2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ජනතාවගේ බඩටම වදින වැට් බද්ද

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 291

රටේ බලපවත්වන බදු වර්ග දෙකක් තිබේ. ඒවා නම් ඍජු බදු හා වක්‍ර බදුය. කෙනකුගේ වාර්ෂික ආදායමට සාපේක්ෂව ආදායම් බදු අයකිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් රාජකාරියකි. බදු ගෙවිය යුතු ආදායම් මට්ටම රජය විටින් විට නිවේදනය කෙරේ. ඒ අනුව බදු අයකිරීම සිදු කෙරේ. එසේ වුවද මෙලෙස ඍජු බදු අයකිරීම සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එය ඉතාම සංකීර්ණ සහ ප්‍රමාදයට ලක්වන ක්‍රියාවලියකි.

වෙනත් රටවල මෙන් අපේ රටේ ස්වේච්ඡාවෙන් බදු ගෙවීමට ඉදිරිපත් වන අයගේ සංඛ්‍යාව ඉතාම අල්පය. ඒ නිසා වැඩි කොටසකගෙන් බදු අයකර ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිදුවෙයි. ඒ සඳහා එකිනෙකාගේ ආදායම් ලබාගෙන ඒ සඳහා ලිපිගොනු විවෘත කරගෙන දැඩි විමසිල්ලෙන් සිටිය යුතු වෙයි. මෙවර ප්‍රකාශ කළ අතුරු අයවැය අනුව වයස 18ට වැඩි සෑම කෙනකුම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවීමට කටයුතු කර ඇත්තේ ආදායම් බදු අයකිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහාය.

අපේ රටේ මෙතෙක් සිදුවූ ක්‍රියාදාමය අනුව බදු ගෙවන්නට සුදුසුකම් ඇති බොහෝ දෙනෙක් බදු ගෙවීමෙන් ලිස්සා යාමට කටයුතු කරන බව නොරහසකි. ඔවුන් ඒ සඳහා ඊනියා බදු උපදේශකයන්ගේ සහාය ලබාගෙන ආදායම අඩුවෙන් පෙන්වා බදු ගෙවීම පැහැර හරී. බදු ගෙවිය යුතු විශාල ආදායම් උපයන නීතිවේදීන්, වෛද්‍යවරුන්, රේස්බුකී හිමිකරුවන්, පෞද්ගලික පාසල් සහ ටියුෂන් ගුරුවරුන් ආදී බොහෝ දෙනෙක් ආදායම් බදු ගෙවන්නේ නැත. ඒ බව දැන දැනත් බලධාරීන් දශක ගණනාවක් තිස්සේ ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කර නොමැතිවීම විවෘත රහසකි.

• ඍජු බදු හා වක්‍ර බදු

මෙලෙස ඍජු බදු අයකිරීම වෙහෙසකාරී හා සංකීර්ණ කටයුත්තක් නිසාම බොහෝ රජයන් උනන්දු වන්නේ වක්‍ර බදු අය කිරීමටය. මේ අතර 2019 අගභාගයේදී ඇතැම් බදු කපා හැරීමට රජය ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 800කට අධික ආදායමක් රජයට නොලැබී ගිය බවට දැඩි ලෙස විවේචන එල්ල විය. සීනි බදු වංචාව එයට හොඳම උදාහරණයකි. සීනි කිලෝවකට රුපියල් 50ක් වූ බද්ද ශත 25ට බැස්සුවේ එයින් සීනි මිල අඩු වී ජනතාවට සහන සැලසේ යැයි උපකල්පය කරමිනි. එහෙත් සිදුවූයේ කුමක්ද? එම මුළු වාසියම ආනයනකරුවන්ට ලැබුණු අතර සීනි මිල තව තවත් ඉහළ යාමය. මෙයට එරෙහිව විශාල ඝෝෂාවක් ඇතිවුවද අද වනවිට ඒ සියල්ල යටපත් වී ගොසිනි.

රජය වක්‍ර බදු අයකිරීමට ප්‍රමුඛත්වය දී ඇත්තේ එය ලෙහෙසියෙන් අයකරගත හැකි බද්දක් වීමය. මෙම වක්‍ර බදු අයකර ගැනීමක් සිදුනොවන අතර සිදුවන්නේ අයවීමකි. කිසිදු උත්සාහයකින් තොරව පාරිභෝගිකයාගෙන් මෙම බද්ද අය වේ. බොහෝ විට වක්‍ර බදු අය කරන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටය. එසේම ඉන්ධන, ගෑස් ආදී බහුලව පාවිච්චි කරන දේවලටය. මෙහිදී සිදුවන්නේ භාණ්ඩය මිලයට ගන්නා අයට ඒ සමඟම බදු මුදල ගෙවීමට සිදුවීමය. මේ නිසා වක්‍ර බදු අයකිරීම ඇඟට නොදැනී බද්ද ගසන ක්‍රමයකි. රජය වක්‍ර බදු වැඩි කිරීමට දැඩි උනන්දුවක් දක්වන්නේ මේ නිසාය.

