2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ආරක්ෂිත ලේඛනයෙන් කපා හැරෙන වගා හානි සතුන්

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 588

මේ දිනවල රටේ කුරුවල් වන ප්‍රශ්න අමතක කිරීමටදෝ සතුන් අල්ලාගෙන විවිධ තීරණ ගන්නා බව පෙනේ. සති දෙකකට පෙර අහන්න ලැබුණේ දඬුලේනා ජාතික සත්වයා තනතුරෙන් විශ්‍රාම ගැන්වීමට අදහස් කරන බවයි. ඊළඟ සතියේ උඩට පැමිණි සත්ව ප්‍රශ්නය වගා හානිකරන සතුන් කිහිප දෙනෙක් ජාතික සත්ව ආරක්ෂණ ලේඛනයෙන් කපා හැරීමයි. 

අප රටේ වගාකරන වී, එළවළු ඇතුළු වාර්ෂික බෝග මෙන්ම පොල්, පලතුරු ආදී බෝග වර්ගත් විනාශ කිරීමට කටයුතු කරන සතුන් නිසා ඒවායේ අස්වැන්නෙන් විශාල කොටසක් අපතේ යාම අද ඊයේ සිදුවූවක් නොවේ. කුඹුරුවල කුරුළු පාළුව නමින් වෙනම ලියද්දක් වෙන්කර තිබුණේ ගිරව් ඇතුළු පක්ෂීන්ට ඇතිතරම් ආහාරයට ගැනීමටයි. දැන් අලුතින්ම ගෙන ඇති තීරණය නම් වගා හානි  වැළැක්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ කමිටුවේ නිර්දේශ මත රිළවා, දඬුලේනා, වල් ඌරා, මොණරා සහ ඉත්තෑවා යන සතුන් ජාතික සත්ත්ව ආරක්ෂණ ලේඛනයෙන් ඉවත් කළ බවයි. වනසතුන් විසින් සිදුකරන බෝග හානි අවම කර ගැනීම සඳහා කරුණු සොයා බැලීමට ඉකුත්දා කමිටුවක්ද පත් කරනු ලැබ තිබුණි. ඒ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසිනි.

වනජීවී හා වන සංරක්ෂණ ගැටලු පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී වනජීවී සහ වනසංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර ඇමැතිවරයා ඉහත අදහස් පළ කළේය. මෙම අවස්ථාවට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වන සම්පත් අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් වනජීවී අධ්‍යක්ෂවරු, වනජීවී අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් මෙන්ම වන අලි ගැටලුවලට මුහුණදෙන ගොවි සංවිධානවල නියෝජිතයෝද සහභාගි වී සිටියහ. ඇමැතිවරයා ඉහත සතුන් පස් දෙනාගේ ආරක්ෂාව ඉවත් කළ බව පැවසූ විට ගොවි නියෝජිතයන් අත්පොලසන් ගැසුවා දැයි අපි දන්නේ නැත. කෙසේ වුවත් දැන් මේ සතුන් වගා හානි නොකරාවි යයි කාටවත් බලාපොරොත්තු විය නොහැක. උන් ඒ බව නොදන්නා හෙයිනි. මේ සතුන් අතරින් ඉත්තෑවාට වගාබිම්වල උගුල් අටවා උන් දඩයම් කිරීම ගොවීන්ට අලුත් දෙයක් නොවේ. බොහෝ ගොවීන් උන් ආරක්ෂිත සතෙක්ද කියා දන්නෙත් නැත. වල් ඌරා ආරක්ෂිත සත්වයෙක් නොවන අතර ඌ වනජිවී රක්ෂිත නොවන ස්ථානවල වගාබිම්වල දඩයම් කළ හැකිය. නමුත් වාණිජ පරමාර්ථ මත මරා මස් අලෙවි කළ නොහැක. මොණරා දඩයම් කළත් සමහර පළාත්වල උගේ පූජනීය බව නිසා මරා දමන්නේ නැත. රිළවා සහ දඬුලේනා වැනි ගස්වල ජීවත්වන සතුන් නම් ගොවියාට හිසරදයක් වී ඇති බව රහසක් නොවේ.

ඉහතින් සඳහන් කළ විද්වත් කමිටුවේදී වගාවන්වලට හානිකරන වන සතුන් ලෙස අලියා, වල් ඌරා, ඉත්තෑවා, මොණරා, රිළවා, වඳුරා යන සතුන් සලකා තිබේ. උන් නිසා වගාවල බෝග ආහාර විශාල ප්‍රමාණයක් විනාශවන බවට හඳුනාගෙන තිබූ අතර හානිවන ප්‍රමාණයද වෙන වෙනම ගණනය කරමින් සිටින බවත් සඳහන් කෙරිණි.

කෙසේ වුවත් වගාබිම් විනාශ කළත් අවදානම් කාණ්ඩයේ සිටින සතෙක් ලෙස ලෝකයේ සැලකෙන අප රටේ සිටින ආසියානු අලියා ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පසුගියදා සඳහන් කර සිටියේය.  නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ වන අලියා ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයෙන් ඉවත් කළහොත් වන අලි ඝාතන සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.  එමෙන්ම සංචාරක කර්මාන්තය මගින් රටට විශාල ආදායමක් හිමිවන බැවින් වන අලියා ජාතික සම්පතක් ලෙස රැක ගතයුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණි. 

වගාවලට හානිකරන සතුන් ගැන මෙයට පෙරත් අවධානය යොමුවී තිබේ. පසුගිය වර්ෂයේදී මෙරට වගාවන්ට හානි සිදුකරන රිළවා ඇතුළු වන සතුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමට හා කූඩු කර රක්ෂිතවලට මුදාහැරීමටත් ඉත්තෑවා සහ වල් ඌරා වගා භූමිය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමටත් හැකි පරිදි සැලසුමක්  ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා වුණත් එය ක්‍රියාත්මක වූ බවක් නම් දැනගැනීමට නැත.   

