2022 අගෝස්තු 28 වන ඉරිදා

දොරට වඩින්න ළඟ 22 සංශෝධනය

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 137

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් කරන ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැවැති ප්‍රජාතාන්ත්‍රික මුහුණුවර යළි ස්ථාපනය කොට විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය අතර යම් බලතුලනයක් නිර්මාණය කිරීමට හැකිවන පරිදි සහ පාර්ලිමේන්තුවට හා ජනතාවට සාමූහිකව වගකියන, අමාත්‍ය මණ්ඩලයට සහ ව්‍යවස්ථා සභාවට යම් බලතල ප්‍රමාණයක් පැවරෙන පරිදි යළි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට මතයක් පැතිර තිබේ. ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුත්තේ කිසියම් අවස්ථාවකට හෝ පුද්ගලයකුට හෝ සීමා වූ පරාසයක් තුළ නොවන බවත් එය ජනතාව උදෙසා සකස් විය යුතු බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව විපක්ෂ දේශපාලන පක්ෂවල ඉල්ලීම විය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධන ගෙන ඒමට පියවර ගැනුණේ ඒ අනුවය. 

මෙහිදී සමගි ජනබලවේගය ඇතුළු පාර්ශ්ව කිහිපයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. පසුව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසාන වතාවට සංශෝධනය කර ඇත්තේ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් බවද, සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කළ සංශෝධනය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී යම් යම් අභියෝගයනට ලක්වූ අතර එම ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ලේ වගන්ති 8ක් පමණ සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට යා යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබිණි.

ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ සංශෝධන තුළ විධායක ජනාධිපතිවරයා සතු බලතල අවම කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර දැරීම අහිමි කිරීම මෙන්ම ව්‍යවස්ථාදායක සභා හා ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපනය කිරීම වැනි කරුණු ගණනාවත් ඇතුළත් වේ. සියලු දෙනාම එකඟවූයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආකෘතිය අනුව 22 සංශෝධනය විය යුතු බවට වුවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැවැති දුර්වලතා හඳුනාගෙන ඇති හෙයින්, එවා ඉවත් කර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති හොඳ ගුණාංග එකතු කර ගැනීමට කටයුතු කළ බව ඇමැතිවරයා  ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් ප්‍රතිපාදන සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත්ය. එහෙත් විපක්ෂය ඉල්ලා සිටි පරිදි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමක් මෙමඟින් යෝජනා කර නොමැත. ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ තමන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කර ඇත්තේ ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය නොවන කරුණු බවටය.

තමන් ඉදිරිපත් කළ මෙම සංශෝධනය මුලින් පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර පසුව අධිකරණ ඇමැතිවරයා වශයෙන් ආණ්ඩුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ බවත්, දැනට මෙය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස සඳහන් වුවද පාර්ලිමේන්තුවේදී සම්මත වූ විට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අංකනය කරන බවත් අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නව කෙටුම්පතට පසුගිය ජූලි මස 27 දින කැබිනට් අනුමැතිය හිමි වූ අතර පසුගිය අගෝස්තු 02 දින එයට අදාළ ගැසට් නිවේදනය නිකුත් විය. ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එහිදි තුනෙන් දෙකක ඡන්දයකින් එය අනුමත කරගත යුතු වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට අසීමිත විධායක බලතල පැවරීමක් සිදු විය. 17 වැනි සංශෝධනය මගින් එම බලතල යම් ප්‍රමාණයකට අවම කෙරුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා නිර්මාණය විය. එහි අරමුණ වූයේ රාජ්‍ය පාලනයෙන් දේශපාලනය ඈත් කිරීම හා දේශපාලනයෙන් රාජ්‍ය පාලනය ඈත් කිරීමය. එමගින්  ජනාධිපතිවරයා සතු බලතල අවම වූ අතර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පක්ෂ විපක්ෂ දෙකෙහිම නියෝජනයක් ඇති විය. එමෙන්ම 17 වැනි සංශෝධනය මගින් රටේ ප්‍රධාන ධුරවලට හා කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ තනි මතය මත පත්කිරීමට තිබූ බලයට යම් සීමාවක් පැනවුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත එම පත්කිරීම් සිදුවිය. එහෙත් පසුව ගෙන ආ 18 වැනි සංශෝධනය මගින් ඇතැම් යහපත් ප්‍රතිපාදන ඉවත් කෙරිණි. 19 වැනි ව්‍යස්ථා සංශෝධනය ගෙන ආවේ වඩාත් ප්‍රජාතාන්ත්‍රික හා වෙනත් යහපත් ප්‍රතිපාදන යළි එක් කරමිනි එහෙත් රාජපක්ෂ පාලනය යටතේ ගෙන ආ 20 වැනි සංශෝධනය මගින් එම සාධනීය කරුණු ඉවත් කිරීමක් සිදුවී යළි විධායක ජනාධිපතිවරයා වෙත බලය ගොනු විය. එමගින් අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට පැවරී තිබූ ඇතැම් බලතල අවම කිරීමකට ලක් විය. එලෙස බලය එක් තැනකට ගොනුවීමේ ප්‍රතිඵල ජනතාවට මේ වන විට භුක්ති විඳින්නට සිදු වී තිබේ. 

