2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

හරිමග තෝරාගැනීමේ හෝරාව

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 47

2023 වසර සඳහා අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී එයට කලින් අතුරු අය-වැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ. ආර්ථික දුෂ්කරතා, එයින් ඇති කළ පීඩනය විසින් නිර්මාණය කළ සමාජ අරගලය පැවැති ආණ්ඩුව ඉවත් කරන තැනට පත් කළේය. බලයට පත් අලුත් ආණ්ඩුව ආර්ථික සහ සමාජ ගැටලු ගණනාවක පැටැලී සිටින ජනතාව වෙත අය-වැය යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 2022 වසර සඳහා පසුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ අය-වැය අදට වලංගු නැත.

රජයේ ආදායම අඩු වී ඇත. වියදම ඉහළ ගොස් තිබේ. ආර්ථික වර්ධනය අඩු වනවිට බදු ආදායම පහත වැටේ. ආනයන පාලනය කර ඇති අතර එය රේගු බදු ආදායම බරපතල ලෙස අඩුකරන හේතුවකි. දේශීය හා විදේශීය වශයෙන් අනුගමනය කරන මූල්‍ය ප‍්‍රතිපත්ති  වෙනස් කළ යුතු බව ප‍්‍රකාශ වේ. සමාජයට සහන දෙන අතරවාරයේ රජයේ ආදායම වැඩිකර ගැනීමට වහා පියවර ගැනෙන යෝජනා මාලාවක් ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය අතුරු අය-වැය මගින් පාර්ලිමේන්තුව හමුවේ තබා ඇත.

• තෙවැනි වර කියැවීමේ විවාදය දෙස අවධානයක්

ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමන ඉතාම දුෂ්කරය. දෙස් විදෙස් විශේෂඥයන් අවදානම් සහගත තත්ත්වය ගැන අනතුරු අඟවා ඇත. බලයේ සිටින ආණ්ඩුව වගකීම භාරගෙන ඇත. ඉකුත් රජය ඉවත්වීමෙන් පසු ආණ්ඩුව භාරගැනීමට කරන ලද ඉල්ලීම් දේශපාලන පක්ෂ නොතකා හරින ලද  බව සඳහන් කළ යුතුය. විශාල අරගලයක් තිබුණ, විනිමය හිඟ සහ ආදායම පිරිහී ආහාර අර්බුදයක් - එනම් සාගත තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකිය යන අනතුරු ඇඟවීමක් පැවැතිණ. ජාත්‍යන්තර ආධාර විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය රහිතව නැගී සිටින්නට නොහැකි බව ප‍්‍රකාශ වූ තවත් කරුණකි. මූල්‍ය අරමුදල සිය සංචිත නිදහස් කරන්නට කලින් ගතයුතු පියවර ගණනාවක් යෝජනා කරන ලද අතර විදේශීය ණය ගෙවීම නතර කර එය ප‍්‍රතිව්‍යුහගත කළ යුතු බව පෙන්වා දී තිබුණි. ආදායම වැඩි කරගැනීම සඳහා වැට් බදු වැඩි කළ යුතු අතර විදුලිය, ඛනිජ තෙල්, ගෑස් වැනි ආනයනය කරන ද්‍රව්‍ය ලෝක වෙළඳපොළේ මිලට විකිණීමට යෝජනා කළේය. අලාභ ලබන ව්‍යවසාය පෞද්ගලීකරණය හා සමාජයේ සහන ලැබිය යුතු ජන කොටස තෝරා කෙළින්ම ආධාර දෙන සැලැස්මක් ඉදිරිපත් කරන සේ රජයට දක්වා සිටියේය. රට ගොඩනගන්නට මෙම ක‍්‍රම අනුගමනය කරන්නට සිදුවේ. එයින් බැහැර වෙනත් විකල්ප නැත. විකල්ප තිබේ. දැනට පවතින සියලු අවාසි දරාගෙන ජීවත්වෙන්නට, නැවත ආපසු පැරණි පැවැත්මට අනුගතවෙන්නට රටට හැකි විය යුතුය.

අය-වැය මගින් කරන යෝජනා ගැන මහජන නියෝජිතයන්ගේ හඬ තුන්වැනි වර කියැවීමේ අවස්ථාවේදී මතුවනු ඇත. ආණ්ඩුව භාර ගන්නට අකැමැති නමුත් රට කරවන්නට කරන  ඕනෑම දෙයකට එරෙහි වෙන බව නිසැකය. දැනටමත් එහි සංකේත දැකගත හැක. මහජන නියෝජිතයන් පිරිසක් විපක්ෂය තෝරා ගෙන ඇත. විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම ඉහළ යන අතර අය-වැය ඡන්ද විමසීමේ දී විරුද්ධවන පිරිස වැඩිවුවහොත් මෙම අය-වැය යෝජනා පසෙකට කරන්නට සිදුවනු ඇත. රටට අවශ්‍ය කොතැනකින් හෝ නැගිටින්නද නොඑසේ නම් කිසිම දෙයක් කරගන්නට බැරි සමාජ ක‍්‍රමයක් බිහි කරන්නටද යන ප‍්‍රශ්නය මතුවේ. 

