වසර කිහිපයකට පෙර යහපාලන රජය සමයේ මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමටද පියවර ගත් අතර මුල් අදියරේදී එයට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 19ක් ලෙස සඳහන් විය. එම ව්‍යෘපෘතියේ කටයුතු සිදුකෙරුණේ යුදහමුදාවේ එකොළොස් වැනි ඉංජිනේරු කාරක රෙජිමේන්තුව මගිනි.
බුලන්කුලම වැව සියවස් 20කට වඩා ඉතිහාසයක් සහිත වැවකි. ඒ අනුව එහි ඉතිහාසය දෙවැනි පෑතිස් රජ සමයට ආසන්න කාලයක් දක්වා ඇදී යයි. මහ වැව් ඉදිකිරීමට පෙර තැනූ කුඩා වැවක් වශයෙන් සැලකිය හැකි මේ වැව පසුව මහකනදරාව වැවේ කුළු වැවක කාර්යය ඉටුකරයි. අග්බෝ රජ සමයේදී මිහින්තලා පෙරහැර අරඹා ඇත්තේද මෙම බුලංකුලම වැව පාමුලින් බව පැවසේ.
එවැනි වැදගත්කමක් සහිත බුලංකූලම වැවේ වාන ප්‍රදේශීය දේශපාලකයන් තම හෙංචයියලාට විකිණීම කලක පටන් සිදුවන බව ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගූණවැවේ ධම්මරතන හිමියෝ අප සමඟ පැවසූහ.
ඓතිහාසික මිහින්තලා පුදබිමට නුදුරින් පිහිටි මිහින්තලේ නගර මධ්‍යයේ ඒ 9 මාර්ගය අසල බුලංකුලම වැවේ වාන ප්‍රදේශයේ මීට පෙර ඉදිකර ඇති උද්‍යානයේ තිබූ ගස් කීපයක් කපා දමා ඇතැයිද ධම්මරතන හිමියෝ පවසති. පොදු වෙළඳපළ අවට ඉඩම් කට්ටි කීපයක ඉදිකිරීම් කර ඇති අයුරුද එහි යන කාටත් දැකගැනීමට ලැබෙන කරුණකි.
මේ පිළිබඳව අදහස් විමසීමට අප ඇමතුවේ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ටය. උන් වහන්සේ අප සමඟ මෙසේ පැවසූහ:
''නාගරික සංවර්ධන අධිකාරිය මගින් ජනතාවගේ ප්‍රයෝජනයට වැවේ ඉස්මත්තේ අවුරුදු කීපයකට පෙර උද්‍යානයක් හැදුවා. උද්‍යානය හැදුවත් එහි පැමිණ විනෝදවන මිහින්තලේ අවට ජනතාවක් දකින්න නෑ. අද එම උද්‍යානය කුඩුකාරයන්ගේ තිප්පොළක් වෙලා බවයි පේන්නේ. යහපාලන ආණ්ඩුව කාලේ මිහින්තලා කන්දෙන් ජලය ගලා එන මාර්ගය හරස් කරමින් තමයි උද්‍යානය හදලා තියෙන්නේ. මේ නිසා ජල මාර්ගය අවහිර වෙලා. ජලය වැවට ගලා යාමට විදිහක් නැති නිසා වැසි කාලෙට පාර වැස්සට යටවෙනවා. මේ උද්‍යානය වටේට සැලැස්මක් නැතිව ප්‍රාදේශීය සභාව කඩ කාමර හදලා. මේ ඉදිකිරීම්වලට මාර්ග සංවර්ධන අධිකාරියත් විරුද්ධයි. මේවා ගැන දැනුම් දෙන්න මිහින්තලේ පූජා නගර සංවර්ධන කමිටුව තිබුණත් ඒක අවුරුදු ගනණකින්වත් රුස්වෙලා නෑ. මේ ඉදිකිරීම්වලට පුරාවිද්‍යා අනුමැතියත් අවශ්‍ය වෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියත් අවශ්‍යයි. නමුත් ප්‍රාදේශීය සභාව හිතුමනාපෙට වැඩකරන බවයි පේන්නේ.''
