2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ලිට්‍රෝ ගෑස් පාඩුවත් මකා ලාබත් ලැබූ හැටි

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 142

බොහෝ අර්බුද පිළිබඳ මතකයන් ඒවා විසඳුණු පසුව අපට අමතක වී යයි. එහෙත් අනාගතයට එම අර්බුද විසඳාගත් ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉතිරි කිරීම වර්තමානිකයන්ගේ යුතුකමකි. මේ වන විට සැලකිය යුතු පරිමාවකින් විසඳී තිබෙන ගෑස් අර්බුදය පිළිබදව අපි එකී කෝණයෙන් සිතා බැලුවෙමු. ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපති මුදිත පීරිස් මහතා සමඟ සම්මුඛ වී මෙම තොරතුරු ඔබ හා බෙදාගන්නේ එනිසාවෙනි. 

“ලිට්‍රෝ ගෑස් සමාගමට මම ජූනි පහළොස් වැනිදා පත්වන්නේ. මම එනකොට අපිට නිල වශයෙන් සැපයුම්කරුවෙක් සිටියේ නැහැ. ඒ වගේම සැපයුම්කරුවෙක් තෝරාගෙන තිබුණෙත් නැහැ. එකදු ගෑස් නැවක් එන දිනයක් පිළිබඳ සැලසුමක් තිබුණෙත් නැහැ. ඉතාමත් මන්දගාමී වූ වගකීම් විරහිත ස්වභාවයක් තමයි මම දැක්කේ. ඉතාමත් දක්ෂ පළපුරුදු පිරිසක් හිටියට, හිටපු ප්‍රධානීන්ගේ වගකීම් විරහිත ස්වභාවය සහ ආකල්ප නිසා එහෙම තත්ත්වයක් උද්ගත වී තිබුණා." 

වර්තමාන සභාපති මුදිත පීරිස් මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිත්වය භාරගන්නා අවස්ථාවේ පැවති තත්ත්වය එලෙස පැහැදිලි කරයි. 

අර්බුද සමයේ ලක්ෂ 45ක පමණ හිස් ගෑස් සිලින්ඩර අතැතිව ලක්ෂ සංඛ්‍යාත ජනයා පෝලිම්වල රැඳී සිටීම ලිට්‍රෝ ගෑස් සමාගමට තිබුණු ප්‍රධානතම අභියෝගයි. එහෙත් එම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය මුල්‍ය ශක්තිය එම මොහොතේ දී ශ්‍රී ලංකා රාජ්‍ය සතු නොවුණි. ඩොලර් හිඟය ප්‍රධානතම ගැටලුව විය. 

“කෙටිකාලීනව මෙම ගැටලුව විසඳලා දවසකින් දෙකකින් ගෑස් සිලින්ඩර මිලියන 4.5ක් අපි ජනතාව අතර බෙදා දුන්නත්, මේ ගැටලුව විසඳෙන්නේ නෑ කියන අවබෝධය මට තිබුණා. අපි පුරවලා යවන ගෑස් සිලින්ඩර සුමාන තුනක් හතරක් යනකොට නැවතත් අපි ළඟට එනවා, අලුත් සිලින්ඩරයක් ලබාගැනීමේ බලාපොරොත්තුව සහිතව. ඒ නිසා අපිත් දැනගෙන හිටියා එක නැවක් නෙවෙයි නැව් දහයක් ගෙනල්ලාවත් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලා. අපිට  අවශ්‍ය වුණා දීර්ඝකාලීනව මේ ගැටලුව විසඳන්න."

ගෑස් අර්බුදය විසඳීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද? අපි මුදිත පීරිස්  මහතාගේ විමසා සිටියෙමු. ඔහු පවසන පරිදි ටොන් ලක්ෂයක ගෑස් ප්‍රමාණයක් ලබාගැනීම සඳහා සැපයුම්කරුවකුට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණේ මේ අතරය.
“කැබිනට් එක තීරණයක් අරගෙන තිබුණා. එම සැපයුම්කරුවා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමට සැපයුම් සිදු කළ කෙනෙක්. අපි තීරණය කළා එම කැබිනට් තීරණය ප්‍රකාරව ඔවුන් සමග කතා කරලා ඇණවුම ස්ථිර කර ගන්න. නමුත් ඒ මොහොතේ හැටියට සැපයුම්කරුගේ සමහර කොන්දේසි ඉටුකිරීම පහසු වුණේ නෑ. උදාහරණයක් විදියට ඔහු ඩොලර් මිලියන 20ක විතර ඇඩ්වාන්ස් සිකුරිටි එකක් ඉල්ලලා තිබුණා. නමුත් මට පුළුවන් වුණා ඔවුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඒ වෙලාවෙ අපේ රටේ තිබුණු ගෙවීමේ ක්‍රමවේදවලට ඔවුන්ව අනුගත කර ගන්න."

මේ මොහොතේ තවත් සැපයුම්කරුවකු සාපේක්ෂ අඩු මුදලකට ගැස් ලබා දීමට එකඟතාවය පළ කළ ද ඔහු ඉදිරිපත් කරනු ලැබූ කොන්දේසි සපුරාලීම රජයට නොහැකි විය. අවසානයේ ඍජු තීරණයක් අනුව වර්තමාන සැපයුම්කරු සමඟ ඉදිරියට යාමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළේය. ඩොලර් මිලියන 20 ක මුදල ද මිලියන 10 ක් දක්වා පහත හෙළීමට මුදිත පීරිස් මහතා සමත් විය.

“කලින් වතාවේ වෙලා තිබුණේ මෙහෙම දෙයක්. ඕමානයෙන් හරි සිංගප්පූරුවෙන් හරි නැවකට ගෑස් පටවන්න පටන් ගත්තේ අපි මුදල් ගෙව්වට පස්සෙ. නමුත් මම මේ සැපයුම්කරු එකඟ කර ගත්තා අපි ගැන විශ්වාසය තියලා ගෑස් පටවලා රුගෙන එන්න. කෙරවළපිටිය අංගනයට ඇවිල්ලා ගොඩ බාන්න ඉස්සෙල්ලා අපි සල්ලි දෙන්නම් කියලා. මෙතනදි අපිට අවශ්‍ය වුණේ ගැප් එක අඩු කර ගන්න." 

සාමාන්‍යයෙන් ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් සිලින්ඩර හැත්තෑ පන්දහසක්, ලක්ෂයක් පමණ අලෙවි කරයි. සැපයුම පමාවෙන සෑම අවස්ථාවකදීම දිනකට ලක්ෂයක හෝ හැත්තෑ පන්දහසක ගෑස් සිලින්ඩර පෝලිම්වලට එකතු වෙයි. එම නිසාවෙන් ඒ මොහොතේ සෑම පැයක්ම, දිනයක්ම සමාගම කෙරෙහි තීරණාත්මක විය. 

“අපේ කොන්දේසිවලට ඔවුන් එකඟ කරගෙන, අපි ඒ සමාගමත් එක්ක ගිවිසුම්ගත වුණා. නමුත් ඒ වෙලාවේ තිබුණු ප්‍රධානතම අභියෝගය තමයි ගිවිසුම අනුව අවශ්‍ය මුදල් සොයා ගැනීම. ඒ වෙනකොට ලිට්‍රෝ ගෑස් සමාගමේ සංචිත අඩියටම හිඳිලා තිබුණේ. මම කලින් වතාවෙ මේ සමාගමෙන් යනකොට බිලියන 21ක විතර ස්ථාවර තැන්පතු තිබුණු සමාගමක් මේක. නමුත් මේ වෙනකොට බිලියන දහයකට අධික ණයක් එක්ක තමා සමාගම ගමන් කළේ. දිර්ඝකාලීනව සිදුවෙමින් පැවති පාඩු විතරක් බිලියන හතරහමාරකට අධිකයි." 

මුදිත පීරිස් මහතා 2015 සිට 2020 දක්වා වසර පහක කාලයක් ලිට්‍රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

ඒ වනවිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධව එකඟතාවලට එළඹෙමින් සිටියේය. එහිදී බිඳවැටෙමින් පැවති ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් සැපයුම ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුවේ වැඩසටහනට ලිට්‍රෝ ගෑස් සමාගම ද එක්විය. ඉතා කෙටි කාලයක් තුළ ලෝක බැංකුවේ එකඟතාව ලබාගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට සමාගම සමත් විය.

“අපිත් ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුමකට එළඹෙනවා. ඒ වෙනකොටත් සමාගම ලබාගෙන තිබුණු ණයවලින් ඩොලර් මිලියන 20ක ප්‍රමාණයකුත්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක ප්‍රමාණයකුත් අරගෙන අපි ඩොලර් මිලියන 90ක ගිවිසුමකට තමයි ගියේ. ගිවිසුම හරහා තමයි අද අපි භුක්ති විදින ගෑස් පෝලිම් නොමැති පසුබිම රට තුළ නිර්මාණය වුණේ."

මෙහි ඇති සුවිශේෂීම කරුණ නම් ඉතා කෙටි කාලයක් තුළ අර්බුදය කළමනාකරණය කිරීම නොවේ. ඉතා කෙටි කාලයක් තුළ ලිට්‍රෝ සමාගම යම් ලාභයක් උපයන සමාගමක් බවට පත් වීමයි.

ඒ අනුව පසුගිය දිනවල ලිට්‍රෝ සමාගම ලාභ ලබන බවට පළ වූ පුවත්වල සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට මෙය අපි අවස්ථාවක් කර ගතිමු.

“අපිට වුණා ක්‍රමවේදයක් හොයන්න. සමාගම පාඩු පිට පාඩු ලබලා තිබුණේ. ඒකට එක හේතුවක් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල උච්චාවචණය වීමට සාපේක්ෂව අපේ රටේ මිල කළමනාකරණය කර නොගැනීම. අනිත් කාරණය ආයතනයේ හිටපු ප්‍රධානීන් සකසුරුවම් විදිහට තීන්දු තීරණ නොගැනීම. ඩොලර් හිඟතාවය ප්‍රධානතම කරුණ වුණත් ඒකට සියල්ල ලඝු නොකර ප්‍රශ්නය දෙස බැලිය යුතුව තිබුණා." 

මුදිත පීරිස් මහතා පෙන්වා දෙන ආකාරයට මීට පෙර ද ගෑස් සම්බන්ධව මිල සූත්‍රයක් පැවතුණි. ඒත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීය. මෙවර මිල සූත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මුදල් අමාත්‍යාංශය හරහා ලැබුණි. උද්ගතව පැවති තත්ත්වය හමුවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ පවා සහාය හිමි විය. අවසානයේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නව මිල සූත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ද ලබා ගත්තේය. 

මෙම මිල සූත්‍රය සාර්ථක වීමට හේතුව නිවැරදි වියදම පමණක් එම සූත්‍රයට ඇතුළත් කිරීම බව ලිට්‍රෝ සභාපතිවරයා කියා සිටියි. 

“මේ නිසා තමයි ජූලි මාසේ පළවෙනි වතාවට අපිට රුපියල් 246 කින් මිල අඩු කිරීමක් සිදු කරන්න පුළුවන් වුණේ. පසුගිය සතියේ නැවතත් මිල අඩු කිරීමක් සිදු කළා, රුපියල් 113 කින්. මේ මිල සූත්‍රයට අදාළව ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනයන්ට අනුව තමයි මේ වෙනස්කම් සිදු වෙන්නේ."

“අපි සමාගමක් විදියට ඉතාමත් සාධාරණ සුළු ලාභයක් එක සිලින්ඩරයකින් ලබන්නේ. නමුත් සමානාත්මකව අපි විශාල සිලින්ඩර ප්‍රමාණයක් අලෙවි කරනවා. දැන් අපිට ගෑස් ඇති තරම් තොග එනවා. මහා පරිමාණ සැපයුම්කරුවෙක් ඉන්නවා. ලෝක බැංකු උපකාරයත් තියෙනවා. ඒක නිසා මිල අඩු කරන ගමන් ලාභ ලබන එක මිත්‍යාවක් නෙවෙයි."

ලෝක බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 70 ක මුදල ද ඉදිරි දෙසැම්බර් මාසය පමණ වනවිට මුළුමනින්ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවා දැමීමට තම සමාගමට හැකියාවක් පවතින බව මුදිත පීරිස් මහතා පවසයි. කෙසේ නමුත් මහ බැංකුවට අදාළ ඩොලර් මිලියන 70ක මුදල ගෙවීමට වසර පහළොවක පමණ සහන කාලයක් ඉතිරි වී තිබේ.

ජූනි මස 15 වැනිදා වර්තමාන සභාපතිවරයාගේ පැමිණීමත් සමඟම ජූලි මස 15 වැනිදා වනවිට සමාගම මිලියන 750ක  පමණ ලාභයක් ලබා තිබේ. මුදිත පීරිස් මහතා පවසන්නේ පසුගිය සමයේ ලැබූ සියලු පාඩු ඉදිරි මාසයක එකහමාරක දෙකක කාලය තුළ පියවා ගැනීමට හැකිවනු ඇති බවයි. සැබැවින්ම සියල්ල යථා පරිදි සිදු වේ නම් යහපතකි.

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04