ඔවුහු යන්නම යන්න ගියහ. එකට කා බී ප්රීති වුණු ඔවුන් අවසානයේදී සමුගත්තේ නිල්වලා ගං පතුලේදීය. එය සදාකාලික සමුගැනීමක් විය. එකම සේවා ස්ථානයේ සේවය කළ ඔවුන් සිය ජීවිතය ඉතා අඩු වයසකට සීමා වේවි යැයි නොසිතන්නට ඇත. එහෙත් අවුරුදු විසි හතරකට, විසි පහකට පමණක් ඒ ජීවිත සීමා වූයේ ඔවුන්ගේම නොසැලකිලිමත්කම නිසාවෙනි. සතුට මත් වතුරට පමණක් බාරදුන් නිසාවෙනි. ඇතැම්හු මේ ඛේදවාචකය පෙර කරුමයක් යැයි කියති. තවත් සමහරු මෙය (පතාගෙන ආ ජීවිත) යැයි පවසති. කෙසේ වුවද අද ඒ ජීවිත හතරම මෙලොව හැරදා ගොසිනි. ජීවිත හතරක් එකවර බිලිගත් නිල්වලා ගඟ අද සුපුරුදු පරිදි ගලා බසියි.
සසික දිල්ෂාන්, මලිත උදයංග, මනුෂ්ක යොහාන් සහ ජයසංඛ තිලක්ෂණ මාතර වැලිගම කර්මාන්තශාලාවක සේවය කළ මිතුරෝ වූහ. සේවය අතර කාලයේදී සිය යාළු මිතුරුකම් තව තවත් වැඩිදියුණු කර ගන්නට, නිදහසේ කතාබහ කර විනෝද වන්නට කැමැත්තක් දැක්වූ මොවුන් සිය මිතුරු පිරිස සමඟ පසුගිය නිවාඩු දිනයක පෝරතොට ගම්මානයේ එක් නිවෙසකට එකතු වූයේ පෝරතොට පදිංචි මලිතගේ ආරාධනාවකට අනුවය. මාසික වැටුප ලබාගත් මලිත ඇතුළු පිරිසගේ අතේ මිටේ මුදල් ඕනෑ තරම්ය. ඒ නිසාම කිසිම ලෝභකමක් නැතිව ආහාරවලට පමණක් නොව, පානය සඳහා ද ඔවුහු හිතේ හැටියට වියදම් කළහ.
ඔවුන් මේ සාදය සඳහා තෝරාගත්තේ මලිතගේ නිවෙසට යාබදව වූ තවත් ඔවුන්ට අයත් නිවෙසකි. එය පාළුවට ගිය හිස් වූ නිවෙසක් විය. කිසි කෙනකු නොමැතිවීම මොවුන්ට හොඳ අවස්ථාවක් විය. මිතුරන් දහතුන් දෙනකුගෙන් යුත් සාදය ගජරාමෙට පැවැත්විණි. මත් වීදුරු එකිනෙක පිරී යද්දී, රැගෙන ආ බයිට් වර්ගවල රස දැනෙද්දී මෙම කොලු හිත්වලට තවත් අදහසක් පහළ විය. ඒ නිල්වලා ගඟේ නෑමට යාමය. කිහිප දෙනකු මෙයට විරුද්ධ වෙද්දී බොහෝ දෙනකුගේ අදහස හා යෝජනාව වූයේ නිල්වලා ගඟේ නෑම අනිවාර්යයෙන්ම කළ යුතු බවකි.
අවසානයේදී බහුතර ඉල්ලීමට සැමදෙනාගෙන්ම අනුමැතිය ලැබුණි. නමුත් ඒ ලබා දුන් අනුමැතිය ජීවිත හතරක් බිල්ලට දෙන අනුමැතියක් බව ඒ කිසිවකු දැන සිටියේ නැත. ඇතැමුන් මෙම සාදයට සහභාගි වී සිට ඇත්තේ සිය නිවෙස්වලටද හොර රහසේය. දරුවන්ගේ ජීවිත වතුර කඳට යටවන හෝරාව ළංවෙද්දී ඇතැම් දෙමව්පියෝ තම දරුවා නිවෙසට එනතුරු බලා සිටියහ. නමුත් ඒ කිසිවකුගේ ආදරය, රැකවරණය මායිම් නොකළ මේ තරුණ හිත් නිල්වලා ගඟේ දියබුං ගසන්නට සූදානම් විය.
ඔවුහු නිල්වලා ගඟේ පිටබැද්දර දෙහිල ඇල්ල නාන තොටුපළට පැමිණියහ. එහි එක් කොටසක් ඉතා ගැඹුරුය. ගඟේ මැදට වන්නට ගැඹුරු අඩි තිහක් පමණ වන්නට ඇතැයි ප්රදේශවාසීහු පවසති. ගඟේ ගැඹුරු කොටස සම්බන්ධයෙන් ප්රදේශවාසීහු දැන සිටියහ. නමුත් නොදන්නා පළාතක අඩ සිහියෙන් නාන්නට පැමිණි මේ තරුණ පිරිස ඒ කිසිවක් දැන සිට නැත.