• අහිමි වූ ආදායම

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැති වශයෙන් අතිරේක අයවැය ලේඛනය ඉදිරිපත් කරද්දී බදු සංශෝධන කිහිපයක්ම සභාගත කළේය. මෙම බදු සංශෝධනවලින් ඔහු අපේක්ෂා කළේ මෙයට පෙර අහිමි වූ හා අහිමි කරගත් බදු ආදායම නැවත ලබාගැනීමය. දේශීය ආදායම් බදු පනත සංශෝධනයට අමතරව වක්‍ර බදු වර්ග කිහිපයක වෙනස්කම් සිදු කළේය. එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද, ඔට්ටු හා සුරා බදු පනත, විදුලි සංදේශ බදු පනත, මුල්‍ය කළමනාකරණ වගකීම් පනත එසේ සංශෝධනය කළ බදු පනත් අතර වෙයි.

මෙහිදී වැට් බද්ද පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේ ඒ හේතුවෙන් ජීවන බරෙන් පීඩිතව අඩක් මිය යමින් සිටි ජනතාව තවදුරටත් බිත්තියට හේත්තු කිරීම සිදුවූ නිසාය.

මෙතෙක් බලයට පත්වූ නොයෙක් ආණ්ඩු බදු ආදායම වර්ධනය කර ගත්තේ වැට් බද්ද වැඩි කිරීමෙනි. එයට හේතුව බොහෝ ගනුදෙනුවලදී වැට් බද්දෙන් පැන යාමට නොහැකිවීම නිසා එයින් විශාල ආදායමක් ලබාගැනීමට හැකිවීමය. එසේම එකම භාණ්ඩයට වැට් බද්ද දෙවරක් වැදෙන අවස්ථා ද ඇත. ඒ නිෂ්පාදනයේදී සහ අලෙවියේදීය.

• විකල්ප ක්‍රියාමාර්ග

2019 වසරේ අගභාගය වනවිට වැට් බදු අනුපාතය 15%ක්ව පැවතුණි. නුදුරේදී බලයට පත්වූ වර්තමාන රජය ස්වකීය ජනහිතකාමී බව පෙන්වමින් වැට් බද්ද 8% දක්වා පහත හෙළුවේය. මේ හේතුවෙන් 2020 වසරේදී පමණක් වැට් බදු ආදායම 47% කින් පහළ ගිය අතර 2021 වනවිට 50% ඉක්මවා අඩුවීම නිසා රජයේ ආදායම විශාල ලෙස පහළ වැටුණි. මේ පිළිබඳ ජනතාව ප්‍රශංසා කළ ද, වගකිව යුතු ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි දෝෂදර්ශනයට පාත්‍රවීමට රජයට සිදුවිය. වැට් බදු අනුපාත පහළ දැම්මද එම අඩුවීම ආවරණය කර ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට රජයට සැලසුමක් තිබුණේ නැත. රජයට වැට් බද්ද යළි 15%ක් කිරීමට අවශ්‍යව තිබුණද &මඟ සිටියොත් තා නසී. ගෙදර ගියොත් අඹු නසී* යනුවෙන් අග්ගලා මල්ල රුගෙන ගිය බමුණාට සිදුවූ අකරතැබ්බයට මුහුණ දීමට සිදුව තිබුණු නිසා කිසිවක් කරන්නට බැරි විය.

එම තත්ත්වය නැති කිරීම සඳහා බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා 8%ක්ව තිබූ බද්ද 12% දක්වා වැඩි කළේ මුල් පියවර වශයෙනි. නුදුරු අනාගතයේදී බදු ප්‍රතිශතය 15% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවටද ආරංචි පළ වී තිබේ.
මෙලෙස 12% දක්වා වැට් බද්ද ඉහළ නැංවීමෙන් වසරකට බිලියන 156ක ආදායමක් ලැබේ යැයි මෙම රජය ඇස්තමේන්තු කර තිබේ. මේ වනවිට අදාළ සියලුම භාණ්ඩ සහ සේවා සඳහා මෙම නව ප්‍රතිශතය අය කිරීමට වගකිව යුතු අංශ යුහුසුළුව කටයුතු කරමින් සිටියි.

• ජනතාව කුසගින්නේ

වැට් බද්ද 4%කින් ඉහළ නැංවීම සල්ලිකාරයාට වඩා පොදු ජනතාවට ඉතා අහිතකර ලෙස බලපාන්නට පටන්ගෙන ඇත. දැනටමත් මෙහි අහිතකර ප්‍රතිවිපාක දුප්පතාට දැනෙන තත්ත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේ අත්‍යවශ්‍ය ආහාර වන සහල්, පිටි, සීනි, පරිප්පු, හාල්මැස්සන්, ලූනු, අල ආදී සැම දෙයටම බලපාන නිසාය. දැනටමත් මේවා ආනයනයට ඩොලර් නොමැති වීමෙන් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබියදී ඉහළ දැමූ වැට් බද්ද නිසා තවත් මිල වැඩිවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දැඩි හිසරදයට පාත්‍ර වන ක්‍රියාමාර්ගයකි.

