2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

දාහතරේ දැරියට තිරිසන් වැඩක් කළ නරුමයෝ

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 310

කොතෙකුත් සිදුවීම් ආරංචි මාර්ග අතර මේ තවත් කතාවකි. ඊට පසුබිම ඈත පිටිසර නොව කොළඹ නගරයට නුදුරුවමය. අගනුවර සිට කිලෝමීටර් තිහකට වැඩිදුරක් නැති පාදුක්ක වග සහ පින්නවල කොළඹට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයන්ය. එවැනි වටපිටාවක පාසල් දැරියක් සමූහ දූෂණයට ලක්කළා යැයි පැවසෙන්නේ ඇගේ පෙම්වතා බව කියන තරුණයකු හා ඔහුගේ මිතුරන් පිරිසක් විසිනි.

පාදුක්ක නගරය ආසන්නයේ පිහිටි පාසලකි. පාසලේ දෙවැනි වාරය අවසන් කිරීමට තිබුණේ දින තුනකි. ඒ නිසාදෝ අවසන් දින තුනේදී දරුවන්ගේ පැමිණීමේ අඩුවක් තිබුණි. පැමිණි දරුවන් බොහොමයක් අල්ලාප සල්ලාප මැද සෙල්ලමේය. පිරිසෙන් මිදුණු දැරියක පන්ති කාමරය කෙළවර හුදකලාවය. පුටුවක වාඩිගත් ඇය හිසත් දෑතත් මේසය මත තබා සිටියාය. ඇඟට වාරු නැති සෙයින් උන් දැරියගේ නෙතගින් කඳුළු බිඳුවක් දෙකක් ගලා ගියේය. දුර තියා මේ බව නිරීක්ෂණය කොට තිබුණේ දරුවන්ට ලැදි පාසලේ ආදරණීය ගුරුවරියක විසිනි.

මොහොතක් ඈ දෙස බලා සිටි ගුරුවරියගේ අවධානය තමා දෙසට යොමුව ඇතැයි දැනගත් දැරිය ගුරුතුමියට තරමක සිනාවක් පා තිබුණේ ආයාසයෙනි. දැරියත් ගුරුවරියත් අතර කෙටි සංවාදයක් ඇතිවූයේ අනතුරුවය.

''මොකද දරුවෝ... මේ ඇයි මොකක්ද ප්‍රශ්නය...?'' ගුරුවරිය දැරියගෙන් ඇසුවාය. නිසි පිළිතුරක් නොවූයෙන් ඇය මොහොතක් නිහඬව සිටියාය.

''අනේ ටීචර්... මගෙ ඔලුව රිදෙනවා... මට ප්‍රශ්නයක්. අයියා කෙනෙක් මාත් එක්ක හිතවත් වුණා. එයයි තව යාළුවො පස් දෙනෙකුයි මට කරදර කළා...''

දැරිය විශ්වාසයකින් යුතුව මේ කරුණ ගුරුතුමිය හමුවේ හෙළි කළාය. ඊට සාවධානයෙන් ඇහුම්කන් දුන් ගුරුවරිය දැඩි සෙනෙහසකින් යුතුව දැරියට අවවාද කළාය. ඇය එහිදී වැඩිදුරටත් කියා තිබුණේ මව සමඟ පොලීසිය වෙත ගොස් සිදුවීම පිළිබඳ පැමිණිල්ලක් ගොනුකරන ලෙසය. අවවාදය පිළිගත් දැරිය පින්නවල ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගොස් එදා පස්වරුවේ සිය මව සමඟ සිදුවීම විස්තර කොට තිබුණේ ගුරුවරියගේ උපදෙස් මතය. දැරිය කුඩා අවදියේදීම ඇගේ පියා මියගොසිනි. හැකි ලෙස දියණිය රැකබලාගෙන තිබුණේ මව විසිනි. ඇය සනීපාරක්ෂක සේවා සපයන ආයතනයක කම්කරු රැකියාවක නියුතු වූවාය. ඉන් උපයන මුදලින් දියණිය රැකබලා ගන්නට කටයුතු කළාය. දැරියට වැඩිමහල් සොහොයුරකුද සිටින අතර ඔවුන් පදිංචි නිවෙස නිවෙසක් බව කියන්නට බැරිතරම් අනාරක්ෂිතය. පාසල් ගොස් පැමිණීමෙන් පසුව බොහෝවිට දැරිය අසල්වැසි ඥාති නිවසක කල් ගෙවුවාය.

පාසල් ගුරුවරියගේ උපදෙස් මත පාදුක්ක පොලීසිය වෙත ගිය දැරිය හා ඇගේ මව පැමිණිල්ලක් ගොනුකොට තිබුණි. සිය දියණිය හා හිතවත් වූ තරුණයකු හා ඔහුගේ මිතුරන් කිහිපදෙනකු විසින් තම දැරිය දූෂණයට ලක්කොට ඇතිබව කියමින් දැරියගේ මව පැමිණිල්ල යොමු කළාය. අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා පාදුක්ක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හා ළමා හා කාන්තා කාර්යාංශයේ සහාය ලබා ගැණින. එහිදී අනාවරණය වූ පරිදි දැරිය දූෂණයට ලක්කර තිබුණේ ඉකුත් 3 වැනිදා රාත්‍රියේදීය. එදින සෙනසුරාදා දිනයකි. පසුදින නිවසේ කල්ගෙවූ දැරිය ඊට පසුදා 5 වැනිදා තමන්ට වූ අකරතැබ්බය ගුරුවරියට විස්තර කළ පසුව පැමිණිල්ල යොමුකෙරුණේ අඟහරුවාදා දිනයේ බව කියැවේ.

