2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

තෙල් පෝලිම් හදන්නේ කවුද?

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 85

දිවයිනේ ඇතැම් ඉන්ධනහල් අසල තවමත් දිගු පෝලිම් දක්නට ලැබේ. ඇතැම් ඉන්ධනහල් ඉන්ධන නොමැතිව වසා දමා තිබේ. විශේෂයෙන් නගරාසන්න ප්‍රදේශවල පවතින ඉන්ධනහල් අසල ඉතා දිගු පෝලිම් දක්නට ලැබෙන අතර පිරවුම්හල්වලට ලැබෙන ඉන්ධන පැය පහක් - හයක් ඇතුළතදී අවසන් වන බවටද වාර්තා වේ.

රජය විසින් ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR) කෝටාව හඳුන්වා දීමෙන් පසුව ඉන්ධන ලබා ගැනීමට එතෙක් පැවැති යම් අවිධිමත් ක්‍රමයේ යම් වෙනසක් ඇතිවී සාධාරණ ලෙසින් වාහනවල ඉන්ධන ලබා ගැනීමට හැකියාව ලැබුණද ලබාදෙනු ලබන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව ඇතැම්හු චෝදනා කරති.

පසුගිය කාලයේදී ඉන්ධන ලබාගැනීමට ඉන්ධන හල් අසල විවිධ නම් යටතේ පෝලිම් තිබුණද අද වනවිට බොහෝ පිරවුම්හල් අසල දක්නට ලැබෙන්නේ QR කෝටාව යටතේ ඉන්ධන ලබාගැනීමට පැමිණෙන වාහන පෝලිම් පමණි. ඒ අනුව ''ගමේ පෝලිම්'' ''වැල්ලේ පෝලිම්'' ''චණ්ඩි පෝලිම්'' ලෙසින් ඒ ඒ ඉන්ධන හල් අසල බිහිවුණ පෝලිම් අද වනවිට දකින්නට ලැබෙන්නේ නැත.

''අද මෙහෙම ඉන්ධන පෝලිම් හැදෙන්නේ තෙල් අඩුවෙන නිසයි. ඉන්ධන පිරවුම්හල්වලට නිසි වෙලාවට නිසි තෙල් ටික ලැබෙනවා නම් තෙල් පෝලිම් ඇතිවෙන්නේ නැහැ. පෞද්ලික බස් රථවලට මේ වෙද්දී ඩිපෝවලින් අවශ්‍ය තෙල් ලබාදෙනවා. ඒ නිසා මේ වෙද්දී ලොකු ගැටලුවක් බස් රථවලට මතුවෙලා නැහැ. ඇතැම් ගම්බද පළාත්වල නම් යම් යම් ගැටලු ටිකක් තිබෙනවා. ඔවුන්ට ඩිපෝ හරහා අවශ්‍ය තෙල් ලැබෙන්නේ නැති බවට වාර්තාවෙලා තිබෙනවා. ඉදිරියේදී ඒ ගැටලුත් විසඳේවි යැයි අපි විශ්වාස කරනවා. සමහර ප්‍රදේශවල තිබෙන ඩිපෝවලට යන්නට ගොඩක් දුර ධාවනය කරන්න සිදුවෙනවා. ඒ නිසා එවැනි ගැටලු කිහිපයක් පවතිනවා. මේ හැර මේ වනවිට ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පිරවුම්හල්වලට ලැබුණොත් බස් රථ ධාවනය කරලීමේ ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. සමස්තයක් විදිහට මේ වෙද්දී අපිට අවශ්‍ය ඉන්ධන ඩිපෝවලින් ලැබෙනවා. ඒ නිසා සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය වෙනවා.''

යැයි සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස දක්වමින් පැවසීය.

මේ අතර පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන රථවාහනවලටද අවශ්‍ය ඉන්ධන ඩිපෝ මගින් ලබාදෙයි. ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කෝටාවට අමතරව ඩිපෝ මගින් ලබාදෙන ඉන්ධන බොහෝ පාසල් වාහන සඳහා ප්‍රමාණවත් වුවද ඇතැම් වාහනවලට ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති. විශේෂයෙන් දුරබැහැර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලට දරුවන් ගෙන එන වෑන්රථ හා බස් රථවලට මෙම ඉන්ධන ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති.

