රටේ පවතින ආර්ථික අර්බුදය ඉදිරියේදී තව තවත් උග්‍රවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් සහ ඇතැම් රාජය අංශ අනතුරු ඇඟවීමට පටන්ගෙන ඇති අතර යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ආර්ථික අර්බුදය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දරුවන් කෙරෙහි අහිතකරව බලපා ඇති බවකි. එම සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා ඇස්ජේ ශ්‍රී ලංකාවේ සංචාරයකින් පසු නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව දරුවන් පිළිබඳ ගොඩනගාගෙන තිබූ ප්‍රගතිය ආපසු හැරීමේ අවදානමකට ලක්ව ඇති අතර ඉදිරියේදී එම ප්‍රගතිය ඇතැම් විට නැත්තටම නැතිවිය හැකි බවය.
එම සංවිධානයේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර 6 වැනි තැනට පත්ව ඇති අතර, දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතර, 2 ස්ථානයට පත්ව ඇති බවකි. රටේ පවතින ආර්ථික අර්බුදය නිසා ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට දරුණු බලපෑම් එල්ල වී ඇති අතර, වැඩි අවදානමකට ලක්ව ඇත්තේ දුප්පත් පවුල්වල දරු දැරියන් බවද එහි සඳහන් වේ. ශ්‍රී ලංකාවේ දරුවන්ට ඔවුන්ගෙන් හරි අඩකට පමණ කුමන හෝ ආකාරයක හදිසි සහායක් අවශ්‍යව ඇති බවද එම නිවේදනයේ දැක්වේ. මෙයට පෙර දරුවන්ට සැපයූ උණුසුම් සහ පෝෂ්‍යදායී ආහාරවේල තවදුරටත් ඔවුන්ට නොලැබෙන තත්ත්වයක් උද්ගතව තිබේ.
පසුගියදා අනාවරණය වූයේ පාසල් දරුවන්ට ආහාර සැපයීම සඳහා ගිවිසුම්පත් අත්සන් කිරීමට කොන්ත්‍රාත්කරුවන් අකැමැති වී ඇති අතර එයට හේතුව ඒ සඳහා එක් ආහාර වේලකට ගෙවනු ලබන්නේ රුපියල් 60ක් වීම නිසා බව දැනගන්නට තිබේ. ඒ නිසා ඉදිරියේදී මිල වැඩි නොකළහොත් ආහාර සැපයීම සම්පූර්ණයෙන් අඩාල වෙනවා ඇත.
දෙමාපියන්ගේ ආදායම් තත්ත්වය අනුව කුටුම්භයක සාමාජිකයන්ට දවසේ එක වේලක් හෝ කුසපුරා ආහාරයක් ගැනීමට නොහැකි වී ඇති අතර ජනගහණයෙන් සියයට හැටකට ඊළඟ ආහාර වේල ගැනීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවද අනාවරණය වෙයි. පවුලකට ලැබෙන ආදායම හා ආහාර වියදම පිළිබඳ ගවේෂණයක යෙදෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල දැක්වූ අදහස් පහත සටහන් කර ඇත.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2022 වසරේ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 66.2කි. මේ තුළ ආහාර උද්ධමනය සියයට 82.5ක් සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන අනුපාතිකය 52.4 ලෙස වාර්තා වෙයි. මෑත ඉතිහාසයේ ඉහළම උද්ධමන අනුපාතිකය මෙයයි. මෙම අධික උද්ධමනය නිසා මේ වනවිට රටේ ඉතාම පහළ ආදායම්ලාභී පවුල්, නාගරික පැල්පත්වාසීන්, දිනපතා වැටුප් ලබන කම්කරුවන්, කුලීකරුවන් සහ ධීවරයන් වැනි ආර්ථික සමාජ කාණ්ඩ මේ වනවිට දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත.