ඒ හිමියෝ වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියහ.
''එදා අනුරාධපුර යුගයේ රජවරුන්ගේ කාලේ මිහින්තලේ රජමහා විහාරය පසුබිම් කරගත් සැලසුම් සහිත නගරයක් හැටියට පැවතුණු බව පේනවා. එම නගරයේ කොටස් අද වනවිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ප්‍රබල දේශපාලනඥයන් සහ ඇතැම් සභිකයන්ගේ ඕනෑ එපාකම් මත ඔවුන්ගේ හිතවතුන්ට විකුණලා තියෙනවා. මහ රහතුන් වහන්සේලා වසම්මලේ කන්දේ බවුන් වඩා එදා දහවල් දානයට වැඩම කළේද මෙම බුලන්කුලම වැව් බැම්ම මතින්. එවැනි ඓතිහාසික භූමියක් පිහිටි වැව අවට කුඩා කෑලිවලට කඩා විකුණලා අවසන්. ප්‍රාදේශීය සභාවේ ඉන්න නිලධාරීන්, ඇතැම් සභිකයන් හා එහි ප්‍රධානීන් සෘජුවම ඊට වගකිව යුතුයි.''
මිහින්තලේ මිහිඳු ගොවි සංවිධානයේ සභාපති කේ. කීර්තිසේන සඳහන් කරන්නේ බුලන්කුලම වැවේ වාන මත උද්‍යානය නිර්මාණය කරන විට වැවේ ජලය ලබාගන්නා ගොවි සංවිධානවලට කිසිදු දැනුම් දීමක් නොකළ බවයි.
මෙම සිද්ධිය ගැන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න පවසන්නේ චෝදනා කරන තරම් අකටයුතු ඉදිකිරීමක් එහි සිදුව නැති බවයි. ඔහු පවසන්නේ කපා ඇත්තේ එක් ගසක් පමණක් බවයි.
උතුරු මැද පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. සෝමරත්න සඳහන් කර ඇත්තේ එවැනි ඉදි කිරීමක් සඳහා කමිටු තීරණයක් අරගෙන නැති බවත් එක් ස්ථානයක ගස් තුනක් කපා තිබෙන බවත්ය.
වැව පමණක් නොව අවට පැතිර යන මිහින්තලේ පූජා භුමියද අද වනවිට අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇත. පූජා භූමිය සහ අවට කඳුගැටවල වනාන්තර ඇතුළත් වන පරිදි අභය භූමියක් ලෙස නම්කර ඇත්තේ එහි පාරිසරික ආරක්ෂාව සඳහාය. දේවානම් පියතිස්ස සමයේ පටන් පැවති ලංකාවේ මුල්ම අභය භූමිය ලෙස සැලකෙන මිහින්තලේ අභය භුමියට නීතිමය ආරක්ෂාව ලැබුණත් මෙහි ජීවත්වන වනසතුන්ට දඩයක්කාරයන්ගෙන් අනුකම්පාවක් නැත.
මිහින්තලේ විහාරාධිපති හිමියන් සඳහන් කළේ නරගයේ අකටයුතුකම් මදිවාට මිහින්තලේ අභය භූමියේ සතුන් මැරීමේ ජාවාරමක්ද කලක පටන්ම තිබෙන බවයි. ''කඳන් බඳිනවා වල් ඌරා, මුවා වගේ සතුන් මැරීමට. අරක්කු පෙරීමත් සිදුවෙනවා. ඒ 13 පාරේ නාමල්වැව අසල මේ ජාවාරම් වැඩියි. මේවා කලක පටන් සිදුවෙනවා. විසඳුමක් නෑ...''
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ: ලංකාදීප අනුග්‍රහයෙනි