2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

මම සමුගනිමි ඔබට ආයුබෝවන්

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 324

චාල්ස් කුමරු රජවෙයි

මහා බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවැනි එලිසබෙත් මහ රුජින සිය 96 වැනි වියේදී අභාවප්‍රාප්ත විය. ඇය වසර 70ක් හිරු නොබසින අධිරාජ්‍යය අඛණ්ඩව පාලනය කළාය. මුළු ලෝකයේම සිත් සොරාගත් ආදරණීය රාජකීයයෙක් හැටියට ඇය සුප්‍රකටය. 

2015 දී, එලිසබෙත් රැජින ඇගේ මිත්තණිය වන වික්ටෝරියා රැජින අභිබවා යමින් දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍ය පාලනය කළ රාජකීයයා ලෙස නම් ලැබුවාය. මේ වසරේ ඇය දීර්ඝතම කාලයක් රාජකීයත්වය හෙබවූ ලොව දෙවැනි පාලකයා බවට පත්ව වාර්තාගත වූවාය. එක්සත් රාජධානිය මෙන්ම, රැජින කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ලොව පුරා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක රාජ්‍ය නායකයා ද විය. ඇය ශ්‍රී ලංකා භූමියේද රජ තනතුර දැරූ අවසාන පුද්ගලයාය. ඒ අනුව 1952 පෙබරවාරි 6 දින සිට 1972 මැයි 22 දක්වා නිදහස් ලංකාවේ රජ ලෙස ඇය රාජ්‍ය නායක පදවිය දැරීය. නමුදු එම රජ තනතුර නාමමාත්‍රික රජ තනතුරක් විය. ලංකාවට නිදහස ලබාදීමේ ගෞරවය ද හිමිවන්නේ ඇයටය.

එක්සත් රාජධානිය විසින් සිය ජාතිය වෙනුවෙන් කරන ලද 70 වසරක සේවය සනිටුහන් කරමින් මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය අතිවිශිෂ්ට ලෙස  සමරනු ලැබුවේ ඉකුත් ජූනි මාසයේදීය. ඒ වන විටත් රැජිනට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නිසා සමහර සිදුවීම් මගහැරුණු අතර චාල්ස් කුමරු සහ විලියම් කුමරු ඊට සහභාගි වූහ. ඇය ජුබිලි උත්සවය අවසානයේ බකිංහැම් මාලිගයේ බැල්කනියේ පෙනී සිටියාය. එලිසබෙත් රුජින පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වූ අතර, ඇයට ඇවිදීමට සහ නැගී සිටීමට අපහසු විය.

චාල්ස් සහ ඩයනාගේ දික්කසාදය, ඩයනා කුමරියගේ අබිරහස් මරණය සිට ඇගේ දෙවැනි පුත්‍රයා වන ඇන්ඩෲ කුමරු වරදකරු වූ ළමා ලිංගිකයකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ වූ සම්බන්ධකම් මෙන්ම හැරී සහ මේගන් යුවල රාජකීය ජීවිතයෙන් ඉවත් වීම දක්වා වූ මහා රාජකීය අලකලංචි රැසකට ඇය නොසැලී මුහුණ පෑවාය. මේ අතර ඇගේ සැමියා වූ පිලිප් කුමරු කොවිඩ් වසංගතය මැද 2021 අප්‍රේල් මාසයේදී මිය ගියේ ඔහුගේ 100 වැනි උපන්දිනයට සති කිහිපයක් තිබියදීය.

රැජින 1926 අප්‍රේල් 21 වැනි දින ලන්ඩනයේ මේෆෙයාර් හි එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් ලෙස උපත ලැබුවාය.

ඇය රැජිනක වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි වුවද 1936 දෙසැම්බර් මාසයේදී ඇගේ මාමා වූ ඔටුන්න හිමි V වැනි එඩ්වඩ් කුමරු දෙවරක් දික්කසාද වූ ඇමෙරිකානු ජාතික සිවිල් කාන්තාවක වූ වොලිස් සිම්ප්සන් සමඟ විවාහ වීමට රජ පවුල හැරදා  සිංහාසනයෙන් ඉවත්වීමත් සමඟ එලිසබෙත්ගේ පියා හයවැනි ජෝර්ජ් රජු බවට පත් වූයේය. ඒ අනුව වයස අවුරුදු 10 දී, සිය පවුල තුළ “ලිලිබෙට්,” ලෙස සුරතලයට ඇමතූ කුමරිය හිරු නොබසින අධිරාජ්‍යයේ සිංහාසනයේ ඊළඟ උරුමක්කාරයා බවට පත්වූවාය.