• ගමන දුෂ්කරය - අලුත් සැලැස්මක් අවශ්‍යය

ඉදිරි ගමන දුෂ්කරය. කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා අංශවල පිරිහීම වළකාගෙන අලුත් පිබිදීමක් සඳහා විශාල වෙනස්කම් කළ යුතුව තිබේ. තනි පුද්ගලයකුට, එක කණ්ඩායමකට කළ නොහැකි බව පිළිගත යුතු කරුණකි. ආණ්ඩුව හෝ විපක්ෂය වශයෙන් නොව රටක් වශයෙන් කල්පනා කර තීරණ ගත යුතුව ඇති අතර අද අත්පත් කරගෙන ඇති රාමුවෙන් ඔබ්බට කල්පනා කරන සැලැස්මක් රටට අවශ්‍ය කෙරේ.

බදු ආදායම එකම ඉලක්කය බව අයවැය යෝජනා කෙරෙහි අවධානය යොමු කරන විට පෙනේ. වැට් බද්ද දැනට පවතින සියයට 12ක ප‍්‍රතිශතය අය-වැය මගින් සියයට 15 දක්වා නංවා ඇත. වැට් බද්දට අයත්වන භාණ්ඩ හා සේවා හෙයින් ජනතාවට අලුත් පීඩනයක් ඇති කිරීම වැළැක්විය නොහැක. ආදායම් නංවන යෝජනා තුළ බදු එකතු කිරීමේ හා බදු පරිපාලනය තවත් තර කර ඇත. වයස අවු 18 වැඩි සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි විය යුතු බව දැක්වේ. රේගු  බදු අංශය සංවිධානය කරන්නට යෝජනා කරයි. බදු නොවන ආදායම ද නැංවේ. පළාත් පාලන ආයතනවලින්ද ග‍්‍රහණයක් එල්ල විය හැක. දැනට ඇති පළාත්පාලන ආයතන ගණන අඩුකරන යෝජනාවක්ද තිබේ. රජයේ සහ අනුබද්ධ ආයතනවල කටයුතු තාක්ෂණයට හරවන බව දක්වන අතර එමගින් අය කරන ගාස්තු වෙනස් විය හැක. මේවායේ බර ජීවන වියදමට එකතු වන බව සඳහන් කළ යුතුය.

වැඩිකරන ලද බදු ගෙවන්නට සිදුවන්නේ ජනතාවටය. රජයේ අය-වැය අවශ්‍යතා වෙනුවෙන් විශාල බරක් ඉසිලීමට පුරවැසියන්ට සිදුවිය හැක. වැටුප් හෝ වෙනත් දීමනා සංශෝධනය නොවන පසුබිම මත කරන ලද ගාස්තු සංශෝධන මහත් පීඩනයකි. විදුලිය, ඛනිජ තෙල්, ජල ගාස්තු වැඩි කර ඇති අතර ජීවන වියදම ඉහළ ගොස් ඇති පසුබිම තුළ මෙම බදු සංශෝධන ජනතාවගේ පීඩනය තවත් වැඩිකරනු ඇත. 

• සහන මල්ල තවත් බරක්

අතුරු අය-වැය මගින් පවුල් හැත්තෑ එක් දහසකට රුපියල් දස දහස බැගින් දීමනාවක් යෝජනා කර ඇත. සමෘද්ධි සහනාධාරය වැඩිකරන අතර සමෘද්ධි ආධාර අපේක්ෂාවෙන් සිටින පවුල්වලට රුපියල් පන් දහස බැගින් දීමනාවක් සැපයේ. ගොවි ණය රුපියල් මිලියන 688 ක් කපා හරින අතර කර්මාන්ත හා ව්‍යාපාරවලට සහන යෝජනා කර තිබේ. ගොවිතැන් කටයුතු සඳහා විශේෂයෙන් පොහොර ගැන අවධාය යොමුකර ඇත. ගොවියන්, ධීවර කාර්මිකයන්, ගැබිණි මව්වරු ඇතුළු තෝරාගත් අයවලුන්ට සහන දෙන බව දක්වයි. ආබාධිත හා අසරණ පිරිසටද සහන සැපයේ. මෙම සහන සඳහාද රජයේ වියදම් සොයාගත යුතු බව අමතක කළ යුතු නැත. එක පැත්තකින් බදු වැඩිකරන අතර අනෙක් පැත්තෙන් සපයන සහනවලට ගෙවන්නේ කොතැනින්ද යන්න විමර්ශනය කළ යුතුය. ඒවා ගෙවන්නටද රජයට ආදායම සොයාගන්නට සිදුවේ. අතුරු අය-වැය මගින් ආර්ථිකය ප‍්‍රසාරණය කරන තීරණ ප‍්‍රකාශයට පත් කර නැත. ව්‍යාපාර කර්මාන්ත පහසුව ගැන යෝජනා කරන නමුත් ඉක්මන් තීරණ ගත යුතුය. පළමු ප‍්‍රශ්නය ඉදිරි මාස හය බව පැහැදිලිය. ඉන්දියාවෙන් ලැබුණ ණය ආධාර, මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත සහන සුබසාධනය සඳහා වැයකළ යුතුද යන්න විසඳාගත යුතු සංකීර්ණ තත්ත්වයකි.

රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහකරණය කිරීමට ඒකකයක් පිහිටුවීමද වැදගත් අදහසකි. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, විදුලිය බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතනවල පාඩු සහ අකාර්යක්ෂමතාව සලකා මෙම ආයතන නැවත නගා සිටුවීමට මෙමගින් අපේක්ෂා කර ඇත. ජාතික සම්පත් වශයෙන් නම්කර මේවා ආරක්ෂා කරගැනීම පලක් නොවන බව වත්මන් ආණ්ඩුවේ නිගමනය වී ඇත. මේවා වැදගත් අදහස්ය. නිසි සේ ක‍්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් යෝජනා කළ යුතුය. ජනාධිපති හා මුදල් ඇමැතිවරයා සඳහන් කරන පරිදි ජාතික ප‍්‍රතිපත්ති රටට අවශ්‍යය. කලින් කලට වෙනස් කරන ප‍්‍රතිපත්තිවලින් පලක් නැති බව මෑත කාලය තුළ සනාථ කරන ලද කරුණකි. ආනයන කාර්යක්ෂම කිරීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් වන අතර එය බදු ආදායම ප‍්‍රමාණාත්මකව පාලනය කරන්නට පිටිවහලක් වන බව දැක්විය හැකිය. 

අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ඉක්මවා ඇති බව දැක්වේ. මෙම හිඟය සඳහා දේශීය වශයෙන් මුදල් ලබාගැනීමේ ක‍්‍රම හෙයින් බැංකු පොලී අනුපාත ඉහළ යන බව පෙනේ. වාර්ෂික පොලිය සියයට විසි හතර ඉක්මවන රටක පැවැත්ම දරුණුය. 

• අවස්ථා ගැන කල්පනා කිරීමේ වැදගත්කම

බලශක්ති උත්පාදනය සඳහා සුදුසු වැඩපිළිවෙළක් වෙනුවෙන් යෝග්‍ය ඉඩම් හඳුනාගැනීම අලුත් අදහසකි. ප‍්‍රයෝජනයට ගෙන නැති ඉඩම් වගා සඳහා බෙදා දෙන්නට සූදානම්ය. රජයේ හා අර්ධ රාජ්‍ය අංශයේ විශ‍්‍රාම වයස හැට වන අතර තවදුරටත් රජයේ කටයුතු  ඩිජිටල්කරණය කෙරේ. මේවා දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරන කරුණුය. රාජ්‍ය ආයතනවල නාස්තිය හා දුෂණය හඳුනා ගැනීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවා එයට බලතල ඇති නිලධාරියකු පත් කරන්නටද අතුරු අය-වැය යෝජනා කරයි. රජයේ දේපොළ හා ප‍්‍රයෝජනයට නොගෙන ඇති සම්පත් සම්බන්ධයෙන් අලුත් ක‍්‍රියාමාර්ග අතුරු අය-වැය මගින් යෝජනා කරන අතර කිරි සංවර්ධනය, විදුලිය වාහන රජයට මිල දී ගැනීම යනාදිය ගැන අවධානය යොමු කර තිබේ. මේවායෙන් අත්පත් කරගත හැකි අවස්ථා ප‍්‍රයෝජනවත් ලෙස හැසිරවීම මහජන නියෝජිතයන්ගේ වගකීමකි. 

මැදි ආදායම් රටක සිටි ශ‍්‍රී ලංකාව වර්තමානයේ පසුවන තැන අනතුරුදායකය. අවාසි මගහැර ගැනීම අරමුණු කරගෙන වේගවත් තීරණ ගත යුතුව ඇත. නිෂ්පාදනය වැඩි කරන අතර තරගකාරීත්වය ඇති කිරීම සඳහා ගත හැකි පියවර වැදගත්ය. ලෝකයේ අලුත් ආර්ථික ප‍්‍රවණතා සහ තාක්ෂණ භාවිතාව අවශ්‍යම අංගයකි. හතරවැනි කර්මාන්ත විප්ලවයේ සිටින මොහොතක පසුගාමීවීම භයානකය. අතුරු අය-වැය විශාල පරාසයක් කරා රට ගෙන යන්නට ඉවහල්වන තැනක් නොවේ. පළමු පියවර ඉදිරි මාස හය ආරක්ෂා වීමය. 2023 සඳහා සැලැස්මක් සකස් කරගත යුතුව ඇත. මහජන නියෝජිතයන්ට වගකීමක් තිබේ. රජයේ නිලධාරීන් සමඟ ක‍්‍රියාකරන ප‍්‍රතිපත්ති සම්පාදකයන් ඉදිරියේදී රට වෙනස් කරන ආකාරය ගැන පුළුල් සාකච්ඡාවක නිරත විය යුතු අතර අද පවතින වාතාවරණය එයට උත්තේජනයකි.

සාරා කන්දෙගොඩ