2019 වර්ෂය වනවිට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෙරට සාමාන්‍ය පවුලක වියදම පිළිබඳ තොරතුරු දක්වා තිබේ. රටේ ජීවත්වන සාමාන්‍ය පවුලක සමස්ත වියදම මාසිකව රුපියල් 63130 වේ. ඒ අනුව සාමාජිකයන් හතරකින් සමන්විත පවුලක එක් අයෙකුගේ මාසික වියදම රුපියල් 16,000කට ආසන්න වේ. එහෙත් වර්තමානයේ දැඩි උද්ධමනකාරී තත්ත්වය තුළ එදා කළ ඒ මූලික වියදම් පිරිමසා ගැනීම සඳහා රුපියල් එක්ලක්ෂ දස දහසක 1,10,000ක පමණ මුදලක් අවශ්‍යයි.
2019 දී රුපියල් 63,130 වැයකළ පවුලකට බඩු මිල විශාල ලෙස වැඩිවීම නිසා හා අමතර වැයවලට මුහුණදීමට සිදුවීම නිසා විශාල දුෂ්කර තත්ත්වයකට පත්ව සිටී. මේ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ප්‍රකාරව පුද්ගලයකුගේ මාසික වියදම රුපියල් 27,500 දක්වා ඉහළ නැග තිබේ. මේ ලංකාවේ පහළම ආදායම්ලාභියකුගේ වියදම වෙයි. මාධ්‍ය ආදායම් ලබන පවුල්වලට පහළ ආදායම ලබන සියයට 10ක් වූ කණ්ඩායම ගැන සලකා බැලූවිට 2019 වසරේදී ඒ අයගේ මාසික වියදම රුපියල් 14,592ක් වී තිබේ. මේ වනවිට එදා ඔවුන් කළ වියදම අද කරනවා නම් වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් 25390කි. මෙහිදී අමතරව රුපියල් 10,800ක් වැය කිරීමට සිදුව තිබේ.
රටේ මැදි ආදායම් ලබන පවුලක් 2019 දී මාසිකව වැයකළ මුදල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රුපියල් 47,640ක් වෙයි. මෙම කණ්ඩායමට රාජ්‍ය අංශ සේවකයන්, පෞද්ගලික අංශ සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ස්වයංරුකියා ලාභීන් ඇතුළත්ය. 2019 ගතකළ ජීවන මට්ටම රුක ගැනීමට නම් ඔවුන්ට මාසිකව රුපියල් 82,900 වියදම් කරන්නට සිදුවෙයි. මෙය අමතරව රුපියල් 35,000ක වැයකි.
රටේ ජනගහණයෙන් ඉහළම ආදායම් ලබන පවුල් කාණ්ඩ සියයට 10ට 2019 වසරේදී මාසික සමස්ත වියදම වූයේ රුපියල් එක්ලක්ෂ අනූ අටදහස් එකසිය හැට නමයකි. (1,98,169) මෙම පවුල් කාණ්ඩයට එම ජීවන රටාව දැන් ගෙවීමට නම් රුපියල් තුන් ලක්ෂ හතළිස් හතර දහස් අටසියයක් (3,44,800) වියදම් කළ යුතුව තිබේ. මෙහිදී ඔවුන්ට අමතරව වැයකළ යුතු මුදල රුපියල් එක් ලක්ෂ හතළිස් හත් දහසක් (1,47,000) වීමෙන් පවතින අර්බුදයේ බැරූරුම්කම තේරුම් යනවා ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක ආදායමට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සොයාබැලිය යුතුය. ආදායමේ මූර්ත අගය ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව විශාල ලෙස පහළ වැටි ඇති බව අවබෝධ වෙයි. එයට හේතුව භාණ්ඩ හා සේවා මිල අසීමිත ලෙස ඉහළ යාමය. 2019 වසරේදී රටේ සාමාන්‍ය පවුලක මාසික ආදායම රුපියල් 76,414කි. මේ තුළ ඉහළ මෙන්ම පහළ ආදායම් මට්ටම්ද අඩංගුය. ඒ අනුව එදා කළ රුපියල් 76,414 වටිනාකම අද වනවිට රුපියල් 43,400කට සමාන වී තිබේ. මේ අනුව 2019දී රුපියල් 43,400ක ආදායම් ලැබූ පවුලක් අද එම පවුල රුපියල් 76,414ක මාසික ආදායම ලැබීම එකිනෙකට සමාන වෙයි. වැඩි ආදායමක් ලැබුවා යැයි ඔවුන්ට සිදුවන යහපතක් නැත. ජීවන තත්ත්වය උසස් නොවේ.