එසේම ඉන්ධන අර්බුදය නිසාද භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් ඇත. රුපියල් දහස් ගණනකින් ගෑස් මිල ඉහළ දැමීම දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාවට මරුපහරක් විය. මේ වනවිට ඉතිහාසයේ කවදාවත් නොවූ විරෑ පරිදි ආහාර උද්ධමනය 90% දක්වා ඉහළ නැග තිබේ. රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව 50% කට ආසන්න වන අතර 60% ක ජන කොටසක් දිනකට එක් ආහාරවේලකින් හෝ අඩ ආහාරයකින් යැපෙන බව දේශීය සහ විදේශීය සමීක්ෂණවලින් හෙළි වී තිබේ. දිනක ආහාරවේලක් ගත් අයට ඊළඟ ආහාරවේල කවදා ලැබේදැයි යන්න පිළිබඳ දෙගිඩියාවකින් පෙළෙන්නට සිදුව තිබේ.

රටේ මෙවැනි ආර්ථික තත්ත්වයක් තිබියදී භාණ්ඩ හා සේවා මත අය කරන මෙම බද්ද 4% කින් ඉහළ නැංවීම ජනතාව ගැන අබ මල් රොනක තරම්වත් නොසිතා ආණ්ඩුව ඉතාම හිතුවක්කාර සහ අකාරුණික ලෙස කළ දෙයක් බව කිව යුතුව ඇත. රටේ ආදායමින් බිලියන සිය ගණන් ඇතැම් පාලකයන් කොල්ලකා ඇති බවට චෝදනා නැගෙන වර්තමානයේ එම මුදල් රටට ආපසු ලබාගැනීමට කටයුතු කළ යුතුව තිබෙන බව පැවසේ. එසේම මුලින් පැවසුවා මෙන් මිලියන ගණනින් ආදායම් බදු ගෙවීම දේශපාලන අධිකාරියට සම්බන්ධ ඇතැම් ලොක්කන් විසින් පැහැර හරිනු ලැබ ඇති අවධියක, එම බදු අයකර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ගයක් නොගෙන මෙවැනි වක්‍ර බදු තව තවත් අය කිරීමෙන් ජනතාව පෙළීම කොතරම් අවාසනාවක්ද?

• කෙළින්ම පාරිභෝගිකයාට

වැඩි කළ වැට් බදු හා සෙසු බදු ගෙවිය යුත්තේ පාරිභෝගිකයන් නොව ව්‍යාපාරිකයන් යැයි ද, එයින් ජනතාවට නොරිදෙන්නේ යැයි ද නිදහසට කරුණු කියන පාලකයන්ට මෙම බදු සියල්ල ව්‍යාපාරිකයන් විසින් පාරිභෝගිකයාගෙන් අයකර ගන්නා බව නොතේරීම මොළේ කළඳක් හෝ ඇති කෙනකුට තේරුම් ගැනීමට අපහසුය. මෙහිදී සිදුව ඇත්තේ බොරු රඟපෑමක් බව වටහා ගන්නට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

වැට් බද්ද සමඟම විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ නැංවීමද දුප්පතාට ඒ හා සමානවම හානිකර ප්‍රතිඵල ලැබීමට හේතු වේ. පාසල් යාම දුෂ්කරව තිබෙන නිසා මාර්ගගත අධ්‍යාපනයට (ඔන්ලයින්) වැඩියෙන් දරුවන් නැඹුරු වන අවස්ථාවක විදුලි සංදේශ බද්ද ඉහළ නැංවීම ඉතාම අහිතකරය. ජංගම දුරකථන බහුලව භාවිත කිරීමට ජනතාව යොමුව සිටින අවධියක විදුලි සංදේශ බද්ද ද 4% කින් පමණ ඉහළ දැමීම ඔවුන්ට කරන විශාල අසාධාරණයකි. රටේ ජීවනාලිය වන යොවුන් පරපුර අද දුරකථන භාවිතයට වඩාත් නැඹුරුව සිටිති. විවිධ වෙබ්අඩවි හරහා දැනුම දියුණු කර ගැනීමට ඔවුන්ට ලැබී ඇති අවස්ථාවට මෙයින් වැට බැඳ තිබේ.

මෙම බදු සංශෝධනය සංචාරක ව්‍යාපාරයට ද අහිතකර ලෙස බලපාන්නේ වැට් බද්ද නිසා හෝටල් ගාස්තු, ප්‍රවාහන ගාස්තු ආදිය වැඩිවීමෙන් සංචාරකයන්ගේ වියදම් ඉහළ යාම නිසාය. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමුව තිබෙන සමයක මෙමගින් සිදුවන අහිතකර ප්‍රතිඵල ගැන විමසිලිමත් විය යුතුව තිබුණි.

කෙසේ වුවද වැට් බද්ද ඇතුළු අනෙකුත් බදු ඉහළ දැමීම මේ අවස්ථාවේ නොකළ යුතුව තිබුණි. මෙයින් සිදුව හිරිහැරය ගැන සලකා බලා 2023 අයවැය ලේඛනයෙන් හෝ යම් සහනයක් ලබාදෙනු ඇත යන්න රටවැසියාගේ බලාපොරොත්තුවයි.

යසවර්ධන රුද්රිගූ