2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

සරසවි යන්නට පාර හදාගත් අංක එකේ සිසුවෝ

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 86

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත්වුණි. මෙම විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 272,682කි. එයින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 236035 වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 36,647කි. ලැබූ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 171,497කි. එහි ප්‍රතිශතය වන්නේ 62.9෴කි. පෙනී සිටි අයදුම්කරුවන් අතරින් පාසල් අයදුම්කරුවන් තිස් හත් දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් දොළොස් දෙනෙකු ඇතුළු අයදුම්කරුවන් හතළිස් නව දෙනකුගේ විභාගය අත්හිටුවා ඇත.

මෙම ප්‍රතිඵලවලට අනුව ගණිත විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා ලෙසින් සමත්වූයේ කොළඹ රාජකීය විදුහලේ සහන් සමරකෝන් සිසුවාය.

''මේ ජයග්‍රහණය ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මේ අවුරුදු තුන තුළදී මම මේ ජයග්‍රහණය ලබාගන්න ගොඩක් මහන්සි වුණා. මේක අපි හැමෝගෙම අමාරු කාලයයි. ඒ දේ මටත් තේරෙනවා. නමුත් මොන අමාරු කාලයේදී වුණත් පාඩම් කිරීම නතර කරන්න එපා. දිගටම පාඩම් කරන්න කියල මම මේ රටේ ඉන්න නංගිලා මල්ලිලාට කියනවා.'' යැයි සහන් තම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ප්‍රතිඵලවලට අනුව වාණිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ඉෂිනි නේහා සිසුවියයි.

''මගේ ජයග්‍රහණයට මට උදව් කරපු මගේ දෙමව්පියන්ට, මගේ පාසලේ විදුහල්පතිනි ඇතුළු සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත්, මගේ යාළුවන්ටත් ස්තූති කරන්න ඕනේ. කොවිඩ් කාලයේදී අපි Online වලින් තමයි වැඩිපුරම ඉගෙන ගත්තේ. මහන්සි වුණොත් හොඳ ප්‍රතිඵල අපිට ලබාගන්න පුළුවන්.'' යැයි ඉෂිනි පවසන්නීය.

මඩකලපුව ශාන්ත මයිකල් විදුහල මෙම ප්‍රතිඵලවලට අනුව ජයග්‍රහණයක් හිමිකරගත් පාසලකි. එම පාසලේ ඉගෙනුම ලැබූ තමිල්වානන් තුවාල්ශේෂ් සිසුවා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ප්‍රථමයා විය.
''මගේ ජයග්‍රහණය වෙනුවෙන් මට බොහෝදෙනා උදව් කළා. කොවිඩ් කාලයේදී පාසල් තිබුණ කාලයේදීත් මම හැමදාම පාසල් ගියා. මම නිවැරදි ලෙසින් කළමනාකරණය කරගත්තා. මගේ ජයග්‍රහණය ගැන මට ගොඩක් සතුටුයි. ඒ සතුට මට ලබාදුන්නු හැමදෙනාටම ගොඩක් ස්තූති කරන්න ඕනේ...'' තම ජයග්‍රහණයෙන් පසුව තමිල්වානන් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.

මෙම ප්‍රතිඵලවලට අනුව කලා අංශයෙන් ප්‍රථමයා ලෙසින් ජයග්‍රහණය ලබන්නේ බදුල්ල කැන්දගොල්ල මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන එච්.එම්. ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවාය.

''කොවිඩ් කාලය තුළදී අධ්‍යාපනය හැදෑරීම ලෙහෙසි වුණේ නැහැ. අපි ලබාදෙන විෂය කරුණ මම හොඳින් පාඩම් කළා. කොවිඩ් කාලේදී Online ඉගෙන ගනිද්දී නිසි පරිදි සිග්නල් තිබුණෙත් නැහැ. ඒ අමාරුකම් හැමදෙයක්ම විඳගෙන තමයි මම මේ ජයග්‍රහණය ලබාගත්තේ. මගේ අම්මට තාත්තාට පවා ස්ථීර රස්සාවක් තිබුණේ නැහැ. ඉගෙන ගනිද්දී පවා යාළුවන් මට ගොඩක් උදව් කළා. ඒ අයගේ සටහන් පවා මට ලබලා දුන්නා. ඒ නිසා මේ ජයග්‍රහණය ලබාගන්න මට උදව් කරපු හැමදෙනාටම මම ස්තූති කරනවා.''

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ නාරම්මල මයුරපාද ජාතික පාසලේ ඉගෙනුම ලබන පී.ඒ. නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවාය.

''මෙම විභාගය වෙනුවෙන් අපිට වැඩි කාලයක් ඉගෙනුම ලැබීමට සිදුවුණේ Online ක්‍රමයටයි. මීට පෙර එවැනි ක්‍රමයකට ඉගෙනගත්තු නැති නිසා මේක අපි හැමදෙනාටම අළුත් අත්දැකීමක් වුණා. කෙසේ හෝ ඒ ක්‍රමයටත් අපි හැඩගැසුණා. මම දිවයිනෙන්ම ප්‍රථමයා වේවි යැයි හිතුවේ නැහැ. මට දිවයිනෙන් දහදෙනා අතරට එකතුවෙන හීනයක් තමයි තිබුණේ. මේ ජයග්‍රහණය ලබාගන්න මට උදව් කරපු මගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, මගේ යාළුවන්ට, මගේ හිතවතුන්ට වගේම මගේ සහෝදරයාටත් මම ස්තූති කරනවා. අනාගතයේදී මෘදුකාංග ඉංජිනේරුවෙක් වීම මගේ බලාපොරොත්තුවයි.'' දිල්හාර තම ජයග්‍රහණයෙන් පසුව පැවසුවේ එලෙසිනි.

මෙවර ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් ප්‍රථමයා වුණු කොළඹ දේවි බාලිකා විදුහලේ ඉගෙනුම ලබන ඉසුරි පබසරා ලොකුපතිරගේ තම ජයග්‍රහණය සම්බන්ධයෙන් තම දෙමව්පියන්ට සහ තම ගුරු මණ්ඩලයටත් තම මිතුරියන්ටත් ස්තූති කළාය.
මෙලෙස දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලැබූවන් අතරට ජීවිතය ජයගත් තවත් සිසුවියක්ද ඇහැලියගොඩ ජාතික පාසලෙන් වාර්තා විය. ඒ එම පාසලේ ඉගෙනුම ලබන රශ්මි නිමේෂා ගුණවර්ධන සිසුවියයි. ඇය මෙවර උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් A සාමාර්ථ තුනක් ලබමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තාය. රශ්මි නිමේෂා උපතින්ම දෙඅත් අහිමි වුණ දියණියකි. ඇගේ එක් පාදයක්ද අසාමාන්‍ය ලෙසින් වැඩී ඇත. ඇය කුඩා කල පටන්ම අකුරු ලියන්නට පුරුදු වූයේ ඇගේ වම් පාදයෙනි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ඉහළින්ම සමත් වූ රශ්මි සාමාන්‍ය පෙළ විභාගයෙන්ද ඉතා ඉහළින්ම සමත්කම් ලැබීය. මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට තම පාදයෙන් පිළිතුරු සපයා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් රශ්මි නිමේෂා ඉතා ආදර්ශමත් සිදුවියකි.

අ.පො.ස. උසස් පෙළ 2021 විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ට නැවත 2022 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 2022.09.01 දින සිට 2022.09.08 දින දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට හැකිවන අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පතේ ඉදිරිපත් කළ යුතු දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න