2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ගහෙන් වැටුණු මිනිහට ඇන්න ජල බිල

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 256

2022 සැප්තැම්බර් 1 සිට ජල ගාස්තුව ඉහළ දමන්නට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගත්තේය. දැඩි ආර්ථික අසීරුතා මැද දිවි ගෙවන ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල, විදුලි බිල ඉහළ දමමින් ඇති කළ පීඩනය ජල බිලද වැඩි කිරීමෙන් තවදුරටත් වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ජල බිල වැඩි කරන්නේ එය බොහෝ කාලයකින් යාවත්කාලීන නොකළ නිසා යැයිද ඒ හේතුවෙන් මෙම ආයතනවලට දරන්නට වන  අලාභය අවම කර ගැනීම සඳහා මෙලෙස ජල බිල වැඩි කිරීමට සිදුව ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි. ජල ගාස්තු වැඩි කිරීමට  අදාළ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 26දා නිකුත් කර තිබේ.

පාරිභෝගිකයන්ට ලබාදෙන ජලය ලීටර 1000 ජල ඒකකයක් ලෙස සැලකේ. ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයට ජල ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන වියදම රුපියල් 50ක් පමණ වන බව මණ්ඩලය සඳහන් කරයි. පසුගිය කාලයේ රසායන ද්‍රව්‍ය මිල, ඉන්ධන මිල හා විදුලි ගාස්තුව වැඩිවීම ජාතික ජල සම්පාදන මණ්ඩලයටද බලපා ඇති හෙයින් මෙලෙස ජල ගාස්තු වැඩි කිරීමට සිදු වූ බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (වාණිජ) පියල් පද්මනාත මහතා සඳහන් කරයි.

ජල සම්පත් මණ්ඩලයේ පාරිභෝගිකයන් මිලියන 2.8 කින් මිලියන 2.6ක්ම ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ය. ජල සම්පාදන මණ්ඩලයේ ගණනය කිරීම්වලට අනුව සාමාන්‍ය පවුලකට දිනකට ජලය ලීටර 500ක් පමණ අවශ්‍ය වේ. ඒ අනුව ඔවුන් මසකට ජල ඒකක 15ක් පමණ පරිභෝජනය කරයි.  ඒ අනුව ඔවුන්ගේ මාසික ජලබිල සේවා ගාස්තුවද ඇතුළත්ව රුපියල් 310කි.. නව ජලගාස්තු සංශෝධනය අනුව එය රුපියල් 405ක් දක්වා ඉහළ යයි. මෙතෙක් රුපියල් 50ක්වූ සේවා ගාස්තුව 300 දක්වා ඉහළ දමා ඇති බැවින් ජල ඒකක 15ක් භාවිත කරන පවුලකට ගෙවීමට සිදුවන මුළු ගාස්තුව 705ක් දක්වා ඉහළ යයි. ඒ අනුව ඒකක 15ක් පරිභෝජනය කරන ජල පාරිභෝගිකයකුට අගෝස්තු මාසයේ ගෙවූ මුදලට වඩා රුපියල් 395ක් වැඩිපුර ගෙවීමට සිදුවේ. 

පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ මෙම වැඩි වීම සිදුකර අතර එයින් ගෘහස්ත පාරිභෝගිකයන්ට සියයට 70ක පමණ වැඩිවීමක් සිදුව තිබේ.  මෙතෙක් පළමු ඒකක 05 සඳහා ඒකකයකට අය කළ රුපියල් 12ක පරිහරණ ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා තිබේ. එය ඒකක 6-10 දක්වා ඒකකයකට පැවැති රුපියල් 16 ගාස්තුව රුපියල් 27ක් දක්වාද, ඒකක 11 සිට 15 දක්වා පැවති රුපියල් 20 ගාස්තුව ඒකකයකට රුපියල් 34ක් දක්වාද, ඒකක 16- 20 දක්වා ඒකකයකට රුපියල් 40 ගාස්තුව රුපියල් 68ක් දක්වාද, 21- 25 දක්වා රුපියල් 58 ගාස්තුව රුපියල් 99 දක්වාද, 26-30 දක්වා ඒකකයකට රුපියල් 88ක්ව පැවැති ගාස්තුව රුපියල් 150 දක්වාද, ඒකක 31 – 40 දක්වා ඒකකයකට රුපියල් 179 බැගින්ද, ඒකක 41- 50 දක්වා ඒකකයකට රුපියල් 204 බැගින්ද  51-75 දක්වා ඒකකයකට රුපියල් 221 බැගින්ද  75 සිට ඉහළට ඒකකයකට රුපියල් 235 බැගින්ද ගෙවීමට ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ට සිදුවනු ඇත. මෙතෙක් රුපියල් 50ක්ව පැවැති අවම සේවා ගාස්තුව ඒකක 25 දක්වා රුපියල් 300ක් ලෙසද, ඒකක 26- 30 දක්වා රුපියල් 200ක් ව පැවැති සේවා ගාස්තුව හා ඒකක 31 – 40 දක්වා රුපියල් 400ක්ව පැවැති සේවා ගාස්තුව රුපියල් 900 දක්වාද ඉහළ දමා තිබේ. ඒකක 41- 75 දක්වා නව සේවා ගාස්තුව රුපියල් 2400කි. ඒකක 75ට වැඩි කාණ්ඩයේ සේවා ගාස්තුව මෙතෙක් පැවතියේ රුපියල් 1600කි එය රුපියල් 3500 දක්වා ඉහළ දමා තිබේ. සියයට 8ක් වන ගෘහස්ථ නොවන ජල පාරිභෝගියන්ගේ ජල ගාස්තුව සියයට 40ත් 50ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර සේවා ගාස්තු වැඩිවීමක් සිදු වී නොමැත.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (වාණිජ) පියල් පද්මනාත මහතා සඳහන් කරන පරිදි මෙරට ජල පාරිභෝගියන්ගෙන් 60%ක්ම ඒකක 15ක් හෝ ඊට අඩුවෙන්  පරිහරණය කරන පිරිසකි. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය 2012 සිට ගෘහස්ථ පාරිභෝගිකයකුගෙන් ජලය ලීටරකට අයකරනු ලැබුවේ සතයක මුදලක් බවත් නව සංශෝධනය යටතේ වැඩි වූයේ තවත් සතයකින් බවත් ඒ අනුව නව මිල වන්නේ ලීටරයකට සත දෙකක් පමණක් බවත් ඒ මහතා කියයි. වාර්ෂිකව ජල ගාස්තු වැඩි කිරීමට ජල සම්පත් මණ්ඩලයට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර මෙවර වැඩි කිරීම් සිදු කරනු ලැබුවේ වසර 10කට පසුව බවත් ස්ථාවර ගාස්තුව රුපියල් 50 සිට 300 දක්වා වැඩි කිරීමට හේතු වූයේ පසුගිය වසර 10ක කාලය තුළ මනු කියවීම සඳහා දරන්නට සිදු වූ පිරිවැය විශාල ලෙස ඉහළ ගිය හෙයින් බවත් ඔහු සඳහන් කරයි. 

