ඇතැම් විරාමයන් අවසන් ලෙස වටහා ගැනීම මිනිසුන්ගේ පුරුද්දකි. ඉන්ධන පෝලිම්වලට ලැබුණු විරාමය අප අවසානයක් ලෙස වටහා ගත්තේද එබැවින් විය යුතුය. මෙම සටහන පසුගිය සතියේ මුල නැවත නිර්මාණය වන ඉන්ධන පෝලිම් පිළිබඳවයි.
මීට දින කිහිපකට ඉහතදී නැවත දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය වී තිබෙනු අපට දැකගත හැකිවිය. ජනතාවට කිව්.ආර්. කේත ක්‍රමයට ඉන්ධන ලබා ගැනීමටද අපහසු විය. මේ අතර බොහෝ සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා දමා තිබුණි. ඉන්ධන අර්බුදය නිමා වූ බවට වූ විශ්වාස බිඳීයෑමෙන් කලකිරීමක් සහ ආවේගයක්ද මහජනයා තුළින් නිරූපණය විය. එමනිසාම පසුගිය සතිය ආරම්භයේ ඉන්ධන පිළිබඳ විශාල සමාජ අවධානයක් නැවත නිර්මාණ විය.
මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියෝ ඇති වූ ඉන්ධන හිඟය සම්බන්ධ වෙනත් කරුණක් හෙළි කළෝය. ඒ අනුව ඉන්ධන මිලදී ගැනීමේදී චෙක්පත් හරහා මුදල් ගෙවීම අත්හිටුවීමත් සමඟ ඉන්ධන ඇණවුම් අඩුවී ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය ඉකුත් අඟහරුවාදා සඳහන් කළේය. මේ සම්බන්ධ අදහස් දක්වමින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා මෙලෙස වැඩිදුරටත් අදහස් දක්වා තිබුණි.
''සංස්ථාව අපට වෙනදා චෙක්පත්වලට තමයි සී.ඕ.ඩී ක්‍රමයට ඉන්ධන ලබා දුන්නෙ. ඒ කියන්නෙ ඉන්ධන බවුසරය ආවම අපි චෙක්පතක් නිකුත් කරනවා. දැන් එය නවත්තලා. අපිට උදේ නමය හමාරෙන් ඉස්සෙල්ලා මුදල් ගෙවන්න කියලා තියෙනවා ලබාගන්න ඉන්ධන වලට. පිරවුම්හලක් ලක්ෂ සීයකට වඩා වැඩි මුදලක් බඳින්න ඕන ඉන්ධන ලබා ගන්න. සමහර පිරවුම්හල්වලට ඒ විදිහට මුදල් බඳින්න අමාරුයි. කොහොමත් උදේ නවය හමාර වෙද්දී මුදල් බඳින්න අමාරුයි. එහෙම මුදල් බඳින්නෙ නැති නිසා ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන ලැබෙන්නෙ නෑ. අපි ඉල්ලා සිටිනවා සංස්ථාවෙන් සහ ගරු ඇමතිතුමාගෙන් අපිට පරණ ක්‍රමයට චෙක් පහසුකම් යටතේ ඉන්ධන ලබාදෙන්න කියලා.''
කෙසේ වෙතත් පසුගිය ඉරිදා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබුණේ බෙදාහැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම හේතුවෙන් පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය වී ඇති බවකි. එහෙත් දින දෙකක් ඇතුළත පෝලිම් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් දින තුනක් ඇතුළත නිෂ්පාදන අතිරික්ත තොග බෙදාහැරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා තිබුණි. කෙසේ වෙතත් බදාදා වනතුරු ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝලිමේ දක්නට ලැබුණේය.
මේ අතර මේ අතර බවුසර් රථ ධාවනය සඳහා තෙල් ලබාගැනීමට තවමත් නිසි ක්‍රමවේදයක් සකස් කර නොමැති බවද ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය චෝදනා කර සිටියේය. සතිය ආරම්භයේදී සමස්ත ලංකා ඉන්ධන ප්‍රවාහකයන්ගේ සංගමයේ නියෝජිතයකූ මාධ්‍ය වෙත පවසා තිබුණේ සාමාන්‍යයෙන් දිනකට බව්සර් රථ 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන බෙදාහැරීමේ නිරත වූවද එය මේ වනවිට බව්සර් 100ත් 150ත් අතර ප්‍රමාණයක් අඩු ප්‍රමාණයකින් ධාවනය වන බවයි.
ඛනිජ තෙල් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා දීමේදී ඇතිවන විවිධ බාධාවන් ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය මාධ්‍ය වෙත එක් කියා සිටියේය. එම සංගමයේ උප සභාපති කුසුම් සන්ධනායක මහතා මෙවන් පැහැදිලි කිරීමක් සිදුකොට තිබුණි.