පසුගිය වර්ෂයේදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 30 වැනි වගන්තියයේ පළමු උප ලේඛනයට අනුව ක්ෂීරපායි සතුන් පස් දෙනෙකු ආරක්ෂිත නොවන සතුන් ලෙස නම්කර තිබුණි. වල් ඌරා, රිළවා, අළු වඳුරා, ඉත්තෑවා සහ හාවා එම සතුන් වෙති. අලුත් ලැයිස්තුවට ඇතුළත් මොණරා පසුගිය වර්ෂයේ ලැයිස්තුවට ඇතුළත් වුණේ නැත. ගොවි ජනතාවගේ වගාබිම්වලට හානිකරන සතුන් පාලනය කළ යුතු බව සැබෑය. ඒ සඳහා ලැයිස්තු සකස් කරමින් සිටිනවාට වඩා ප්‍රායෝගික ක්‍රියාත්මකවීමක් ඇවැසිය. කෙසේ වුවත් මෙහිදී පාරිසරික සමතුලිතතාව ගැනද සලකා බැලිය යුතුය. වගාබිම්වලට දැඩි වශයෙන් හානි පමුණුවන රිළවා, ඉත්තෑවා සහ වල් ඌරා ආදි සතුන් පාලනය කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශය කිහිපවරක්ම සාකච්ඡා කළත් උන්ගෙන් වන හානිය වැළැක්වීමට වඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැත.

මේ සතුන් නිසා සියයට 20ත් 25ත් අතර අස්වනු හානියක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය ඇස්තමේන්තු කර තිබේ. මේ වනවිට රටේ බොහෝ පෙදෙස්වල රිළා ගහනය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොසිනි. රිළවුන් කණ්ඩායම් වශයෙන් ගම්වලට කඩා පැන වගාබිම් වනසා දමති. වගා හානිකරන සතුන්ගේ ආහාර දාමයට වඳ පෙති එකතු කිරීමට නියමිත අතර මෙය දීර්ඝකාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව 2021 දී පැවසිණි. මෙම ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල ලබාගැනීමට වසර දෙක තුනක් ගතවේ.

මීට අමතරව, වගා භූමිවලට හානි කරන සතුන් කූඩු කර කොටුකරගෙන එම සතුන් රක්ෂිත ප්‍රදේශවලට ගෙන ගොස් දැමීමේ සැලසුමක්ද කලකට පෙර ක්‍රියාත්මක විය.    ඉත්තෑවා සහ වල් ඌරා යන සතුන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව ආරක්ෂිත සතුන් නොවන බැවින් වගාවට දැඩි හානියක් කරන්නේ නම්, එම සතුන් වෙඩි තබා මරා දැමීමට තහනමක් නොමැති බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කර තිබේ. වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය භෝගය අනුව වෙනස් වන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් වසරකට පෙර පවසා තිබුණි. රිළවුන්ගෙන් වැඩි වශයෙන්ම හානිවන්නේ පළතුරු භෝගවලට බවත්, අල භෝගවලට ඉත්තෑවා සහ වල්ඌරාගෙන් වැඩි හානියක් වන බවත් ඔහු පවසා සිටී.

වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වළක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර් යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් වසර කිහිපයකට පෙර කරන ලද  අධයනයක් අනුව  මේ වන විට අප රටේ වනසතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40%ක් බව තහවුරු වී තිබේ. එම නිසා වනසතුන් කළමනාකරණයට හා බෝග හානිය වළක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇති බව එකල පැවසුණි.

මේ අතර ලියුම්කරුගේ අත්දැකීම අනුව බස්නාහිර ගම්පහ දිස්ත්‍රික්කයේ රඹුටන් වාරයට එම වගා අස්වැන්නට විශාල හානියක් සිදුවන්නේ වවුලන්ගෙනි. නමුත් වවුලා විනාශ කිරීම අනුමත කළ නොහැක්කේ බෝග ව්‍යාප්තියට උගෙන් ලොකු සේවයක් වන හෙයිනි. පරාගනය සඳහාද වවුලා උදව් වේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චාමලී නහල්ලගේ රිලවුන් පිළිබඳව කළ අධ්‍යයනයකට අනුව හෙළිවී ඇත්තේ උන් ගම් වැදීමට බහුලට බලපා ඇත්තේ ගම්වල කසළ අවිධිමත්ව බැහැර කිරීම බවයි. කසළ කෑමට එන රිළවා ඉන්පසු වෙනත් බෝග ආහාර සොයා පැමිණෙති. එසේම ඔවුන්ගේ සමාජ සංවිධානය වී ඇති රටාව අනුව එක රංචුවක වැඩිහිටි ගැහැනු සහ පිරිමි සත්තු ආදී වශයෙන් සමහර අවස්‌ථාවලදී එක්‌ රංචුවක සියයකට අධික සාමාජික සංඛ්‍යාවක්‌ දැකගත හැකිය. මෙවැනි රංචුවක් වගාබිමකට කඩා වැදුණු විට සිදුවන හානිය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ ආදී වශයෙන් වගා හානිකරන සතුන් නිසා අපේ අස්වැන්නෙන් සෑහෙන ප්‍රමාණයක් අහිමී වී යාම සැබෑවකි. දත්ත අනුව පෙනෙන්නේ එදාට වඩා අද සතුන්ගේ වගා හානිය වැඩි බවයි. එයට හේතුව උන්ගේ වාසස්ථාන අහිමිවීම බවත් සැබෑවකි. මේ ගැටලුවට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය සැලසුමකි. 

කුසුම්සිරි විජයවර්ධන

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04