තවමත් රටක බලපැවැත්වෙන පැරණිතම ව්‍යවස්ථාව ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය.  1787-89 අවධියේ කෙටුම්පත් කරන ලද එම ව්‍යවස්ථාව මේ දක්වා සංශෝධනය කර ඇත්තේ විසිහත් වතාවක් පමණි. වසර හතළිස් හතරක ශ්‍රී ලංකා ව්‍යවස්ථාව මේ වන විට විසි වාරයක් සංශෝධනයට ලක්ව තිබේ. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ස්ථාවර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කළ යුතු බවටය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජනතාවට තීන්දු තීරණවලට මැදිහත්වීමට වැඩි බලයක් සහිත නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කළ ගාලුමුවදොර ප්‍රකාශනයෙන්ද ඉල්ලා තිබිණි. එම කාර්යය සපුරා ගන්නා තෙක් පවතින ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ආ හැකි බවත් එහෙත් නව ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම සම්පාදනය විය යුතු බවත් බහුතරයකගේ මතය වී තිබේ.

නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයේ අන්තර්ගත වූ ජනාධිපති බලතල කප්පාදුවක් ඉදිරිපත් නොවී ඇති අතර ජනාධිපතිවරයා සතු යම් යම් පත්කිරීම් සම්බන්ධ බලතල කිහිපයක් පමණක් අඩුකර ඇති බවත් එහෙයින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර දැමීමක් පමණක් බවත් නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පෙන්වා දෙයි.  එහෙයින් කළ යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ව්‍යවස්ථා සංශෝධනය තුළින් පසුබිමක් නිර්මාණය කර ගැනීම බවත්, ලංකාවට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියේදී නිර්මාණය කරගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ජිනීවා මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත්තේ යළි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවැති ආකාරයට ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීමට පියවර ගන්නා ලෙසටය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පැවරෙන යෝජනාවට බොහෝ මන්ත්‍රීවරුන් බියට පත්ව ඇති බවත් පෙනී යයි. එය  වසර හතරහමාරක් දක්වා වෙනස් කරන ලෙසට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් පොදුජන පෙරමුණේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් පසුගියදා බාර දී තිබිණි.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම සිවිල් සහ දේශපාලන පක්ෂ රුසක්ම තම මතය ප්‍රකාශ කර තිබිණි. ඒ සෑම මතයකම ගැබ්ව තිබුණේ විධායක ජනාධිපතිවරයා සතු බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය ලක්ෂණ කිසිවක් මෙහි අන්තර්ගතව නොමැති බවටය.

පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැණි බවට චෝදනා කරමින් පෙත්සම් 9ක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. ඒවා විභාග කිරීම පසුගිය 22දා ආරම්භ කෙරිණි. එහි අන්තර්ගත සංශෝධන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, දොස්තර ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු නව දෙනෙක් ඉදිරිපත් කර තිබූ එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති නීතියක් බවට පත්වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසටය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දින දෙකක් තුළ මෙම පෙත්සම් විභාග කෙරුණු අතර ඒ පිළිබඳ තීන්දුව කතානායකවරයා වෙත. යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දන්වා තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා