2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ගම්පහ බස් එකේ කොන්දොස්තර දියණිය

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 162

ඇය නමින් සඳුනි මධුවන්තිය. මිනුවන්ගොඩ - ගම්පහ බස් මාර්ගයේ ධාවනය වන 270/1 මාර්ගයේ ගමන් කරන මගීන්ට ඇය අමුත්තියක් නොවේ. තම පියාගේ බස් රථයේ කොන්දොස්තරවරිය ලෙස සේවය කරන්නේ ඇයයි. තවමත් අවුරුදු විසි හතරක යොවුන් වයසේ පසුවන සඳුනි සැබැවින්ම ධෛර්යවන්ත තරුණියකි.

කුඩා කල පටන්ම සඳුනිට සිහිනයක් තිබුණි. ඒ කවදා හෝ දිනක හෙද වෘත්තියේ නියැලීමය. කුඩා කල පටන් ඇය සතා සිව්පාවුන්ට අසීමිතව ආදරය කළාය.

උඩුගම්පොළ සෙනරත් පරණවිතාන විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ සඳුනි අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් හා අපොස උසස් පෙළ විභාගයෙන් සමත් වූවාය. කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඇය පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූවාය. පාසල් අධ්‍යාපනයෙන් පසුව කුඩා කල පටන් වූ තම සිහිනය සැබෑ කර ගන්නට ඇය වෙර දැරුවාය. සඳුනි පෞද්ගලික හෙද පුහුණුව නිසි පරිදි ලබා ගත්තාය. ඇගේ හෙද පුහුණු කාලය ගත වූයේ හමුදා රෝහලේය.

''ආමි හොස්පිට්ල් එකේ පුහුණු කාලය අවසන් වුණාට පස්සේ මට හෙදියක් විදිහට කොළඹ පෞද්ගලික රෝහලක රැකියාවක් ලැබුණා. අපේ ගෙවල් තියෙන්නෙ උඩුගම්පොළයි. ඒ නිසා හැමදාම මම උදේ ගෙදර ඉඳන් කොළඹ රෝහලට ආවා. මුලදි පාරේ බස් එකෙන් ආවත් මහන්සි වැඩිකම නිසාම තාත්තා මාව සේවක ප්‍රවාහන සේවයේ යෙදුණු වෑන් රථයකට දැම්මා.'' සඳුනි තම අතීතය දේශය පිටු අතරට එක් කරමින් පැවසුවාය.

මාස ගණනාවක්ම සඳුනි පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස කටයුතු කළාය. නමුත් ඇයට සේවයට සරිලන පරිදි වැටුපක් නොලැබිණි. රාත්‍රී වැඩ මුර සේවාව නිසාම ඇයගේ පියා ද එම රැකියාවට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ නිසාම ඇය එම රැකියාවෙන් ඉවත් වී වෙනත් රෝහලක රැකියාවක් අපේක්ෂාවෙන් නිවෙසේ නතර වූවාය.

සඳුනි මධුවන්ති පවුලේ දෙවැනි දරුවාය. ඇයට වැඩිමහල් සහෝදරියක්, බාල සහෝදරියක් සහ බාල සහෝදරයෙක් ද වෙති. ඇයගේ පියා සතුව ගරාජයක් විය. ඊට අමතරව ඔහු පෞද්ගලික බස් රථ තුනක අයිතිකරුවෙකි. එම නිසාම සඳුනි කුඩා කල පටන්ම දැක තිබුණේ තම ගෙවත්තේ වූ වාහනයි. නමුත් ඒවා අතපත ගාන්නට, පදවන්නට, ඒවායේ නැග යන්නට ඇයට එතරම් කැමැත්තක් නොවීය. ඇගේ එකම ආසාව වූයේ හෙදියක වීමේ සිහිනය පමණි. නමුත් ඒ සිහිනය සැබෑ වීමත් සමඟ ඇයට ඒ සඳහා වූ දැඩි ඇල්ම මඳකට අඩු වී තිබිණි.

සඳුනිගේ පියා වන රංජිත්ගේ බස් රථයේ සේවය කළ ගෝලයා එක් අවස්ථාවකදී දින ගණනාවක් සේවයට පැමිණ තිබුණේ නැත. ඒ වනවිට දින කිහිපයක් වරින් වර සඳුනිගේ වැඩිමහල් සහෝදරිය ද බස් රථයේ ගෝලයාගේ රාජකාරියේ යෙදෙමින් බස් රථයේ කොන්දොස්තරවරිය ලෙස සේවය කර තිබුණි. අද වනවිට සඳුනිගේ සහෝදරිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබයි.

