2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

උත්තර ලංකා සභාගය: අලුත් බෝතලේ පරණ වයින් ?

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 79

මේ දිනවල වැඩියෙන්ම කතා වෙන්නේ දේශපාලන පෙරළි  ගැනය. විවිධ තැන්වල විවිධ මුහුණුවරින් දේශපාලන පෙරළි සිදුවෙමින් ඇත. මහා සද්ද බද්ද දමා මේ පෙරළි සිදුවුවත් මේ සියල්ල හරියට "පරණ වයින් අලුත් බෝතල්වල දැම්මා" හා සමානය. එයට හේතුව නම් අවුරුදු 74ක් පුරාවටම සිදුවූ දේශපාලන පරිහානියට විවිධ ප්‍රමාණයෙන් හේතු වූ අයවලුන් මොන නැටුම් නටා පැමිණියත් ඔවුන් පරණ වයින්මය. ඒ නිසා ඉස්සෙල්ලාම කිව යුත්තේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනය කළ ගීතයක කොටසකි. ඒ "වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රුවටෙන්නේ..... අපි නෑ රුවටෙන්නේ... නටපු දා හෙළිවන්නේ..." යන්නය.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ අලුත්ම සන්ධානය ගැනය. ඒ පොහොට්ටුව සමඟ එකට දේශපාලනය කර, එකට බලයට පැමිණ, අවසානයේ ඔක්කොටමත් පෙර පක්ෂය අත්හැර ගිය කණ්ඩායමේ අලුත් සන්ධානය ගැනය. නමින් "උත්තර ලංකා සභාගය" වූ මෙම සන්ධානය පසුගියදා මහත් උත්කර්ෂයෙන් නටා වයා ගයා සමාජගත කළේය. ඒ මහරගම තරුණ සේවා සභාව තුළදීය.

2022 අප්‍රේල් 5 වැනිදා ස්වාධීන වූ මෙම පිරිස පසුගියදා නැවත සන්ධානගත වන තෙක්ම ඔවුන් ක්‍රියාකළේ පක්ෂ 11 කණ්ඩායම ලෙසය. මෙම නව සන්ධානය පවතින දේශපාලන සංස්කෘතියට එරෙහිව දේශීයත්වය, අපේකම, ශ්‍රී ලාංකිකත්වය ඇතුළු දේශ හිතෛශී ව්‍යාපාරයක් ලෙස ක්‍රියාකරගෙන යාමට තීරණය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ පොහොට්ටු රජය පිහිටුවීම සඳහා මූලිකත්වය ගත් විමල්, වාසු සහ ගම්මන්පිල එහි සිටීමයි.

මෙම පක්ෂයේ තනතුරු නාමලේඛනය ගත්විට, ඒ සියල්ලේ තනතුරු ලබන්නේ ඔවුන්ගේ කණ්ඩායම විසින්මය. මෙම සන්ධානයේ සභාපතිවරයා වන්නේ විමල් වීරවංශය. පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත්කර ඇත. එම සංවිධානයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාත්, නියෝජ්‍ය සභාපතිවරු ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්වරු ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් පත්කර තිබේ. එසේම එහි අනුශාසක ලෙස විජය ධරණී ජාතික සභාවේ සභාපති අතුරලියේ රතන හිමියන් පත් කිරීමද විශේෂත්වයකි.

එසේම පක්ෂ කිහිපයේ අනෙකුත් සාමාජිකයන් සියල්ල විධායක සභාවට පත්කර ඇත. පසුගියදා මෙම සංවිධානයේ සභාපති විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියේ මෙම සන්ධානය පවතින සංධානවලින් වෙනස්වන බවය. විශේෂයෙන් මෙම සන්ධානය අලුත් දැක්මක් සහ තරුණ තරුණියන්ට අවස්ථාව දෙන පක්ෂයක් බව ඔහු සඳහන් කර සිටියේය.

විමල් වීරවංශ මහතා එලෙස ප්‍රකාශ කළද එම සන්ධානයේ නව මුහුණුවරක් දකින්නට නැත. අලුත් බෝතලයේ පරණ වයින් මෙන් සියල්ලම පරණ අයමය. තරුණ තරුණියන්ට ඉඩක් දෙන බවක් පැවසුවද කිසිදු තරුණයකු එම සන්ධානයේ තනතුරුවල නැත. එසේ නම් මෙම සන්ධානය හරහා සිදුකරන්නට යන්නේ කුමක්ද? අලුත් වෙනසක්ද? නැතිනම් සුපුරුදු රැවටිල්ල දමා ජනතා බලය ලබා ගැනීමටද යන්න ප්‍රශ්නයක් ඇත. එසේ ප්‍රශ්නයක් ඇතිවීම සාධාරණය. මේ පක්ෂ නායකයන් කිසිවකු කියූ දෙයක් තවම සිදුවී නැති නිසාය. කෙසේ වෙතත් මෙම උත්තර ලංකා සභාගයට තවම ඩලස් කණ්ඩායම එකතුවෙනවාද නැද්ද යන්න සඳහනක් නැත. පක්ෂ 11 තුළ ශ්‍රීලනිපය හිටියත් එම පක්ෂය මේ සන්ධානය සඳහා පේන්න සිටියේ නැත. එපමණක් නොව අනුර ප්‍රියදර්ශනගේ කණ්ඩායම පවා එහි නැත. එසේ නම් ඔවුන් සූදානම් වන්නේ කුමක් සඳහාද? එය තවම නිශ්චිත නැත.

කෙසේ වෙතත් පොහොට්ටු කඳවුරෙන් ඉවත් ගොඩනැගුණු පළමු සන්ධානය උත්තර ලංකා වන අතර ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමය. එපමණක් නොව බලය ලබාගැනීම සඳහා මූලිකත්වට ගන්නා ප්‍රධාන කණ්ඩායම වීමේ කැමැත්තද ඇත.

කෙසේ වෙතත් පොහොට්ටුව පක්ෂය මේ ආකාරයෙන් සිඳී බිඳී ගොස් තරග කිරීමෙන් වාසිය හිමිවන්නේ විපක්ෂයට බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් අවසාන මොහොතේ මේ සියල්ලම එක මාවතකට පැමිණියහොත් වැඩි වාසිය ඇත්තේද පොහොට්ටුවටමය. ඒ නිසා මෙය තවත් සමහරෙක්ට පොහොට්ටුවේම උප්පරවැට්ටියක් වශයෙන් පෙනී යා හැක. එහෙත් ප්‍රශ්නය එය නොවේ. මේ රට තරුණයන් සඳහා දේශපාලන අවශ්‍යතා ලබාදිය යුතු මොහොතක, සාම්ප්‍රදායික දේශපාලනය අතුගා දමන්නට හදන මොහොතක මොවුන් මෙලෙස සන්ධාන ගතවීම එක පැත්තකින් බොහෝ අයගේ විවේචනයට ලක්වන්නකි. රට හදන්න තවත් අවස්ථාවක් දෙන ලෙස ඔවුන් ඉල්ලීමම විහිළුවකි. ඒ නිසා මෙය එක පැත්තකින් ප්‍රශ්න ගොඩකි. එහෙත් තවත් දෙයක් ඇත. මොවුන් මොන මුහුණුවරින් ආවත් බලය ලබාදිය යුත්තේ ජනතාවය. ඒ නිසා මෙවර හැන්ද ජනතාව හරි ලෙස භාවිතා කරනු ඇතැයි හැමෝම සිතති. නිසැකවම මේ අලුත් සන්ධානයේ ආයුකාලය තීරණය කරන්නේ ජනතාව විසිනි.

I ගයාන් ගාල්ලගේ