2022 අගෝස්තු 28 වන ඉරිදා

එජාප පොහොට්ටු සන්ධාන තතා මැද දුරකතනයෙනුත් සිග්නල්

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 28

ලාංකික දේශපාලනය යනු සිදුනොවිය යුතු දේවල් වීමටත්, විය යුතු දේවල් නොවීමටත් උපන් හපන් තැනකි. කවදාවත් විය හැකිදැයි සිතිය හැකි සිදුවීම්ද ඇතැම් අවස්ථාවලදී සිදුවිය හැකි බව අපේ රටේ දේශපාලනය පෙන්වා දී තිබේ. මේ නිසාම දේශපාලනඥයෝ ඒ සඳහා තමන්ට වාසි සහගත කතාවක් ඉතිහාසයේ සිට කියන්නට පුරුදු වී සිටිති. ඒ "දේශපාලනයේ මිතුරොත් නෑ හතුරොත් නෑ" යන කතාවයි. එය සැබැවින්ම "කන්න ඕන වූ විට කබරගොයා, තලගොයා කර ගැනීම" හා සමානය.

මේ කියන්නට යන්නේද එවැනිම කතාවකි. සදාකල් දේශපාලනයේ හතුරන්ව සිටි කණ්ඩායම් දෙකක් අත්වැල් බැඳගැනීමේ කතාවයි. මේ වෙන කිසිවක් නොව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. කාලයක් එකට පෑහෙන්න බැරිව සිටි මේ පක්ෂ එක මේසයකට පැමිණීමේ පුදුමයක් ද නැත. එනම් එක්සත් ජාතික පක්ෂ නායක සහ එජාපයෙන් පැමිණි එකම නායකවරයා තම පක්ෂයේ මන්ත්‍රී ඡන්දවලින් ජනාධිපතිවරයා කිරීමේ දෛවෝපගත සිදුවීමයි. ඒ නිසා පක්ෂ දෙක එකතුවීමේ පුදුමයක් ද නැත.

එහෙත් ප්‍රශ්නය එය නොවේ. අන්ත දක්ෂිණාංශික එජාපය, වමේ මොඩලයකට හැදුණු පොහොට්ටුවේ ප්‍රතිපත්ති සමඟ එකට පෑහේද යන්නය. මීට පෙරද එක හවුලේ එජාපය සහ ශ්‍රීලනිපය ආණ්ඩු කළත් සැබැවින්ම එය යහපාලනයක් වුණේ නැත. සිදුවුණේ පාලනයක් පමණි.

ලබන වසරේ පැවැත්වෙන ප්‍රාදේශීය සභා නගර සභා, ඡන්දය සඳහා එජාපය සහ පොහොට්ටුව එකට එක්ව තරග කිරීමට මෙවර ඉදිරිපත් වී ඇති යෝජනාවයි. එම සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර පවත්වා ඇතැයි පැවසේ. එහිදී යම් එකඟත්වයකට පැමිණ ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම පක්ෂ දෙක එක්ව තරග කිරීමට තවමත් ස්ථිර තීන්දුවකට පැමිණ නැත. එයට හේතුව ඒ සඳහා පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ගේ එකඟත්වය ලබාගැනීමට සිදුවීමයි. එහෙත් එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එයට එකඟ වී ඇතැයි කියති.
පිරිසක් එයට එකඟ වන විට තවත් පිරිසක් දන්වා ඇත්තේ තමන් එකතු විය යුත්තේ සමගි ජන බලවේගයේ පිරිස සමඟ බවය. ඒ සඳහා එම පිරිස මේ වනවිට සජබයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද දැනගන්නට තිබේ. කෙසේ වෙතත් එම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද කොළ එළියක් දල්වා තිබුණු අතර සජිත් ප්‍රේමදාස මහතා තවම සිය කැමැත්ත පළකර නැත. එනිසා එය සිදුවේද නැද්ද යන්න තවම ස්ථිර නැත.

දැනගන්නට ඇති ආකාරයට මේ වනවිට ප්‍රාදේශීය සභා මට්ටමින් එජාපය හැරදා ගිය බොහොමය පිරිස් නැවත එම පක්ෂය වෙත ඇදී ඒමට පටන්ගෙන තිබේ. පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ දිනවල එම පිරිස කැඳවා සාකච්ඡා සිදු කරමින් පවතින බවද දැනගන්නට තිබේ. එපමණක් නොව, මේ වනවිට සජබය වෙත ගිය ඇතැම් අය ද මේ වනවිට එය අතහැර එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වමින් පොහොට්ටුව සමඟ එක්ව කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ පොහොට්ටුව සහ එජාපය අතර පවතින ඉහළ සබඳතාවය හේතුවෙනි.

මෙලෙස එක්වීමේ සැබෑ අරමුණ වී ඇත්තේ බලය රඳවා ගැනීමය. කෙසේ වෙතත් මේ සියල්ල මැද පොහොට්ටුවද සිය මෙහෙයුම අතහැර නැත. ඔවුහු ද මේ වනවිට පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා විශාල මෙහෙයුමක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇතැයි පැවසේ. එය ඉතා පුළුල්ව සිදුකරගෙන යන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ සියල්ල සිදුවන අතරතුර පොහොට්ටුවෙන් ගැලවුණු පිරිසක් වෙනම සන්ධානයක් සැදීමට තීරණය කර තිබීම ද විශේෂත්වයකි. ඒ සඳහා ඩලස් අලහප්පෙරුම නායකත්වය ගැනීමට තිරණය කර තිබේ. එහෙත් ඒ සඳහා අනුර යාපා මහතාගේ කණ්ඩායමත් විමල් වීරවංශ මහතාගේ කණ්ඩායමත් සුදානම් ද යන්න තවම දැනගන්නට නැත. ඒ නිසා පොහොට්ටුවට කුමක් වේවිද යන්න අවිනිශ්චිතය.

මේ නිසාම පොහොට්ටුවේ අනාගතය මේ වනවිට රැඳී පවතින්නේ සිය තෝරාගැනීම වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වය මතය. එසේම එජාපයේ ආරක්ෂාව රැඳී තිබෙන්නේ ද පොහොට්ටුව මතය. ඒ එළඹෙන අතුරු අයවැයත්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සිදුකිරීමට පොහොට්ටුවේ සහාය ජනාධිපතිවරයාට නියත වශයෙන්ම ලැබිය යුතු බැවිනි. ඒ නිසාම මේ කාලය තුළ පොහොට්ටුව එජාපයත් එජාපයට පොහොට්ටුවත් නැතිවම බැරිය. ගහට පොත්ත මෙනි. එහෙත් අනාගතයේ කුමක් වේද යන්න අපි නොදනිමු. යම්කිසි අයුරකින් පොහොට්ටුවත් එජාපයත් එකට එක්වී ඡන්දය ඉල්ලුවහොත් එය ඉතිහාසගත වන අතර එකී අලුත් ඉතිහාස කතාවට ජනතාව පිළිතුරු සපයන ආකාරය ද දැකගත හැකිය.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04