''එදා තාත්තා තමයි බස් රථයේ රියැදුරු විදිහට වැඩ කළේ. ගෝලයෙක් හිටියේ නැති නිසා (අපි අද නිකමට ගිහින් එමුද?) කියලා මගෙන් ඇහුවා. මගේ අක්කත් මට කලින් ගෝලයෙක් නැති දවස්වල වැඩ කරලා තිබුණා. ගමේ පාරක් නිසා එතරම් බයකුත් තිබුණේ නැහැ. ඒ නිසා තාත්තගේ ගෝලයා විදිහට එදා මම ගියා. රූ ගෙදර ආපු තාත්තා නර්ස් කෙනෙක්ට දෙන පඩියට වඩා හොඳ පඩියක් මට දෙන්නම්. දිගටම වැඩ කරමුද? කියලා මගෙන් ඇහුවා. එදා මමත් ඒකට කැමැති වුණා.''

අහම්බයකින් බස් රථයේ ගෝලයකු ලෙසින් සේවයට එකතු වුණු සඳුනි අද වනවිට ලියාපදිංචි සහතිකය ලද කොන්දොස්තරවරියකි. තම දියණිය බස් රථයේ සේවය කිරීම ගැන සඳුනිගේ මව මුල් කාලයේදී අකැමැති වුවද පසුව ඇය ද එයට කැමැති වූවාය. මේ වෙද්දී ඇය තම සේවය ලබා දෙන්නේ ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ ධාවනය වන 270/1 බස් රථයේය. සෑම දිනකම ඇය පාන්දර හතරට අවදි වෙයි. පාන්දර පහට පමණ තම සේවයට වාර්තා කරන ඇ‍ය සේවය අවසන් වී නිවෙසට පැමිණෙන්නේ රාත්‍රී නවයට පමණය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඇයට තම පියා නිවාඩු ලබා දී ඇත්තේ ඉරිදා දිනයේදී පමණය. එය ද මේ කාලයේ පමණි. නැතිනම් සතියේ දවස් හතේදීම ඇය තම බස් රථයේ සේවයට එකතු වන්නීය. අමතර නිවාඩුවක් ලැබෙන්නේ නැති තරම්ය. සැබැවින්ම ඇය ඉතා කඩිසර තරුණියකි.

''මේ බස් එක ධාවනය වෙන්නේ ගමේ පාරක නිසා මේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි. ගමේ අය මට එයාලගේ දරුවෙක්ට වගෙයි සලකන්නේ. මට උදේ කෑම එක පවා හදලා බස් එකට ගෙනත් දෙන්නේ එයාලා. මට වතුර බෝතලය පවා බස් එකට ගෙනත් දෙනවා. ඒ තරම් ඒ අය මාත් එක්ක හරිම හිතවත්. මම රුපියලක වංචාවක්වත් කරන්නෙ නැහැ කියලා ඒ අය දන්නවා. සල්ලි නැති වෙලාවලදි ණයට පවා මම බස් එකේ එක්කගෙන යනවා. හැබැයි තියෙන වෙලාවට ඒ මිනිස්සු අමතක නොකර මට ඒ සල්ලි දෙනවා. ඒ තරම් පුදුම හිතවත්කමක් තියෙන්නෙ.'' සඳුනි දේශයට පැවසුවාය.

බොහෝ විට කොන්දොස්තරවරුන්ට ගමන් කරන්නට සිදුවන්නේ බස් රථයේ පා පුවරුවේය. විශේෂයෙන් බස් රථයේ මගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ කොන්දොස්තරවරයාට සිදුවන්නේ පා පුවරුවේ එල්ලී යාමටය. ඒ අත්දැකීම අඩුවක් නැතිවම සඳුනිට ද තිබේ. රාජකාරියට යන එන වෙලාවලදී මෙම බස් රථය ද මගීන්ගෙන් පිරී යයි. එවිට සියල්ලෝම බස් රථයට ඇතුළු කරවූ පසු සඳුනිට සිදුවන්නේ පා පුවරුවේ එල්ලී යාමටය. මුල් කාලයේදී යම් බියක් හිතට දැනුණ ද දැන් ඇයට එය හොඳට පුරුදුය. නිතරම මෙම මාර්ගයේ ගමන් කරන මිනිසුන්ට පා පුවරුවේ එල්ලී යන මේ තරුණියගේ දසුන අරුමයක් නොවුණද මුල් කාලයේ මෙය දකින කෙනකුට (අනේ අපොයි..) කියමින් හිතට දැනුණේ බියකි. මුල් කාලයේදී සඳුනි සේවය කළේ පියාගේ තනි දොරේ බස් රථයේය. නමුත් මේ වනවිට ඇගේ බාල සහෝදරයා එම බස් රථයේ සේවය කරන අතර ඇය සේවය කරන්නේ පියාගේ දොර දෙකේ බස් රථයේය.  