පරිහරණ ගාස්තුව සමෘධිලාභීන්ගෙන් සහ වතු ජනාවාසවල පාරිභෝගිකයන්ගෙන් අය නොකරන බව පවසන ඔහු පාසල් සහ පුණ්‍ය ආයතන සඳහා මිල වැඩි නොකළ බවද සඳහන් කරයි.. ඒකකයක් සඳහා රුපියල් 35ක් අයකිරීමට අනුමැතිය ඉල්ලා තිබුණද තමන්ට අනුමැතිය ලැබුණේ ඒකකයකට රුපියල් 20ක් පමණක්  අය කරන ලෙසට බවත් ජල බිල දින 14ක් ඇතුළත ගෙවන්නේ නම් සියයට 1.5ක වට්ටමක් හිමිවන අතරද, දින 30කට වඩා ප්‍රමාද වුවහොත් සියයට 2.5ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

දැඩි ආර්ථික අපහසුතා මැද එදා වේල අසීරුවෙන් සරිකරගන්නා ජනතාවගේ ජල බිල මෙලෙස ඉහළ දැමුවද රට කරවන මැති ඇමැතිවරුන් තම ජල බිල ගෙවීම පැහැර හැර ඇති බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි. වාර්තා වන අන්දමට එලෙස ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 60ක් පමණ වන බව දැනගන්නට තිබේ.  මේ සම්බන්ධයෙන් ජල සම්පත් මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් කථානායකවරයා දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ. මෙම මන්ත්‍රිවරුන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික බවද එහි සඳහන්වී තිබේ.

ජල ගාස්තු ඉහළ නැංවීමත් සමඟ සියලු ආහාර පානවල මිලද ඉහළ යනු ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි. එහි සභාපති අසේල සම්පත්  ඒ සම්බන්ධයෙන් මෙලෙස සඳහන් කළේය. & ජල ගාස්තුව වැඩි කිරීමෙන් ආපන ශාලාවල බොන්න දෙන වතුර එකේ සිට පිඟන් සේදීම දක්වා වන අලාබය ආපන ශාලා හිමියන්ට පැවරෙනවා. එබැවින් සැප්තැම්බර් 15 සිට ආපන ශාලාවලින් සපයන සියලු ආහාර පානවල මිල ඉහළ දමන්නට අපට සිදුවෙනවා. ජලසම්පත් මණ්ඩලයේ අකාර්යක්ෂ්මතාව අහිංසක ජල පාරිභෝගියා පිට දමන්න එපා. එක්කෝටි තිස්ලක්ෂයක ජල බිල නොගෙවපු මන්ත්‍රිවරු 62නාගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන්න.'' යනුවෙන් සඳහන් කළේය.

ජල පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ ජල බිල වැඩිවීම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කියාය. බස්ගාස්තු, විදුලිය ගාස්තු, ආහාර මිල, භූමිතෙල් හා අනෙකුත් ඉන්ධන මිල අහස උසට ඉහළ ගොස් ඇති අවස්ථාවක විශේෂයෙන් නාගරික ජනතාව තව දුරටත් අගාධයට හෙලන්නට ජල ගාස්තු වැඩිවීම බලපාන බව ඔවුහු පෙන්වා දෙති. තමන් ආණ්ඩුවෙන් අපේක්ෂා කළේ කිසියම් සහනයක් වුවද ආණ්ඩුව ජනතාව තව දුරටත් පීඩාවට පත් කරන බවත් ඔවුහු පවසති.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05