2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ගාල්ලේ බාලිකා පාසලකින් ජලය හොරෙන් ගත් කෝටිපතියා

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 65

මෙරට ජනතාවට සුරක්ෂිත පානීය ජලය සපයන සහ සනීපාරක්ෂාව සඳහා පහසුකම් සැපයීම් සිදුකරනු ලබන ප්‍රධානතම ආයතනය වන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයයි. මෙරට 28,50000ක් වූ ජල පාරිභෝගිකයන්ට මෙන්ම  පාසල්, රෝහල්, ඇතුළු රාජ්‍ය ආයතන සඳහාද ජල සම්පාදන මණ්ඩලය විසින් ජල සැපයුම ලබාදෙයි. මෙරට පාසල් 4597ක් සඳහා ජලසම්පාදන මණ්ඩලය විසින් නොමිලේ ජල සැපයුම ලබාදෙන අතර ආධාර ලබන පාසල් 280ක් සඳහා සපයන ජලය සඳහා ගාස්තු අයකොට ජලය සපයනු ලැබේ. කෙසේ වුවද මෙම වර්ෂයේ ජනවාරි මස සිට පාසල් සඳහා සපයන ජලය සඳහා ජල ගාස්තුවක් අය කිරීමට ජලසම්පාදන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය තීන්දුකොට තිබුණි.

මෙරට වැඩිපුරම ජල නාස්තියක් සිදුවන්නේ පාසල් පද්ධතිය තුළ බව ජලසම්පාදන මණ්ඩලයේ අදහසයි. ඒ විතරක් නොව ඇතැම් පාසල්වල නිල නිවාස, පිහිනුම් තටාක හා ආපනශාලා සඳහා ජලසම්පාදන මණ්ඩලය මගින් සපයනු ලබන ජලය ප්‍රයෝජනයට ගැනේ. ඒ සඳහා ජලසම්පාදන මණ්ඩලයට කිසිදු ගෙවිමක් සිදුනොකරන අතර පාසල්වලට නොමිලේ සපයන ජලය මේ සඳහා යොදා ගනිති. මෙය ජලය අවභාවිත කිරීමකි. 

අප මේ කියන්නට යන්නේද ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය බාලිකා පාසලක දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරීමේ කටයුතු සඳහා වංචනික ලෙස ජලය ලබාගත් කොන්ත්‍රාත්කාර සමාගමක් ගැනය. මෙකී පාසලේ මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා අදාළ කොන්ත්‍රාත්කාර සමාගම විසින් පාසලට සපයන ජල සැපයුමෙන් ජලය ලබාගෙන තිබුණි. පාසල්වල මෙවැනි ඉදිකිරීම් කිරීමේදී ජලසම්පාදන මණ්ඩලය මගින් නව ජල සැපයුමක් ලබාදීම සිදුකෙරේ. එහෙත් මෙකී කොන්ත්‍රාත්කාර සමාගම ඉදිකිරීම් කටයුතු සඳහා එසේ නව ජල සම්බන්ධතාවයක් ලබා නොගෙන පාසලේ ජල සැපයුමෙන් වංචනික ලෙස ජලය ලබාගෙන තිබුණි.

ජලසම්පාදන මණ්ඩලයේ ගාල්ල කාර්යාලයේ වාණිජ අංශයේ නිලධාරියකු පාසල අසල මාර්ගයේ බස් රථයකින් ගමන් කරමින් සිටියදී පාසලේ ඉදිකිරීම දැක තිබේ. ඔහු මේ පිළිබඳ ජලසම්පාදන මණ්ඩලයේ විමර්ශන අංශයේ නිලධාරීන් දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබීය. විමර්ශන නිලධාරීහු පාසලට ගොස් ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළහ. පාසලට ලබාදී ඇති ජල සැපයුමෙන් ඉතා සූක්ෂම ලෙස අදාළ කොන්ත්‍රාත්කාර සමාගම ඉදිකිරීම් කටයුතු සඳහා ජලය ලබාගෙන ඇති බව නිරීක්ෂණය විය. වසරකටත් වඩා වැඩි කාලයක් ඉදිකිරීම් කටයුතු සඳහා වංචනික ලෙස ජලය ලබාගෙන තිබුණි.

