2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

වැරදීමකින් පුතා පැහැරගත් කප්පම් රොත්තම පැය දහයෙන් කොටුවෙති

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 75

ඉන්ධන පිරවුම්හල් ඇතුළු ව්‍යාපාර කිහිපයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයා පැහැරගෙන රුපියල් පනස් හය ලක්ෂයක කප්පම් මුදලක් ගැනීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් හත්දෙනකු පැහැර ගැනීම සිදුවී පැය 10ක් තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූහ. පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරික පුත්‍රයා නිරුපද්‍රිතව බේරාගෙන කප්පම්කරුවන් ලබාගෙන තිබූ ලක්ෂ 56ක මුදලද අත්අඩංගුවට ගැනීමට වත්තල පොලීසියේ නිලධාරීහු සමත් වූහ.

වත්තල හා මීගමුව අවට ව්‍යාපාර කිහිපයක් හිමි ධනවත් ව්‍යාපාරිකයාට වත්තලට නුදුරු ස්ථානයක ඉන්ධන හලක් විකිණීමට ඇති බව ආරංචි වී එය මිලදී ගෙන තිබුණේ මීට දෙවසරකට පමණ පෙරය. මිලට ගත් ඉන්ධන හල පිහිටි ගම් ප්‍රදේශයේ පදිංචි බ්‍රෝකර්වරයෙකි. ඔහුට කෙසේ හෝ මෙම ඉන්ධන හල විකිණීමේ ගනුදෙනුව මඟහැරී තිබුණි. ඒ පිළිබඳ යම් මදිපුංචිකමක් ද ඔහුට දැනී තිබුණි. ගනුදෙනුව මඟහැරීම නිසා ඔහුට අහිමි වන්නට ඇතැයි කියන ආදායම ලක්ෂ ගණනකි. මේ නිසා ''මගේ බ්‍රෝකර් ගාස්තුව තාම ලැබුණෙ නෑ.. දැන් කල් ගත වුණා ඇති. පොරොන්දු මුදල ලක්ෂ 56 යි. ඒක ඉක්මනට දෙන්න.'' යැයි බ්‍රෝකර්කරු විසින් ව්‍යාපාරිකයා අමතා දන්වා තිබුණේ දුරකථනයෙකි. ඉන්ධන හල මිලට ගැනීම සඳහා තෙවැනි පාර්ශ්වයක් සම්බන්ධ කොට නොගත් නිසා එම ඉල්ලීම ව්‍යාපාරිකයා ගණනකට ගෙන නැත. නමුත් අදාළ පුද්ගලයා අවස්ථා කිහිපයකදී මෙම කරුණ දුරකථනයෙන් මතක් කර දී තිබුණි.

අදාළ බ්‍රෝකර්වරයා නිරතුරුවම සිතා තිබුණේ තමාට ලක්ෂ 56 ක් ලැබිය යුතු බවකි. එම සිතුවිල්ල උපක්‍රමයක් ලෙස භාවිත කරමින් අදාළ මුදල ලබාගන්නට සිතූ බ්‍රෝකර්වරයා හිතවතකු සමඟ ඒ පිළිබඳව කතිකා කරගෙන තිබුණි. ඒ අනුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ එම පුද්ගලයාට හිතවත් ජාඇල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට භාර දී තිබුණේ එම කෝටිපති ව්‍යාපාරිකයා පිළිබඳව සෙවීමටය. ඔවුන් දෙදෙනා ව්‍යාපාරිකයාට අයත් ව්‍යාපාර, ඉඩකඩම්, ගෙවල්, වාහන ඇතුළු දේපළ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි කරගෙන තිබුණි. ව්‍යාපාරිකයා නිරතුරුවම ගමන් කරන්නේ රේන්ජ් රෝවර් වර්ගයේ නවීන රථයක බවද තහවුරු කරගෙන තිබුණි.