දැරිය පොලිසිය හමුවේ කළ විස්තරය අනුව පෙම්වතා බව කියන තරුණයා දැරිය හොඳින් හඳුනයි. 14 හැවිරිදි වියේ පමණ පසුවන දැරිය පෙම්වතා ඇසුරු කරන්නේ මාස කිහිපයක සිටය. ඔහු පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ අතුරු මාවතක පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. පෙම්වතාගේ ඉල්ලීම මත වරෙක දැරිය ඔහු හා ගොස් තිබුණේ අංගමුව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසක් වෙතය. නිවැසියන් කිසිවෙක් නොවූ මිතුරාගේ කාමරයට වැදුණු පිරිසට තිබුණේ එකම අරමුණකි. දැරිය හා පෙම්වතා අඹු සැමියන් ලෙස හැසිරෙන අතරතුර එය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරන්නට මිතුරා කටයුතු කොට තිබුණි. ඒ සිදුවීම දින කිහිපයකට ඉහත එකකි. ඉන්පසුව පසුගිය 3 වැනිදා පෙම්වතාගේ ඉල්ලීම මත දැරිය ගොස් තිබුණේ පාදුක්ක පුස්වැලි මාවත ප්‍රදේශයේ වවුල්කැලේ නමින් හඳුන්වන පාළු ඉඩමක පිහිටි නිවෙසක් වෙතය. එම නිවෙසද පාළුවට ගිය එකකි. එහිදීද දැරිය කෙලෙසූ තරුණයා වරින්වර ඔහුගේ මිතුරන් කිහිප දෙනකු වෙත දුරකතන ඇමතුම් ලබාදෙමින් එම නිවෙසට ගෙන්වාගෙන තිබුණි. එහිදී ඔවුන්ට සිය පෙම්වතිය හා අඹු සැමි ඇසුර පවත්වන්නට අවස්ථාව ලබාදී ඇත. අදාළ කටයුත්ත සිදුකිරීමට මත්තෙන් පෙම්වතා මෙන්ම මිතුරන් පිරිසද මත්ද්‍රව්‍ය භාවිත කළ බව දැරිය හෙළිකර ඇත.

දැරියගේ ප්‍රකාශය මත කියැවුණේ පිරිස හඳුනා ගැනිමට හැකි බවය. ඒ අනුව පෙම්වතා බව කියන සැකකාර විකුම් ධනුෂ්ක පෙරේරා පාදුක්ක ප්‍රදේශයේ පාසලක සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූවෙකි. ගංජා, අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති ඔහු රස්තියාදුවේ යන තරුණයෙකි. මැයි 9 වැනිදා අරගලය මුවාවෙන් විවිධ දේශපාලනඥයන්ගේ නිවෙස් ගිනි තැබූ අතරතුර සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් මහතාගේ නිවෙසටද ගිනි තබා තිබුණි. ඒ විමර්ශනවලට අදාළව මෙම සැකකාර තරුණයාද කොටු වී තිබුණේ සී.සී.ටී.වී. දර්ශන අනුව විමර්ශන ක්‍රියාත්මක කිරීමේදීය. ඊට අදාළව අත්අඩංගුවට පත් සැකකරු ඇප මත නිදහස්ව සිටින අතරතුර දැරිය කෙලෙසීම සිදුකර තිබුණි. මේ අතර දැරිය ඊට පෙර වූ සිදුවීමක්ද විස්තර කළාය. ඒ අනුව ඇය පින්නවල ප්‍රදේශයේ තරුණයකු සමග ආදර සබඳතාවක් පවත්වා තිබේ. ඔහු යුද හමුදාවේ සේවය කර පැන ආ අයෙකි. 22 හැවිරිදි වියේ පසුවූ ඔහු විසින් තමා කාලයකට පෙර දූෂණයට ලක්කළ බවද ඇය හෙළිකළාය. පොලීසිය සූක්ෂම වී දැරිය ලවා දුරකථන ඇමතුමක් ලබාදී එම තරුණයා පාදුක්ක නගරයට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සිදුකළ පාපොච්චාරණය අනුව දැරිය සිදුකළ විස්තරය තහවුරු වී තිබිණි.

තවදුරටත් දැරිය හා පෙම්වතා සිදුකළ කරුණු හෙළිකිරීම හමුවේ දැරිය සමූහ දූෂණයට ලක්කළ සැකකාර තරුණයන් තිදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි. එමෙන්ම තවත් සැකකාර තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර දැරිය රැගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරු හා ත්‍රිරෝද රථයද ඒ අතර වෙයි. මේ ආකාරයට දැරිය වරින්වර අවස්ථා කිහිපයකදී තරුණයන් 7 දෙනකු විසින් සමූහ දූෂණයට ලක්කර ඇති බව හෙළිව තිබේ. එම පිරිස වයස අවුරුදු 17, 19, 20, 22 හා 27 වයස්වල පසුවන්නන් බව කියැවේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් පස් දෙනකු අවිස්සාවේලල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ. ඉදිරි දිනක පිරිස තහවුරු කර ගැනීම සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට නියමිතය.

සිදුවීම පිළිබඳව පාදුක්ක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසිංහ, පොලිස් සැරයන් 42946 සමන්, පොලිස් කොස්තාපල් 92513 මධුශංක සමග ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා පද්මා යන අය වැඩිදුර විමර්ශන පවත්වති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර