2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ලංකායට ණය දෙන IMF කොන්දේසි

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 517

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමට ශ්‍රී ලංකාව පියවර ගත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා වට කිහිපයක් විදේශයන්හි පැවැත්විණි. ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වූයේ අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ ණයක් ලබා ගැනීමටය. ඒ සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාවට නැංවෙමින් පවතින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් පසුගිය අගෝස්තු අගභාගයේ  මෙරටට පැමිණියහ. එම කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියා වන පීටර් බෘෘවර් පසුගියදා ප්‍රකාශ කළේ මාස 48ක කාලයක් තුළ ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහය දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය හා ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බවටය. 

මෙම එකඟතාව තහවුරුවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය හා විධායක මණ්ඩලය ඊට අනුමැතිය ලබා දිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය මගින් පූර්ව වශයෙන් ගනු ලබන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෑහීමට පත්විය යුතු බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් ඇතුළු පාර්ශ්වකරුවන් මෙම වැඩසටහනට සහය දක්වමින් ලබාදෙන සහතිකයක් අවශ්‍ය බවත්, ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් වී ඇත්තේ දැඩි ප්‍රතිපත්ති මත හෙයින් ණය සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය සඳහා රජයේ ආදායම ඉහළ නංවා ගැනීම (මේ සඳහා බදු ප්‍රතිසංස්කරණය කළ යුතු වන අතර පුද්ගල ආදායම් බදු, වෙනත් ආයතනික බදු සහ එකතු කළ අගය මත වන බදු වැඩි කළ යුතුය. 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගැනීම කළ යුතු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය හැර සෙසු සියලු අංශ සඳහා බදු පැනවිය යුතු බවයි.)

ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය ආවරණය වන මුදලක් ලබාගෙන රාජ්‍ය ව්‍යවසාය මගින් ඇතිකර ඇති පීඩනය අවම කිරීම, (රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම) මිල ස්ථාවරත්වය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, විදේශ සංචිත ඉහළ නංවා රටේ මූල්‍ය ස්ථාවරත්වය යළි සැකසීම, අර්බුදය මගින් දුගී ජනතාව වෙත පනවා ඇති බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම (වෙළෙඳපොළ මිල වෙනස් නොකර දිළිඳු ජනතාවට මූල්‍ය ආධාරයක් ලබාදීම) සහ දූෂණය අවම කිරීම සඳහා තිරසර ආර්ථික සංවර්ධනයක් සහ ප්‍රවර්ධනයක් ඇති කිරීම යන කරුණු ප්‍රතිසංස්කරණ වැඩසටහනට අයත් බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම කාර්ය මණ්ඩල එකඟතාව අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව යා යුතු දීර්ඝ මාර්ගයක ආරම්භය පමණක් බවද බලධාරීන් මේ වනවිටත් ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බව දැකිය හැකි බවද ඔහු සඳහන් කළේය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 ජුලි මාසය අවසන් වන විට ආණ්ඩුව සතු නිළ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1815ක් පමණි.  ඒ විදේශ මුදල් සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1708ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත ඩොලර් මිලියන 63ක්, රත්‍රන් ඩොලර් මිලියන 27ක්, විශේෂ ගැනුම් හිමිකම් ඩොලර් 16ක් සහ අනෙකුත් සංචිත වත්කම් ඩොලර් මිලියන 1ක් වශයෙනි. මෙම සංචිතවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 වටිනාකමට සමාන යුවාන් ප්‍රමාණයක් චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකම අනුව ලැබී ඇති බැවින් ඒවා චීනයේ කොන්දේසි අනුව භාවිත කළ යුතු වන්නේය. 2021 වසර අවසන් වනවිට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක් විය.. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා දෙන ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න සමීපස්ථ ණය (Standby arrangements) ක්‍රමයයි. දෙවැන්න  විස්තීරණ ණය (Extended fund Facility) ක්‍රමයයි. මෙවර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත්තේ විස්තීරණ ණයකි. තම සාමාජික රටවල ගෙවුම් ශේෂයේ නොකඩවා හිඟයක් ඇති වුවහොත් එම හිඟය පියවා ගැනීම සඳහා මෙම ණය ලබා දෙයි. එය ලබා දෙන්නේ මහ බැංකුවටය. එමගින් රටේ අයවැයට කිසිදු සහනයක් හිමි නොවන අතර  එය මහ බැංකුවේ ඇති විදේශීය සංචිත වැඩි කොට ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට උපකාර වේ. එලෙස විස්තීරණ ණයක් ලබාදීමට නම් ණය ඉල්ලන පාර්ශ්වය රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිත දැනුම්දීමක් කළ යුතුය. ඒ අනුව  ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කරන ලද ඉල්ලීමක් මගින් ඉදිරි වසර 4 තුළ සිදු කිරීමට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ පිළිබඳවත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටීය යුතුය 