2019 වනවිට රටේ පහළම ආදායම් ලබන සියයට 10ක මෙසේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 20,734ක් විය. එහි මූර්ත වටිනාකම අද වනවිට රුපියල් 11,780 දක්වා පහළ ගොස් තිබේ. එසේම 2019දී මැදි ආදායම් ලබන පවුලක මාසික ආදායම රුපියල් 58,700ක් වූ අතර එහි අද නියම වටිනාකම රුපියල් 33,400ට ආසන්න වෙයි. රටේ ඉහළම ආදායම් ලබන සියයට 10 සලකා බැලූ විට 2019 දී ඔවුන්ගේ මාසික ආදායම රුපියල් දෙලක්ෂ තිස්පන් දහස් දෙසීය පනස් තුනකි. (2,35,253) එම මුදලේ අද වටිනාකම රුපියල් එක් ලක්ෂ තිස් තුන් දහස් හත්සියය දක්වා (1,33,700) දක්වා පහළ බැස තිබේ.
මෙහිදී අපට පැහැදිලි වන්නේ 2019 වසරේ සිට 2022 වසර මුල් භාගය දක්වා පුද්ගලයාගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය සියයට 74කට ආසන්න ප්‍රමාණයෙන් පහළ වැටී ඇති බවය. මෙම සංඛ්‍යාව සාමාන්‍යයෙන් පුද්ගලයාගේ ආදායම හා වියදම අනුව ගණනය කර තිබේ.
රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල තත්ත්වය මෙයට වඩා සංකීර්ණ වෙයි. 2019 දී රටේ ගණනය කළ නිල දරිද්‍රතා මට්ටම රුපියල් 6966ක් විය. එහි අදහස නම් මාසිකව අවම වශයෙන් රුපියල් 6966ක් වත් උපයා නොගන්නා අය අන්ත දුප්පතුන් බවය. මෙහි සරලව කියැවෙන්නේ යම් පුද්ගලයකුට ජීවත්වීම සඳහා අවශ්‍ය අවම කැලරි ප්‍රමාණය ලබා ගැනීමට නම් 2019දී මසකට රුපියල් 6968ක් වැයකළ යුතු බවය. මේ අනුව හතර දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 27900ක ආදායමක් මාසිකව තිබීම අවශ්‍ය වෙයි. එසේ නොවේ නම් දරිද්‍රතාවයෙන් පෙළේ.
2022 වසරේ ජනවාරි මාසයේ සංඛ්‍යාලේඛන අනුව නිල දරිද්‍රතා මට්ටමේ අගය මාසිකව රුපියල් 8923 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව හතර දෙනකුගෙන් යුත් පවුලකට අවම කැලරි ප්‍රමාණය ලබාගැනීම සඳහා රුපියල් 35,700 මාසිකව වැයකිරීම අවශ්‍ය වෙයි. එයට අඩු පවුල් දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් වෙයි. මෙය 2022 වසරේ ජනවාරි වන අතර, 2022 ජූනි මස වනවිට නිල දරිද්‍රතා මට්ටම රුපියල් 12,444 දක්වා ඉහළ ගොස් තිබේ. එයින් අදහස් කරන්නේ හතර දෙනකුගේ පවුලකට අවම කැලරි ප්‍රමාණය ලබා ගැනීම සඳහා මාසිකව රුපියල් 49,776 හෙවත් රුපියල් 50,000කට ආසන්න මුදලක් අවශ්‍ය වන බවකි. ඒ අනුව රුපියල් 50,000කට අඩුවෙන් ලබන පවුලක් දරිද්‍ර පවුලක් ලෙස හැඳින්වීමට සිදුව ඇත.