''සියලු ඉන්ධන වර්ග එකතු කළොත් මිලදී ගැනීම වෙනුවෙන් එකවර ලක්ෂ දෙසීයක විතර මුදලක් එකවර ඛනිජ තෙල් සංස්ථාවට බැඳිය යුතුයි. නැත්තං මේ තෙල් හම්බ වෙන්නේ නෑ. බොහොම අමාරුවෙන් මේ තෙල්වලට මුදල් ගෙව්වත් කොයි වෙලාවක ලැබෙයිද කියලාවත් දන්නෙ නෑ. ඒක එක ප්‍රශ්නයක්. ඊළඟ එක ලැබෙන තෙල් කොයි වෙලාවෙද විකුණගන්න කියන එක. ඒ නිසා යම්කිසි ප්‍රතිශතයකට ඒ අය තමන්ට පුළුවන් ප්‍රමාණයකට තමයි තෙල් ඕඩර් කරන්නේ. ඒ නිසාත් යම්කිසි තෙල් හිඟයක් ඇති වෙන්න පුළුවන්.''
ඉන්ධන පිරහුම් හල්වල සිටින පොම්පකරුවන් ද මේ වන විට ගැටලුවකට මුහුණපා සිටින බව ඔවුහු සඳහන් කරති. ඉන්ධන හිඟ වීම හේතුවෙන් දිනකට නිකුත් කරන ලද ඉන්ධන ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉන්ධන නිකුත් කිරීම සමඟම තම ආදායමද අඩුවීම ඇති බවට ඔවුහූ මැසිවිලි නගති. කිව් අර් ක්‍රමය හරහා ද තම රැකියාවට බලපෑමක් එල්ල වී ඇති බව පිරවුම්හල් සේවකයෝ පෙන්වා දෙති. පිරවුම්හලේ සේවකයන් ඉන්ධන හිඟයට පෙර තමන් සේවා මුර ක්‍රමයට සේවය කළ ද මේ වන විට සේවයට වාර්තා කරන්නේ දින දෙක තුනකට වරක් බවද කියා සිටියි.
මේ අතර පොදු ප්‍රවාහන සේවාවල යම් අඩුවක් ඉකුත් සතියේදී නිරීක්ෂණය කළ හැකි විය. බොහෝ පෞද්ගලික බස්රථ සිය ගමන් වාර සීමාකොට තිබුණි. ඊට හේතුව ලෙස බස් සංගම් සඳහන් කොට තිබුණේ ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අපොහොසත් වීම නිසාවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවකි. බොහෝ බස්රථ සතියක ගමන්වාර වලින් අඩක් කප්පාදු කොට තිබුණි. ප්‍රවාහන අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද ‘පාසල් සේවය’ නව බස් රථ සේවයත් අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසා ධාවන කටයුතු නතර කිරීමට සිදු වන බවත් එම බස් රථ හිමිකරුවෝ පැවසූහ.
මීට අමතරව කුලී රථ හිමියන් සහ බරවාහන හිමියෝ ඉන්ධන සීමා වැඩිකරන ලෙස නිරන්තර ඉල්ලීම් කරමින් සිටිති. ත්‍රීරෝද රථ සඳහා ලබන ඉන්ධන පරිමාව සම්බන්ධව මේ රෝද රථ කරුවන් මැසිවිලි නගන අතර කුලී මෝටර් රථ රියදුන්ගේ දෛනික ගමන් වාරද සීමා වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. තවද බරවාහන හිමියන් කියා සිටින්නේ දැනට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවකි. බොහෝ බර වාහන සේවා අත්හිටුවා ඇති බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් අඟහරුවාදා වන විට බලශක්ති අමාත්‍යවරයා පවසා තිබුණේ බස්රථ සහ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා අවශ්‍ය ඉන්ධන ද බෙදාහරිමින් ඇති බවකි. පෙට්‍රල් සහ ඩීසල් බෙදාහැරීම මේ වනවිට කාර්යක්ෂම කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. ඉන්ධන බෙදාහැරීමේ අඩුපාඩු ඒ වනවිට නිවැරදි කර ඇති අතර තවත් තොග එවා ඇති බවද ඔහු පවසා තිබුණි. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හරහා දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදාහැරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන්කර කළේය.
මේ අතරේ ඛනිජ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාර්ශ්වයෙන්ද පැහැදිලි කිරීම් සිදු කොට තිබුණි. කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු සියලු ඉන්ධන තොග තම සංස්ථාව සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය. ඔවුන් පවසා සිටියේ සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවය.
ඒ අනුව ඩීසල්, පෙට්‍රල් ඇතුළු සියලුම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය වන බවත් ආනයනික ඉන්ධන කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩාවවල පවතින බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණි. ඉන්ධන නොමැති බව පවසමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරුවටෙන ලෙසත් කිසිදු අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහ ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
එම ඉල්ලීම් කවරක් වෙතත් ඉන්ධන පෝලිම අසල නැවත එක්වූ ජනතාව සහ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් නැවත හැරීයෑමට සිදුවූ පිරිස් කනස්සල්ලට පත්ව සිටියහ. ඉන්ධන නැව් එන බව කීවත්, තෙල් පිරිපදුව නැවත ආරම්භ වන බව කීවත් එම කිසිදු වැඩපිළිවෙළක් හරහා තමන්හට තෙල් නොලැබෙන බව ජනතාව කියා සිටියෝය. කෙසේ වෙතත් ඉන්ධන අර්බුදය නිමාවන බව බලධාරීන්ගේ පාර්ශවය නිරන්තර තහවුරු කරමින් සිටී.
චමිඳු නිසල් ද සිල්වා