එම තොරතුරු ලබාගැනීමෙන් පසුව තවත් දන්නා කියන පිරිසක් යොදවා ව්‍යාපාරිකයා පැහැර ගැනීමට බ්‍රෝකර්වරයා සැලසුම් කළේය. ඒ සඳහා පුද්ගලයන් සිව්දෙනකු යොදාගෙන තිබූ අතර ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවෝ වෙති. එම පිරිසට සුදු පැහැති රේන්ජ් රෝවර් රථයට හිමි CBO 1977 අංකය ලබා දී තිබුණේ රථය සමඟින්ම පැහැර ගැනීම සඳහාය.

අදාළ පැහැර ගැනීම සඳහා සම්බන්ධ වූ ජාඇල ප්‍රදේශයේ අයෙකි. ඔහු ප්‍රසිද්ධ කුලී රථ සේවාවක කුඩා වෑන් රථයක් වෙන් කරගෙන තිබුණේ අදාළ කටයුතු නිමකර ගැනීමේ අදහසිනි. ව්‍යාපාරිකයා පදිංචි කඳාන ප්‍රදේශයේ නිවෙසට යන අතරමඟ මාර්ගයේ ගෙදරක වෑන් රථය සමඟ රුඳී සිටි කල්ලියේ පිරිස රේන්ජ් රෝවර් රථය එනතුරු බලා සිටියහ. මේ අතර මොහොතක හඳුනාගත් රේන්ජ් රෝවර් රථය කෙරවළපිටිය දෙසට ධාවනය වනු දැක පිරිස එය ලුහුබඳින්නට වූහ. ටික වෙලාවකින් එම රථය ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක් ඉදිරිපිට නවත්වා තිබිණ. ඉන් බැස තිබුණේ තරුණයෙකි. ඡායාරූප ශාලාව වෙත ගිය ඔහු තරමක ඡායාරූප රාමුවක් අතැතිව රථය අසලට පැමිණියේය. එහෙත් වේලා එවුරි වර්ගයේ කුඩා වෑන් රථයට වී මඟ බලා සිටි හතර දෙනාගෙන් යුත් පිරිස වහාම තරුණයා වෙත කඩා පැන ඔහුව අල්ලාගෙන රථය පසුපසින් ඇතුළට විසිකර දැමුවේ අමානුෂික ලෙසය. එසැණින් අත් කකුල් ගැටගසා දැමූ තරුණයා රුගෙන වාහනය ධාවනය කොට තිබුණේ මීගමුව දෙසටය.

අනතුරුව ජාඇල, ඒකල, කොටුගොඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයකට ගමන් කර තරුණයා එම ස්ථානයක රැඳවීමට ඔවුහු කටයුතු කළහ. මේ අතර රේන්ජ් රෝවර් රථය ජාඇල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයක රථගාලක නවත්වා දෙදෙනෙක් ඉන් පිටතට පැමිණි අතර පසුව දුර සිට එදෙස බලා සිට නැවත ත්‍රිරෝද රථයකින් පිටව ගියහ. අනතුරුව කුලී වෑන් රථයට නැග යන පිරිස ගණේමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ චණ්ඩියකුගෙන් උපදෙස් ලබාගැනීමට කටයුතු කර තිබුණු අතර නැවත කොටුගොඩ ප්‍රදේශයේ නිවෙසට යන පිරිස ව්‍යාපාරිකයාට දුරකථන ඇමැතුමක් ලබා දී ''පුතා අපි ළඟ ඉන්නවා.. නිදහස් කරන්න නම් ලක්ෂ 56ක් දෙන්න.'' කියා තිබුණි.

ව්‍යාපාරිකයා පැහැර ගැනීම මූලික සැලසුම වුවද බ්‍රෝකර්වරයාගේ අදහස මේ වන විටත් වැරදී තිබුණේ පැහැර ගැනීමට ගිය පිරිස ව්‍යාපාරිකයා හඳුනා නොගැනීම හේතුවෙනි. ඒ හේතුවෙන් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා පැහැරගෙන තිබුණේ වැරදීමකිනි. මිතුරකුගේ උපන් දින සාදයක් සඳහා සහභාගි වීම සඳහා යමින් සිටියදී එම ව්‍යාපාරික පුත්‍රයා පැහැර ගැනීමට ලක්විය.