පසුව ජලසම්පාදන මණ්ඩලය විසින් ජල සැපයුම විසන්ධි කොට මේ නිසා මණ්ඩලයට වී ඇති පාඩුව ගණනය කිරීමට කටයුතු කළේය. එම ගණනය කිරීම්වලට අනුව අදාළ කොන්ත්‍රාත්කාර සමාගම විසින් වංචනික ලෙස ජලය ලබාගැනීම නිසා ජලසම්පාදන මණ්ඩලයට රුපියල් පන්ලක්ෂ හත්දහස් හයසියයක (507,600) පාඩුවක් සිදුවී තිබුණි. මණ්ඩලය විසින් මේ පිළිබඳ ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය. එහෙත් අදාළ කොන්ත්‍රාත්කාර සමාගම විසින් දිගින් දිගටම මෙකී මුදල ගෙවීම මගහරිමින් සිටියේය. ජලසම්පාදන මණ්ඩලය මගින් සිද්ධිය සම්බන්ධයෙන් නඩුමගට යාමට තීන්දු කළේය. වසරකටත් වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසු අදාළ මුදල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් කොන්ත්‍රාත්කාර සමාගමෙන් අයකර දීමට  කටයුතු කළේය.

මෙය එක් සිද්ධියක් පමණි. මේ අයුරින් වංචනික ලෙස ජලය ලබාගන්නා ස්ථාන තවත් ඕනෑතරම් තිබිය හැක. ජලසම්පාදන මණ්ඩලයේ වානිජ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ඒකනායක විරසිංහ මහතා සඳහන් කරන ආකාරයට පාසල් සඳහා ජලය ලබාදීමෙන් ජලසම්පාදන මණ්ඩලයට වර්ෂයකට රුපියල් මිලියන 130ක පමණ පාඩුවක් සිදුවන බවය. මහා භාණ්ඩාගාරය මගින් මේ සඳහා ප්‍රතිපාදන ලබාදීම 2016 වර්ෂයේ සිට නතරකොට ඇති බවද විරසිංහ මහතා සඳහන් කරන්නේය. 
මාසයකට පාසල් සඳහා ජලය ඝන මීටර් 4,30,000ක් පමණ සපයනවා. ජලය එක් ඝන මීටරයක් නැතිනම් ලීටර් 1000ක් පිරිපහදු කරන්න රුපියල් 55ක වියදමක් ජලසම්පාදන මණ්ඩලය මගින් දරනවා. මෙම වර්ෂයේ ජනවාරි මාසයේ සිට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ අපි සාකච්ඡා කරලා ජල සැපයුම සඳහා සහනදායි ගාස්තුවක් අය කිරීමට ජලසම්පාදන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය තීන්දු කළා. ඒ අනුව පළමුවැනි යුනිට් 40ට අයකරන්නේ රුපියල් 06ක මුදලක්. පාසල් සඳහා මාසයකට ජලය පිරිපහදු කරලා බෙදාහැරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 24ක පමණ මුදලක් වැයවෙනවා. නමුත් මාසයකට රුපියල් මිලියන 10ක පමණ ආදායමක් තමයි පාසල්වලින් ලැබෙන්නේ. ඇතැම් පාසල්වලට රුපියල් 500,600 වගේ ජල බිල්පත් තමයි ලැබෙන්නේ. පාසල් දරුවන් කියන්නේ අපේ අනාගත සම්පත. ඒ නිසා තමයි පාසල් සඳහා ජලය ලබාදෙන්නේ. නමුත් වැඩිපුරම ජලය නාස්ති කරන්නේ පාසල් පද්ධතිය තුළ. මේ පිළිබඳ විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ අවධානය යොමුවිය යුතු බවද ඒකනායක විරසිංහ මහතා සඳහන් කරන්නේය.

යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04