2019 වසර වනවිට මාසික පාරිභෝගික වියදම රුපියල් ලක්ෂයක් ඉක්මවූ පවුල් තිබුණේ පන් ලක්ෂ හැත්තෑ දහසකි. (5,70,000) එම පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 22ක් විය. එහෙත් අද වනවිට මාසික පාරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්මවූ පවුල් සංඛ්‍යාව මිලියන 2.28ක් හෙවත් ලක්ෂ 23ට ආසන්න වෙයි. එම පවුල්වල පුද්ගලයන් ප්‍රමාණය ලක්ෂ 84 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය සමය තුළ සාමාන්‍ය පුද්ගලයකුගේ ආදායම වැඩිවීමක් සිදුව නැත. විවිධ හේතු නිසා බොහෝ දෙනකුගේ ආදායම අහිමි වී ඇත. මෙම තත්ත්වය මත එලෙස ආදායම් පහළ ගිය අය සමග රාජය හා පෞද්ගලික අංශවල රුකියාවේ නියුතු ස්ථාවර ආදායමක් ලබන අයට විශාල හානියක් සිදුව තිබේ. ඔවුන්ගේ ආදායම අත්‍යවශ්‍ය දේ සඳහා සෑහෙන්නේ නැත. එවිට සිදුවන්නේ කුමක්ද? ජීවත්වීම සඳහා තම දේපල විකිණීම, උගස් කිරිම, කළුකඩයෙන් වැඩි පොලියට ණයට ගැනිම වැනි උපාය මාර්ගවලට අවතීර්ණ වීම නොවැළැක්විය හැකිය. අද ඇතිව ඇති තත්ත්වය එයයි. ඉදිරියේදී මෙය තවත් වර්ධනය වනවා ඇත. වියදම් පාලනය සඳහා ඔවුන්ට දරුවන්ගේ අධ්‍යාපන වියදම් අඩු කිරීම, සෞඛ්‍ය වියදම් කප්පාදු කිරීම, ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීම සහ ආහාරවල ගුණාත්මක භාවය පහළ දැමීම ආදියට යොමු වීමට සිදුවෙයි. මෙයින් ප්‍රධාන ලෙස පෙනෙන්නේ ආදායම වැඩි නොවී වියදම ඉහළ යාමට දරුවන්ගේ අවශ්‍යතාවලට වැය කිරීමට බාධකයක් වන බවය. ජාතියේ ජීවනාලිය වන දරුවන්ට මෙමගින් සිදුවන හානියේ ප්‍රතිඵල අද හෙට දක්නට නොලැබුණද තව අවුරුදු 10-15කින් යනවිට පෙනෙන්නට ලැබෙන බව කිවයුතුය.
අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු මන්දපෝෂිත පරපුරක් නුදුරු අනාගතයේදී බිහිවීම නොවැළැක්විය හැකි බව පෙනෙන්නට තිබේ. එය අනාගතයේ දුර්වල රෝගී, අධ්‍යාපනය නොලැබූ ජනතාවක් ජනිත වීමට හේතු වෙනවා ඇත. මේ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමුවිය යුතු බව පෙන්වා දිය යුතුය. රට තුළ පවතින අධික උද්ධමනකාරී තත්ත්වය පහත හෙලීමට මෙන්ම ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දැමීමටද රජය කඩිනමින් පියවර ගත යුතුවේ. එසේ නොවුණහොත් එයින් ඇතිවන ආර්ථික සහ සමාජ ප්‍රතිවිපාක ඉතා විශාල විය හැකි බව පෙන්වා දෙමි.
යසවර්ධන රුද්රිගු