පුතා නිදහස් කිරීම සඳහා ලක්ෂ 56ක කප්පම ඉල්ලූ සැණින් එය ලබා දීමට ව්‍යාපාරිකයා එකඟ විය. එය ලබාගන්නා ස්ථානය වරින් වර වෙනස් කරමින් කියන්නට කප්පම්කරුවෝ ක්‍රියා කළහ. මේ අතර සිදුවීම වත්තල පොලීසියට පැමිණිලි කිරීමටද ව්‍යාපාරිකයා කටයුතු කළේය. අවසානයේ කප්පම් මුදල ගිණුම්ගත කරන ලෙස පවසා තිබුණි. එහිදී පොලීසියේ උපදෙස් මත මුදල් රුස්කර ගැනීම සඳහා කාලය ඉල්ලා සිට ඒ අතර කාලයේදී පොලීසිය දුරකථන සංවාද සංඥා කුලුනු ඇතුළු විද්‍යාත්මක සාක්ෂි පදනම්ව විමර්ශන ඇරඹිණි. මුදල් ලබාදීමත් සමඟ ව්‍යාපාරික පුත්‍රයා නිදහස් කර ගැනීම පොලීසියේ අරමුණ විය. විද්‍යාත්මක සාක්ෂි අනුව අදාළ ස්ථාන ආවේක්ෂණය කරන්නට පොලීසිය පියවර ගත්තේය. මේ අතර අදාළ මුදල ගිණුම්ගත කිරීමෙන් පසු පැහැරගත් පුත්‍රයා හිටපු තැනට ගෙනැවිත් ඇරලීමටද කප්පම්කරුවෝ පොරොන්දු වූහ.

මේ අතර කාලයේදී කුලී රථ සමාගමට අයත් රථයේ රියැදුරු කොටුකර ගැනීමට පොලීසිය සමත් විය. ඒ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුවය. අවශ්‍ය සෑම ස්ථානයක්ම හඳුනාගෙන ආවේක්ෂණ රාජකාරි සඳහා නිලධාරීන් යොදවා ඇති පසුබිමක සැකකාර රියැදුරාගෙන් ප්‍රශ්න කර ආ ගිය තැන් සොයාගෙන ලක්ෂ 56ක මුදල බැර කර තිබුණේ බැංකුවට අදාළ විස්තරය දැනුම් දීමෙන් පසුවය. ඒ අනුව ගිණුමේ මුදල් ඇතත් එය හිමිකරුට ලබාගැනීමට නොහැකි වන ලෙස ආරක්ෂා කිරීමට බැංකුව පියවර ගෙන තිබුණි. මේ අතර ගිණුම හිමිකරු ජාඇල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයක් මගින් මුදල් ලබාගැනීමට උත්සාහ ගන්නා බව බැංකුව මගින් පොලීසියට දන්වා තිබුණි. 

ඒ අනුව එම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ හෝටලයක රුඳී සිටියදීය. කප්පම් සිද්ධියේ මහ මොළකරු වූ බ්‍රෝකර්වරයා සමඟ පැහැර ගැනීමට සම්බන්ධ වූ සැකකරුවන් හත්දෙනකු සිදුවීමෙන් පැය 10 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

පසුගිය 27 වැනිදා පෙරවරු 10.45ට පමණ සිදුවූ පැහැර ගැනීමට පෙර බ්‍රෝකර්වරයා පැවසූ බ්‍රෝකර් ගාස්තුව පිළිබඳ කතාව මුසාවකි. පියා වෙනුවට පුතා පැහැරගෙන කප්පම් ගන්නට ගිය සැලසුම ව්‍යර්ථ වූයේ වත්තල පොලීසියේ නිලධාරීන්ගේ කාර්යශූර මෙහෙවර හේතුවෙනි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් මත වත්තල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම, උප පොලිස් පරීක්ෂකවරුන් වන සංජීව, හේරත්, සේනානායක මෙන්ම පොලිස් කොස්තාපල්වරුන් වන 2111 අමිල, 24565 ජයවර්ධන යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර