2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

කුකුළු කොටුවේ දිවිගෙවන පාසල් දැරියෝ

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 622

“ලොකු දුවට අවුරුදු 13යි. පොඩි දුවට අවුරුදු 8යි. මාස 6කට කලින් ලොකු දුව කුකුළු කොටුවේම ලොකු ළමයෙක් වුණා. රූට නිදාගන්නේ බිම. ඇඳුමක් මාරු කරගන්න ලොකු දුකක් විඳිනවා.”

වදලා කුණු බක්කියෙ දමලා යන අම්මලා සිටින රටක කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන මවුවරු මේ ලොව ඕනෑතරම් සිටිති. තම පැටවුන් කූඩුවේ දමා රකින කිකිළියන් ඔබ දැක ඇතත් දියණියන් දෙදෙනකු සමග කුකුළු කොටුවක දිවිගෙවන මවක් මේ මිහිපිට සිටිනු ඔබ මෙයට පෙර දැක ඇත්දැයි සැකසහිතය. කඳුළු අතරින් හිනාවෙන්නට වෙර දරන ඒ ආකාරයේ දරු පවුලක ජීවිත කතාව  අහන්නට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ පාදෙනිය ගම්මානයට අපි ගියෙමු.

තුරුවදුලු මැදින් පාදෙනිය මාර්ගයට වැටෙන හිරුඑළිය පාදෙනිය ගම්මානයට වැටෙන්නේ නැති පාටය. මේ සංවේදී කතාව මෙසේ අසා සිටීමට අපහසුවෙන් හෝ සිත සවිමත් කරගැනීමට ඔබ උත්සාහ දරාවි. අපට එය එසේ කීමටද හැකිය. එහෙත් මේ ඇහෙන හද පාරවන කතාවේ සංවේදී බව හේතුවෙන්ම ඇගේ වචනය අපි අපේ වචනයෙන් මෙසේ පෙරළමු. එහෙයින් මේ කුටුම්භයේ මව අපි ශාන්ති යන නමින් හඳුන්වමු.

එදිනෙදා කුලී වැඩවලින් දිවි සරිකරගෙන ලස්සනට ජීවත් වූ දරු පවුලක සෙනෙහස බේබදුකම උදුරාගෙන ගියේය. එක වහලයක් යට පුංචි පවුලක හීන බොඳ කරමින් බීමත් පියාගේ හැසිරීමෙන් මේ පුංචි පවුල දෙදරන්නට පටන් ගත්තේය. දිගින් දිගටම බිරිඳටත් දියණියන්ටත් පියගේ පහරදීම්, හිරිහැරවල නිමාවක් නොවීය. ශාන්ති රැකියාව විදිහට කරනුයේ කුලී වැඩක් කර මුදලක් සොයාගැනීමයි. පාරට වැටුණත් දරු දෙන්නාට ඉගන්වීමට තරම් කොස් කඳක් වැනි ශක්තිමත් සිතක් ඇති ශාන්ති අහල පහළ වතුවලින් වැටෙන පොල් අතු රුගෙනවිත් ඒවාගෙ ඉරටු ගලවා විකුණන්නීය. ඉන් ලැබෙන සොච්චමෙන් දරු පවුල රැකගන්නීය. ගෙදරක පියකුගෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිවක් මේ පියාගෙන් දැරියන්ට ඉටු නොවුණු බව කියයි.

සැමියාගේ පීඩනය දරාගත නොහැකිව පාරට වැටුණු ශාන්ති සිය දැරියන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් දැඩි තීරණයක් ගත්තාය. දරු දෙදෙනා සමග සැමියාගේ නිවෙසින් පිටවූ ශාන්තිට හමුවූයේ අතහැර දැමූ කුකුළු කොටුවකි. ඇය අවසානයේ එහි සෙවණ පැතුවාය.

“පියාගෙන් වෙන්වෙලා මේ දරු දෙදෙනායි මවයි ආවේ ආච්චි ළඟට. ඒත් ආච්චි ඉන්නේත් බාල සහෝදරයා ළඟ. ඒ නිසා මේ අයට ඉන්න තැනක් නෑ. ගෙයක් හදාගන්න වත්කමක් නැති නිසා දැන් කාලයක ඉඳන් කුකුළු කූඩුවක තමා ඉන්නේ.”
අතහැර දැමූ කුකුළු කොටුවක් රජ මැඳුරක් කරගත්තේ ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් ලැබුණු ටකරන් තහඩුවලිනි. හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙද්දී මැටි බිම ඔවුන්ට සිරි යහනක් වූයේය. වසර ගණනාවකට පෙර ප්‍රවීණ ගීත පද රචක ලූෂන් බුලත්සිංහල කී රජමැඳුර අපි සියැසින් දැකගත්තෙමු. පවුලේ වන්දි නඩුවක් පැහැර හැරියා යැයි කියන පියා මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් භාරයේය.