''QR අංකය යටතේ වෑන්වලට ලීටර් විස්සක් සහ බස්වලට ලීටර් හතළිහක් ලබාදෙනවා. ඒ අතරේ ඩිපෝවලිනුත් ලබල දෙනවා. මේ ඉන්ධන ප්‍රමාණයෙන් අපි කොහොම හරි දරුවන්ව ප්‍රවාහනය කරනවා. මේ වෙද්දී බලශක්ති අමාත්‍යංශයෙන් QR අංකයට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය යම් ප්‍රමාණයකින් වැඩිකරල දෙන්න කියල අපි ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ ප්‍රමාණය වැඩිකරල දෙන්නම් කිව්වට තාම වැඩිකිරීමක් වෙලා නැහැ. මේ නිසා මේ වෙද්දී QR අංකයට සහ ඩිපෝවලින් ලැබෙන ප්‍රමාණයෙන් අපි කොහොම හරි මේ කටයුත්ත කරගෙන යනවා. ඉන්ධන පෝලිම් ආයෙමත් තැනින් තැන ඇතිවෙලා තිබෙනවා. නිසි ප්‍රමාණයට ඉන්ධන පිරවුම්හල්වලට නොලැබී යාමෙන් තමයි ඉන්ධන පෝලිම් ආයෙමත් ඇතිවෙලා තිබෙන්නේ. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ඒ හැම පිරවුම්හලකටම ලැබුණොත් මෙහෙම පෝලිම් ඇතිවෙන්නේ නැහැ. මේ වෙද්දී තමන්ගේ වාහනයේ QR අංකය තම දරුවන්ව පාසලට රුගෙන යන පාසල් බස් රථයට, වෑන් රථයට ලබාදෙන දෙමව්පියෝ ඉන්නවා. සමහරු ඉන්ධන අඩුපාඩුවක් ඇතිවුණොත් ඒ අඩුවන ඉන්ධන ටික පවා ලබලා දෙනවා. එහෙම අමාරුකම් දරාගෙන තමයි අද වෙද්දී බොහෝ පාසල් වෑන් තම සේවය පවත්වාගෙන යන්නේ.''

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඉන්ධන ලබාදීමෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලැබෙන්නේ නැති බවට චෝදනා කරන අය අතරින් ප්‍රධාන කොට්ඨාසයක් වන්නේ ත්‍රිරෝද රථ රියැදුරන්ය. ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඔවුන්ට සතියකට ලබාදෙනු ලබන ඉන්ධන සතියකට ප්‍රමාණවත් නොවන බවට ඔවුහු චෝදනා කරති. මේ වෙද්දී තැන තැන පවතින ඉන්ධන පෝලිම් අසල වැඩි වශයෙන් තම රථය රඳවා තබාගෙන ඇත්තේද ත්‍රිරෝද රථ හිමියන්ය. ඉන්ධනවල අඩුකම හේතුවෙන් පසුගිය කාලයේදී ඔවුන් තම සේවය වෙනුවෙන් ඉතා විශාල මුදලක් තම සේවාදායකයාගෙන් ලබාගත් අතර මේ හේතුවෙන් බොහෝ ජනතාව ත්‍රිරෝද රථවලින් ගමන් බිමන් යාම පවා ප්‍රතික්ෂේප කළහ.

''ආයෙමත් මෙහෙම තෙල් පෝලිම් ඇති වීමට ආණ්ඩුව වගකියන්න ඕනේ. කිසිම කෙනෙකුට තෙල් පෝලිම්වලට කාලය වැය කරන්න උවමනාවක් නැහැ. මේ මිනිස්සු තෙල් පෝලිම්වල දවස් ගණන්, පැය ගණන් ඉන්නේ ආසාවට නෙමෙයි. වෙනදා වගේ ඉන්ධන පිරවුම්හලට ගියාම තෙල් නැතිවුණොත් තමයි මේ තෙල් පෝලිම් ඇතිවෙන්නේ. ටවුමේ ඉන්ධන පිරවුම්හල් තුන හතරක් තිබුණත් එක ෂෙඩ් එකක විතරක් තෙල් තිබුණොත් එතැන පෝලිම් ඇතිවෙනවා. එහෙම නොවී හැම පිරවුම්හලකටම අවශ්‍ය තෙල් ලැබෙනවා නම් කිසිම දවසක පෝලිම් ඇතිවෙන්නේ නැහැ.''

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා දේශයට අදහස දක්වමින් පැවසීය.

මේ අතර වාහන නොවන කාණ්ඩ සඳහාත් ඉන්ධන ලබාදීමේ අවසර පත්‍රයක්, සංචාරක ඉන්ධන අවසර පත්‍රයක් නොබෝ දිනකින් හඳුන්වා දෙන බවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් හඳුනාගත් විශේෂිත වූ කාණ්ඩ කිහිපයක් සඳහා ජාතික ඉන්ධන අවසර පත්‍ර කෝටාව වැඩි කිරීමට තීරණය කර ඇති බවත් එය ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04