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකු නිලධාරීන් අතර තාවකාලික සම්මුතියක් ඇති කරගෙන තිබේ. එහෙත් ණය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීමට ඇත. මෙම ණය මුදල ලැබුණු පසු ඒ සඳහා වසරකට සියයට 3.5ක පමණ පොලියක් ගෙවීමට සිදුවන අතර එය වසර 8ත් 10ත් අතර කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතුය. මේ වනවිට ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2900ක ණයකි. එය වසර 4ක් තුළ සෑම මාස 6කටම වරක් වාරික වශයෙන් ලැබීමට නියමිතය. මෙම ණය ලබාගන්නා අතර ශ්‍රී ලංකා රජය ඒ සඳහා ඉටු කිරීමට එකඟ වී ඇති ක්‍රියාකාරකම් ඉටු කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත් කළ යුතුය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙවර ණය ලබා ගන්නේ 17 වැනි වතාවටය. මින් ඉහත සෑම අවස්ථාවකම අනුමැතිය ලැබී සති 6ක් ඇතුළත ණය ලැබුණු අතර මේ වන විට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අපහසුතාවට මුහුණ පා සිටින හෙයින් අපේ ණය ප්‍රතිව්‍යුහගත කොට ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට සිදුව තිබේ. ඉන්පසු වසර 4ක් තුළ සෑම මාස 6කට වරක් ණය වාරික 8කින් එම ණය ලබාගත හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමඟ ලෝක බැංකුව හා තවත් ණය ලබාදෙන ආයතනවලින් ශ්‍රී ලංකාවට සහය ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජයවර්ධන මහතා පවසන ආකාරයට මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් හා  ශ්‍රී ලංකාව අතර ඇතිකරගෙන ඇත්තේ මූලික එකඟතාවක් පමණි. එහෙයින් ණය හිමි රාජ්‍යයන් සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟද සාකච්ඡා කොට ඔවුන්ගේ අනුමැතිය ලබාගත යුතුවේ. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තහවුරු කළ යුතු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන  කොන්දේසියකි මේ වන විට එම ණය හිමියන් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීම සඳහා උපදේශකයන් පත් කර ගෙන ඇති නමුදු තවමත් එම සාකච්ඡා ආරම්භ වී නොමැත. 