“දැරියන්ගේ පියා දැනට වාරියපොළ වේරපොළ බන්ධනාගාරයේ ඉන්නේ. දරුවන්ට වන්දි ගෙවන්න නඩුවක් තියෙනවා. දරුවො දෙන්නාට රුපියල් 10,000ක් ගෙවන්න තියෙනවා. ඒක නොගෙවන නිසා රිමාන්ඩ් වුණා.”

පාසල් යන දැරියන් දෙදෙනකු සිටින මේ පවුලේ වැඩිමල් දියණියගේ වයස අවුරුදු 13ක් වන අතර බාල දියණියගේ වයස අවුරුදු 8කි. ඉගෙන ගැනීමට සහජ දක්ෂතා ඇති දියණියන් දෙදෙනකුගේ මවක වීමට ශාන්ති වාසනාවන්ත වූවාය. ටියුෂන් පන්ති කිසිවකට නොගිහින් කඩයිම් ලකුණු දෙකකට ආසන්නයේ ශිෂ්‍යත්වය සමත් වීමට තරම් වරම් ලැබුවාය. බාල දියණිය තුන්වැනි පන්තියේ අධ්‍යාපනය ලබන්නීය.

''දැරියන් දෙන්නාම ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. ළමයි දෙන්නාම ඉස්කෝලෙ යනවා  පුළුවන් විදිහට. ලොකු දුව වැඩිවියට පත්වෙලා මාස 6ක් විතර. රෑට නිදාගන්නේ බිම. මේක ලොකු ඛේදවාචකයක්. ගැහැනු දරුවකුට දොරක් වහගෙන ඇඳුම් මාරු කරගන්න පුළුවන් තනි කාමරයක් හරි තියෙන විදිහේ පොඩි ගෙයක්වත් තිබෙනවා නම් හොඳයි.” 

මේ පවුල ඉඳලා තියෙන්නේ තාත්තාගේ ගෙදර. ඒ ගෙදර දුක් විඳ විඳ ඉන්න බැරි නිසායි ඒ ගෙදරින් ඇවිත් තියෙන්නේ. පියෙකුගෙන් වෙන්න ඕනෑ යුතුකම් වගකීම් දරුවන්ට බිරිඳට මේ පියාගෙන් ඉටුවෙලා නෑ. මේ ඉන්න තැනක් නැතිවුණේ ඒ විදිහට. බිරිඳ අවුරුදු 15ක් විතර දුක් විඳලා තියෙනවා. ආයෙ තාත්තාගෙ ගෙදරට යන්න බෑ කියනවා. 

අපේ රටේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,000ක් ඇති අතර ඒ සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකම වෙසෙන ජනතාවගේ සුබසාධනය නැංවීම උදෙසා ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂි පර් යේෂණ නිලධාරී, සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරී ආදී වශයෙන් රජයේ නිලධාරීහු 5ක් සිටිති. එයට අමතරව ප්‍රාදේශීය ලේකම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු බලධාරීහු සිටිති. ගමේ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයක්ද තිබේ. ඒවායේ නිලධාරීහුද සිටිති. එසේ සිටියදී මෙවන් පවුල් සිටින්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. 

“රජයේ නිලධාරීන් හිටියත් මේ පවුලේ පදිංචියේ දැනට ප්‍රශ්නයක් තියෙනවා. ස්ථිර පදිංචියක් නැති නිසා සමෘද්ධියවත් ලැබෙන්නේ නෑ. දැනට තවම ඒ වැඩ මුකුත් කෙරිලා නෑ. ජීවත් වෙන්නේ ගොඩාක් අමාරුවෙන්.”

සමෘද්ධිය ලැබීමට පදිංචිය හරස් වී ඇත්තේය. සුවිසල් මන්දිරවලට සේම මෙවන් පවුල්වලටත් ඉර පායන තෙක් අපි දෑස් දල්වා  බලා සිටිමු. 

 සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04