වසර තුනක් ඇතුළත එංගලන්තය නාසි ජර්මනිය සමඟ යුද්ධයක පැටළුණි. එලිසබෙත් සහ ඇගේ බාල සොහොයුරිය වන මාග්‍රට් කුමරිය වින්ඩ්සර් මාලිගයේ යුද සමයේදී වැඩි කාලයක් ගත කළේ ඔවුන් කැනඩාවට පිටත් කළ යුතු බවට වූ යෝජනා ඔවුන්ගේ දෙමාපියන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, එලිසබෙත් යුද්ධයේ සහායක භෞමික සේවය සමඟ මාස පහක් ගත කළ අතර මූලික මෝටර් කාර්මික ශිල්පය සහ රියැදුරු කුසලතා වර්ධනය කර ගත්තාය.  

මේ යුද්ධය අතරමැද ඇය රාජකීය නාවික හමුදාවේ සේවය කළ ඇගේ තුන්වැනි ඥාති සොහොයුරා වන ග්‍රීසියේ පිලිප් කුමරු සමඟ ලිපි හුවමාරු කර ගත්තාය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය මල්පල ගැන්වී 1947 නොවැම්බර් 20 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී විවාහ වූ අතර කුමරු එඩින්බරෝ ආදිපාද පදවිය ලබා ගත්තේය.

ඔවුන්ගේ පළමු පුත් චාල්ස් 1948 දී ද, පසුව ඈන් කුමරිය 1950 දී ද, ඇන්ඩෘ කුමරු 1960 දී ද, එඩ්වඩ් කුමරු 1964 දී ද උපත ලැබූහ. ඔවුහු තම දෙමාපියන්ට මුණුපුරන් අට දෙනකු සහ මී මුණුපුරන් 12 දෙනකු ලබා දුන්හ.

එලිසබෙත් කුමරිය පිලිප් කුමරු සමඟ 1952 දී කෙන්යාවට ගොස් සිටියේ රෝගාතුර වූ සිය පිය රජු නියෝජනය කරමිනි. ඇගේ පියා මියගිය බව ප්‍රකාශ වූයේ ඒ අතරය. ඇය වහාම නව රැජින ලෙස ලන්ඩනයට පැමිණියාය. 

එලිසබෙත් කුමරිය 1953 ජූනි 2 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ඔටුනු පැළඳුවාය. ඒ වයස අවුරුදු 27 දීය.

එලිසබෙත් එම නව යුගයට ගැලපෙන පරිදි රාජාණ්ඩුව ප්‍රතිසංස්කරණය කළාය. සිය අධිරාජ්‍යය තුළ ඇවිදීම, රාජකීය සංචාර සහ පොදු උත්සවවලට පැමිණීම හරහා මහජනතාව සමඟ සම්බන්ධ වූවාය. පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා ඇයගේ කැපවීම නියත විය. ඇය අවම වශයෙන් එක් වරක්වත් සෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටකටම සංචාරය කළාය. ඒ අතර ලංකාවටද ආවාය. වර්ෂ 1954 අප්‍රේල් මස 10 වැනිදා ගොතික් නමැති නැවෙන් කොළඹට සැපත් වූවාය. අප්‍රේල් 11 අරලිය ගහ මැඳුරේ රාජකීය භෝජන සංග්‍රහයක් පවත්වා නව යුවල පිළිගැනුණි. 12 වැනිදා එංගලන්තයේ රුජින ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික සැසිවාරයක් විවෘත කළාය. ඒ නිදහස් චතුරස්‍රයේදීය. 1954 වසරේ සිංහල දමිළ අලුත් අවුරුදු දින කොළඹ නිදහස් චතුරස්‍රය සිංහල බෞද්ධ රාජ සභාවක ආකාරයට සකසා තිබුණි. ඔටුනු පළඳා රාජෝත්මිය සිංහාසනාරෑඪ ගතවූ අතර රටේ නායිකාව ලෙස පාර්ලිම්න්තු සැසිවාරය විවෘත කිරීමේ කිරීටක දේශනය පවත්වන ලදී. අනතුරුව ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ජනතාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් දෙවැනි එලිසබෙත් රුජින මෙවක පටන් සිංහල රාජාවලියට ඇතුළත් කර ගන්නා බවත් අපේම ස්වෛරීය සිංහල රුජිනක් සේ පිළිගන්නා බවත් රාජනියට දන්වා සිටියේය. අනතුරුව සභානායක ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ස්තූති කතාව පවත්වා සභාව අවසන් කරන ලදී.

අප්‍රේල් 15 වන විට ඇය පොළොන්නරුෙව් සහ සීගිරිෙය් සංචාරයක නිරත වූ අතර දුරදක්නයෙන් සීගිරි ළඳුන් නැරඹූ රැජිනට ආචාර්ය සෙනරත් පරණවිතාන ඒ ගැන විස්තර සැපයූ බව සඳහන්ය. එදා සිට මෑතක් දක්වාම රුජින සහ පිලිප් කුමරු ඇතුළත් රාමු කළ ඡායාරෑප අපේ බොහෝ නිවාසවල ගෞරවනීය ලෙස අරක්ගත් අතර රුජින ද නොමැකෙන ලෙස හදවත්හි තැන්පත් වූවාය. මෙලෙස මෑත සියවස තුළ බොහෝ රට රාජ්‍යයන්හි ජනතාව දැන හඳුනා සිටි එකම නිහතමානී රාජනිය ඇයයි‍. ඇගේ ජීවන ගමන ඉතිහාසයයේ සුවිශේෂී කඩඉම් මැදින් වැටී තිබුණි.

මහ රුජින එක්සත් ජනපද හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ ඝාතනයේ සිට මිනිසා සඳ මත ගොඩබෑම, බර්ලින් තාප්පය කඩා වැටීම සහ කොවිඩ් වසංගතය දක්වා නූතන ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක ප්‍රමුඛ සිදුවීම් පෙළකට සාක්ෂි දැරුවාය. 
ඇය සිය පාලන සමයේදී 1874 දී උපත ලද වින්ස්ටන් චර්චිල්ගේ සිට ඉන් වසර 101කට පසුව 1975 දී උපත ලැබූ ලිස් ට්‍රස් මහත්මිය දක්වා අගමැතිවරුන් 15 දෙනකු  පත් කළාය. මෙවර ඉතිහාසයේ ප්‍රථම වරට ඇය ස්කොට්ලන්තයේ බල්මොරල් හිදී අගමැති ලිස් ට්‍රස් පත් කළේ තමන්ට නැවත ලන්ඩනයට යාමට නොහැකි තරමට අසනීප වී සිටි බැවිනි.

රැජින සමුගත් ශෝචනීය දිනයේ වෛද්‍යවරුන්ගෙන් කලින්ම ලැබී තිබූ නරක සෞඛ්‍ය තත්ත්වය ගැන ආරංචිය හේතුවෙන් කල්තබාම රාජකීය පවුල, රුජිනගේ පුතු වන  සිංහාසනයේ නව උරුමක්කාරයා වන 73 හැවිරිදි චාල්ස් කුමරු, 72 හැවිරිදි ඈන් කුමරිය, 62 හැවිරිදි ඇන්ඩෘ කුමරු සහ 58 හැවිරිදි එඩ්වඩ් කුමරු ද, ඇගේ මුණුපුරන් වන චාල්ස්ගේ වැඩිමහල් පුත් විලියම් කුමරු සහ පවුලේ උදවිය මෙන්ම ඔහුගේ බාල පුත් හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මර්කල් ද රැජින අවසන් කාලය ගත කළ  බල්මොරල් මන්දිරය වෙත රැස්ව සිටියහ. 

ඇගේ පුත්, දැන් තෙවැනි චාල්ස් රජු පැවසුවේ තම ආදරණීය මවගේ වියෝව ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ඉතා ශෝකජනක මොහොතක් බවත් ඇගේ වියෝව ලොව පුරා සැමට දැඩි ලෙස දැනෙනු ඇති බවත්ය. ඇත්තෙන්ම මහ රැජින තවත් බොහෝ දශක ගණනක් ලොව පුරා මිනිසුන්ගේ සොඳුරු මතක අතර සිය නිහතමානී සිනහවෙන් යුතුව රැඳී සිටිනු නියතය.

සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04