අපේ ප්‍රධානතම ණය හිමියකු වන චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තවමත් එකඟ වී නොමැති අතර ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ අලුත් ණයක් ලබා දී එයින් පරණ ණය ගෙවීමට සැලැස්වීම බව ආචාර්ය විජයවර්ධන පෙන්වා දෙයි. චීනය මේ වන විට  ඩොලර් බිලියන 1000ක පමණ ණය ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවලට ලබා දී තිබේ. ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම ණය ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කළහොත් ඔවුන්ගෙන් ණය ලබාගෙන ඇති අනෙකුත් රටවල්ද තම ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට ඉල්ලා සිටිය හැකිය. එහෙයින් චීනයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට සම්බන්ධ නොවී අලුත් ණයක් ලබා දී එයින් පරණ ණය ගෙවීමට සැලැස්වීම හෙවත් ණය ප්‍රතිමූල්‍යගත කිරීමටය. ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ චීනය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමය. ඉදිරි මාස කිහිපය තුළ ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වුවහොත් සති දෙක තුනක් ඇතුළත ණය සඳහා අනුමැතිය ලබාගත හැකිවේ. එම අනුමැතිය ලැබීමට කොපමණ කාලයක් ගත වේදැයි කිව නොහැකි හෙයින් මෙම ණය මුදල කෙදිනක ශ්‍රී ලංකාවට ලැබේදැයි පැවසිය නොහැකි බවද ආචාර්ය විජයවර්ධන සඳහන් කරයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් කොන්දේසියක් වන 2025 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවට කළ හැකිද? එවැනි ඉලක්කයකට ළඟාවීමට නම් රජය ගෙවන පොලී ප්‍රමාණය අවම කර ගැනීමත් අනෙකුත් වියදම් කපා හැරීමත් සිදු කොට රජයේ ආදායම වැඩිකරගත යුතු යැයි ආචාර්ය විජයවර්ධන ප්‍රකාශ කරයි..

චීනය හෝ වෙනත් ණය හිමියකු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එකඟ නොවුණහොත් එවිට ශ්‍රී ලංකාවේ අර්බුදය තවදුරටත් උග්‍රවන හෙයින් සියලු ණය හිමියන් සාමුහිකව ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහාය විය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රධානි පීටර් බෘෘවර් පෙන්වා දෙයි.

මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාල කොටස් හිමියකු වන චීනය, මිතුරු රටක් වන ශ්‍රී ලංකාවේ දැනට නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා ධනාත්මක ක්‍රියාවලියකට එළඹෙන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ණය දෙන ආයතන දිරි ගැන්වූ බවයි. ශ්‍රී ලංකාවේ ණය බර සමනය කිරීම සහ තිරසර සංවර්ධනයක් ඇති කිරීම තම අරමුණ බවද එහි සඳහන්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායමේ  මසහිරෝ නොසාකි සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ විගස පළමු ණය වාරිකය මුදා හරින බවයි. සෑම මුදාහැරීමකදීම ශ්‍රී ලංකාව අත්පත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක්ද විධායක මණ්ඩලය මගින් සිදු කරන බවද ඔහු පවසයි.

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයෙන් පසු ණය ලබාදීම තෙක් අනුගමනය කෙරන ක්‍රියාමාර්ග අනුව 2023 අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල ලෙස සාර්ව ආර්ථික සැකිල්ලක් මත සකස් විය යුතු බවත්, ණය හිමියන් සමඟ සාකච්ඡා කර සහතිකයක් ලබා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු බවත් පවසන පීටර් බෘෘවර් එම කොන්දේසි සපුරාගත්විට ණය ලබා දිය හැකියැයි ප්‍රකාශ කරයි..

මේ අවස්ථාවේ රජයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කොට අනාගතය සඳහා සුරක්ෂිත, තිරසර ආර්ථිකයක් ගොඩ නැගීම යැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට සිදු වූ බවත් එලෙස නොගියද බදු ප්‍රතිසංස්කරණය, වියදම හා ගැලපෙන මිල ක්‍රමයක් හඳුන්වා දීම, දරිද්‍රතාවෙන් පෙළෙන පීඩිත ජනතාව සඳහා සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, දත්ත මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, දේශපාලනික වශයෙන් ආර්ථිකයට හානි කළ නොහැකි වන පරිදි මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සහ හොරකම, දූෂණය සහ වංචාව වළක්වන ශක්තිමත් නීති රාමුවක් ඇති කළ යුතු බවත් සඳහන් කරන ඔහු. ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසිද මේවා වන අතර මේවා සිදුකළ යුතුව තිබුණේ බොහෝ කලකට ඉහත බවත් සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04