පළමුව පිහිනීමට හපනකු වූ ළහිරු නිල්වලා ගඟේ මෙහා කොණේ සිට එහා කොණට පිහිනා ගියේය. ඒ තරුණ ජවයට මිතුරෝ ප්රීති ඝෝෂා පැවැත්වූහ. එයින් තව තවත් උත්තේජනයක් ලබාගත් තරුණ කැල තම ජවය ද නිල්වලා ගඟේ මුදාහරින්නට සූදානම් වූහ. ගඟේ එහා කොණේ සිට මෙහා කොණට නැවත පිහිනා එන්නට සූදානම් වූ ළහිරුට යම් අමුත්තක් දැනිණි. ජල පහරේ වේගය එන්න එන්නම වැඩිවන බව ඔහුට තේරුම් ගියේය. ගඟේ ඉහළ සිට පහළට ආ ජල කඳ ඒ වෙද්දී ඉතා දරුණු වන බව ඔහුට වැටහෙන්නට ඇත. ඒ නිසාම ඔහු කරකියා ගන්නට දෙයක් නොමැතිව ගඟට බර වී තිබුණු ගසක අත්තක එල්ලුණේය. ඒ වන විටත් නිල්වලා ගඟේ එන ගැඹුරු කොටසක නාමින්, ප්රීති වෙමින් සිටි දෙදෙනෙක් ජල පහරට හසුව ගසාගෙන යමින් සිටියහ. ඔවුන්ව බේරාගන්නට තවත් දෙදෙනකු ජල පහර සමඟ පොර බැදුවද අවසානයේදී සිදු වූයේ තරුණ ජීවිත හතරම නිල්වලා ගඟේ සැඟවී යාමය.
ගඟේ නාමින් සිටි සෙසු මිතුරෝ ගම්වාසීන්ගේ උදව් ඉල්ලා කෑගසමින් ඉහළට දිව ගියහ. ගසක අත්තක එල්ලී සිටි ළහිරුගේ ජීවිතය බේරුවේද ගම්වාසීන්ය.
තරුණයන්ගේ අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවෙස්වලට සැලවීමත් සමඟ දරාගත නොහැකිව හැඬූ කඳුළින් තරුණයන්ගේ ඥාතීහු එම ස්ථානයට එක්රැස් වූහ. ප්රදේශවාසීන්ගේත්, පොලිස් නිලධාරීන් ඇතුළු හමුදා නිලධාරීන්ගේත් උදව් ඇතිව කිමිදුම්කරුවන්ගේ මහත් පරිශ්රමයෙන් තරුණයන්ගේ සිරුරු සොයාගත් අතර ඒ වන විටත් තරුණයන් සිව්දෙනාගේම අවසන් හුස්ම නිල්වලා ගඟ පතුලේ මුදාහැර අවසන් වී තිබිණි.
මෙම අවාසනාවන්ත සිදුවීම කඹුරුපිටිය ප්රදේශයේ පදිංචිව සිටි විසි හැවිරිදි අශානි හංසිකාට ඇයගේ ජංගම දුරකථනය ඔස්සේ දැනගන්නට ලැබුණි. අශානි මියගිය මනුෂ්ක යොෂාන් තරුණයාගේ පෙම්වතියයි. තම ආදරණීය පෙම්වතා දිය රකුසාට බිලිවුණු බව සැලවීමත් සමඟ එම වේදනාව අශානිට දරාගත නොහැකි විය. ඒ වන විට ඇය සිටියේ ඇගේ නිවෙසේය. රාත්රියේ ලැබුණු මේ පණිවිඩයත් සමඟ ඇය නිවැසියන්ට හොර රහසේ මිදුලට බැස්සාය. නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කිරමආර ඔය ගලා යන්නේ ඇගේ නිවෙසට යාබදවය. ඇයට තම පෙම්වතාගේ වියෝව දරාගත නොහැකි විය. තම ජංගම දුරකථනයත්, පැළඳ සිටි පාවහන් යුගලත් අසල තබා ඇය ද කිරමආර ඔයට පැන තම ජීවිතය ද ජල පහරට බිලි දුන්නාය. එකම සිදුවීමක් ඔස්සේ ජීවිත පහක්ම නිල්වලා ගඟ බිලිගත්තේ ඒ ආකාරයටය.
නිල්වලා නදිය මෙලෙස ජීවිත හතරක් එකවර බිලිගනිද්දී මීට අවුරුදු 45කට පෙර, එනම් 1977 වසරේ මැයි මස 03 වැනිදා ජීවිත තිස් හයක් බිලිගනිමින් බෝට්ටුවක් පෙරළී ගිය අතීතය ද අමතක කළ නොහැකිය. වෙසක් අසිරිය නැරඹීමට මාතර නගරයට පැමිණි මේ පිරිස රැගත් (ආසයි බයයි) නම් බෝට්ටුව පිළිබඳ ඛේදවාචකය අතීතයට එක්වුවද එය ද නිල්වලා ගඟේ දිය රකුසාට බිලිවුණු ඉතා අවාසනාවන්ත සිදුවීමක් විය. (ආසයි බයයි) ලෙසින් පින්තාරු කර තිබූ මෙම බෝට්ටුව පසුකාලීනව අලුත්වැඩියා කොට (යළි ඉපදේ) නමින් අලුතින් පින්තාරු කර තිබූ බවටද වාර්තා වී තිබේ.
කෙසේ වුවද (ආසයි බයයි) බෝට්ටුව පෙරළීමෙන් නිල්වලා ගඟේ පතුලේ සැඟව ගිය සුසුම්වලට පසුව, තරුණ ජීවිත හතරක් එකවර බිලිගත් සිදුවීමත්, ආදරයේ නාමයෙන් නිල්වලා ගඟේ සැඟව ගිය තරුණියගේ ජීවිතය ගැනත් අදටත් හෙටටත් කම්පා වනු ඇත්තේ ඔවුන්ගේ දෙමව්පියන්, දරුවන්, නෑදෑ හිතමිතුරන්ය. ඒ දුක කවදා අවසන් වනු ඇතිද?
දිශානි ජයමාලි කරුණාරත්න