෙක් මාව හම්බවෙන්න පොලිසියට ආවා. ඔයාලමනේ රොබරිය දුන්නේ හංගන්න දෙයක් නෑනේ.. ගත්ත චේන් එකයි ෆෝන් එකයි දෙන්න බලන්න කියලා මම ඉල්ලුවා. ඒත් එක්කම ඒ භාණ්ඩ මගේ මේසෙ උඩින් තිබ්බා. තව තත්ත්පරයක්වත් එයාලට අවස්ථාව දුන්නෙ නෑ. මගේ නිලධාරීන් ඔවුන් හතරදෙනාම අත්අඩංගුවට ගත්තා.'' යැයි කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂණ මහතා කීය.
මේ පිරිස අතර සිටි ත්‍රිරෝද රථය හිමි පුද්ගලයා මාලබේ පොලිසියේ කොස්තාපල්වරයෙකි. විවිධ අකටයුතු වැඩ නිසා තුන් වතාවක් සේවය තහනමට ලක්වූ සාජන්වරයෙක් ද මේ පිරිස අතර සිටී. වරෙක ගංජා විකුණා පොලිසියට කොටුවූවෙක් ද වෙයි. තවත් අයෙක් මේ පිරිස සමඟ නරක ආශ්‍රයට වැටුණු නිලධාරියෙකි.
ඉකුත් 21 වැනිදා වූ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පිරිස 25 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කෙරිණි. එම සැකකරුවන් පැමිණිලිකාර තරුණයාගේ ශ්‍රවණාබාධය නිසා සිතා ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය පානය කර සිටින්නට ඇති බවය. ඒ නිසාම ඔහු කොල්ලකෑමට ලක් කළ බව පාපොච්චාරණය කර තිබුණි. සැකකරුවෝ සැප්තැම්බර් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.
සමන්ත ප්‍රදීප් විල්තෙර