සඳුනි බස් රථයේ කොන්දොස්තරවරිය ලෙස සේවයට එක්වූයේ 2019 වසරේදීය. සෑම ගැහැනු ළමයකුම සුන්දර මුහුණකට ප්‍රිය කරන්නීය. සඳුනිගේ හිතේ ද ඒ ආසාව නැතිවාම නොවේ. නමුත් ඇය අව්වට ඇති පදමට පිච්චුණාය. වැසි කාලයේදී ඇඟ තෙත බරිත වන තරමට තෙමුණාය. බස් රථය ධාවනය කර අවසානයේ දී ඊළඟ මොහොත එනතුරු සිටින කාලය තුළ සඳුනි බස් රථයෙන් එළියට නොබැස බස් රථයේ මඳ වේලාවක් ගත කරයි. ඇය විවේක ගන්නේ ඒ සුළු මොහොතේය. බොහෝ බස් රථ සේවකයන් මේ සුළු මොහොතේ දී දුම්වැටියක් දල්වා ගත්තද, බුලත් විටක් හැපුවද ඇය බස් රථයේම වාඩි වී මඳක් දෑස් පියා ගිමන් හරින්නීය. ඇතැම්විට ඇය තම ජංගම දුරකථනයෙන් ගීතයක් රස විඳින්නීය. බස් රථයේ සේවය කරන කාලයේදී තම පහසුවට ඩෙනිම ඇඳ ටී ෂර්ට් එකක් හෝ බ්ලවුසයක් ඇඳ කොණ්ඩය මුදුනට කර ගැටගසා සිටියද රාජකාරි නොමැති වෙලාවලදී ඇය ගමන් බිමන් යන්නේ ගවුමක් ඇඳ, කොණ්ඩය අපූරුවට පීරෑ සුන්දර ගැහැනු ළමයකු ලෙසිනි. ඇතැම්විට ඇය මේ ඇඳුමට සමහරකුට හඳුනා ගැනීමට බැරි තරමට සුන්දරය.

අද වනවිට රංජිත්ගේ ව්‍යාපාරයේ ලොකුම හයිය වී සිටින්නේ සඳුනිය. රංජිත් ගරාජයේ වැඩ බලාගනිද්දී බොහෝ විට බස් රථවල වැඩ කටයුතු බලන්නේ සඳුනි සහ ඇගේ බාල සහෝදරයාය. දවස් පතා වැටුපක් ඇයට පියා වන රංජිත් ලබා දෙයි. ඔහුගේ පොරොන්දුව පරිදි එය ඉතා සාධාරණ ඉහළ වැටුපකි. තමන්ගේ දරුවා යැයි සිතමින් රංජිත් කිසිම මොහොතක වැටුප අඩු කරන්නේ නැත. සඳුනිට ලැබෙන ඒ වැටුපෙන් කිසිම මුදලක් කිසිම දිනක ඇගේ මව හෝ පියා ඉල්ලන්නේ ද නැත. බොහෝ විට ඇය එම ලැබෙන මුදලින් කොටසක් ඉතිරි කරයි. අනෙක් කොටස තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරයි. කිසිම මොහොතක ඇය අනවශ්‍ය දේවල්වලට නිකරුණේ මුදල් නාස්ති කරන්නේ නැත. මේ දක්වා කිසිම දිනක ඇයට පිරිමින්ගෙන් අයුතු බලපෑමක් ද එල්ල වී නැත.

අද වනවිට සඳුනිට බස් රථය සම්බන්ධයෙන් යම් දැනුමක් ලැබී තිබේ. තවමත් ඇයට රියැදුරු බලපත්‍රයක් නොවුණද එය ඉක්මනින් ලබාගැනීම ඇගේ අපේක්ෂාවයි. බස් රථයේ රෝද නැවත සවි කිරීමට, ධාවනයේදී ඇතිවන යම් යම් ශබ්ද මගින් බස් රථයේ දෝෂ හඳුනා ගැනීමට අද වනවිට ඇයට හැකියාව පවතී.

''දැන් මගේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මම පාඨමාලා කිහිපයක්ම කරලයි තියෙන්නෙ. ඒ අතරේ මම ඇඳුම් නිර්මාණය කිරීමේ පාඨමාලාවක් හැදෑරුවා. මම ඇඳුම් මහන්නත් පුළුවන්. ඒ නිසා ඉදිරියේදී දෑතේ කර්මාන්තයක් විදිහට ඇඳුම් මැසීමේ මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.'' යැයි සඳුනි මධුවන්ති දේශයට වැඩිදුරටත් පැවසුවාය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04